'මාතලේ ගැන එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය පදනම් විරහිතයි' - වෛද්‍ය අජිත් ජයසේන

මාමාතලේ සමුහ මිනීවළ සම්බන්ධව සිදුකෙරන  අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සහ වෝහාරික පරීක්‍ෂණ පිළිබඳව විදේශීය විමර්ශන කණ්ඩායම් වෙතින් එල්ල කැරෙන විවේචන පිළිගත නොහැකි යැයි අදාළ පරීක්‍ෂණ මෙහෙයවනු ලැබු අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන ප්‍රකාශ කරයි.

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි බලහත්කාරයෙන් අතුරුදහන්කරනු ලැබුවන් පිළිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබු වාර්තාවෙහි දක්වා ඇත්තේ මාතලේ සහ මන්නාරම සමුහ මිනීවළවල් සම්බන්ධව සිදුකෙරී ඇති පරික්‍ෂණ සම්බන්ධව තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව ය. එසේම එම සමුහ මිනීවළවලට සපයා ඇති ආරක්ෂාව පිළිබඳවත්, හමුවු නියැදි සහ සාක්ෂි සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරයෙහිත් පැහැදිළි ගැටළු හඳුනාගත හැකි යැයිද අදාළ වාර්තාවෙහි වැඩිදුරටත් දැක් වේ.

පදනම් විරහිත ප්‍රකාශයක්

විදේශීය විශේෂඥයන් විසින් එල්ල කරන චෝදනා පිළිබඳව ප්‍රතිචාරයක් කුමක්දැයි JDS විසින් මාතලේ සමුහ මිනීවළෙහි පරීක්‍ෂණ භාර අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේනගෙන් විමසනු ලදුව ඔහු කියා සිටියේ අදාළ වාර්තාවෙහි මාතලේ සමූහ මිනීවළ සම්බන්ධයෙන් දැක්වෙන කරුණු තමන් ප්‍රතික්‍ෂේප කරනවා පමණක් නොව, එකී චෝදනා පදනම් විරහිත ඒවාද වන බවයි.

''ඇත්තෙන්ම අතුරුදහන්වූවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව මාතලේ මිනීවළ සම්බන්ධව චෝදනා එල්ල කරන්නේ අප හමු වී මූලික තොරතුරු විමසීමකින්  හෝ නොවෙයි. මාතලේ සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කර ඇත්තේ වගකීම් විරහිතවයි. රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන බව පැවසු කාන්තාවක් මට දුරකතනයෙන් කතා කොට එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම හමුවීමට එන්නැයි දැනුම් දෙනු ලැබුවා. මම ඇයට කියා සිටියා ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අධිකරණ අමාත්‍යාංශය දැනුවත් කොට නිසි පරිදි ලිඛිත ඉල්ලීමක් කරන ලෙසට. නමුත් ඔවුන් එසේ නොකොට පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කණ්ඩායමක් සමග මිනිවළ පිහිටි ස්ථානයට ගොස් තොරතුරු විමසා තිබෙනවා. ඔවුන් නිසි පරිදි අප හමු වී තොරතුරු විමසනු ලැබුවේ නම් මාතලේ සමුහ මිනීවළෙහි පරීක්‍ෂණ කටයුතු අඩපණ කිරීමට ඇතැමුන් දරණ උත්සහයන් පිළිබඳවත්, ඒ සම්බන්ධව ඉදිරිපත්ව ඇති විවිධ අසත්‍ය තොරතුරු  පිළිබඳවත් දැනුවත් කරන්නට මට හැකියාව තිබුණා''.

කැණීම් කටයුතුවලින් සොයා ගත් අස්ථි කොටස් මෙන්ම අනෙකුත් සාක්ෂි සම්බන්ධවත් කටයුතු කර ඇති ආකාරයෙහි දුර්වලතා මෙන්ම ගැටළු පවතින බවට එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම විසින් නගන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ජයසේන කියා සිටියේ එම චෝදනාවේ යම් සත්‍යතාවයක් තිබෙන නමුත් එය එල්ල විය යුත්තේ  තමන් හෝ අනෙකුත් පරීක්‍ෂකයන්ට නොව, ආරම්භයේ පටන්ම මිනිවලෙහි පරීක්‍ෂණ කටයුතු අඩපන කිරීමට උත්සහ දැරු දේශපාලන බලාධිකාරයට බවයි.

ශාරිරික සහ මානසික හිංසනයන්

''මේ සමුහ මිනිවළෙ කැණීම් සහ පරීක්‍ෂණ නතර කිරීමට බලධාරීන් මොනවද නොකළේ?මේක අවුරුදු සිය ගණනක් පැරණි සොහොන් බිමක් කිවුවා. වසන්ගත හැදිලා මැරුණු මිනිසුන්ව වළ දැමු තැනක් කිවුවා. පස්සේ බැරිම තැන මතු කරගත් අස්ථි කොටස්වල කාල නිර්ණය කිරීම සදහා චීනයට යවන්න හැදුවා. මේ මිනිවළෙන්  මිනිස් ශරිර 150කට අධික අස්ථි කොටස් අපි ගොඩගත්තේ ශාරීරිකවත්, මානසිකවත් අපිට එල්ලවුණු නොයෙක් තර්ජනයන් සහ අඩන්තේට්ටම් මැදයි. අපිට අවස්ථාව තිබුණා බලධාරීන් කියන විදිහටම මිනීවළ වහලා දාලා පැත්තකට වෙලා ඉන්න. එහෙම නැත්නම් මේක අපරාධයක් සිදුනොවුණු තැනක්ය කියලා වාර්තාවක් සපයන්න. මම අදටත් කියන්නේ මේක  කෲර විදිහට මිනිසුන්ව මරලා වලදාපු සමුහ මිනීවළක්. ඒක කාගෙන්වත් සඟවන්න උවමනාවක් මට නැහැ''.

කැණීම් සහ පරීක්‍ෂණ කටයුතුවල නියුතු අයගේ වෝහාරික දැනුම දියුණු කිරීම මෙන්ම නිසි පරිදි අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමත් අත්‍යාවශ්‍ය වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම තම වාර්තාව මගින් කියා සිටියි. නමුත් වෛද්‍ය අජිත් ජයසේන ඒ සම්බන්ධව කියා සිටියේ දේශපාලන බලවතන්ගෙන් තමන්ට පැනවී තිබූ සීමා පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස් කිසිදු විමසීමක් සිදු නොකොට සිය වෘත්තීය ශක්‍යතා පිළිබඳ සැක මතු කරමින් ප්‍රකාශ නිකුත් කිරීම ගැටළු සහගත බවයි.

රට පුරාම මිනී වළවල්

''මෙවැනි සමුහ මිනීවළක් ගොඩ ගන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා භාවිතා කරන විශේෂිත උපකරණ තිබෙනවා. භෞතික සහ මානව සම්පත්වල ප්‍රමිතියක් තියෙනවා. මේ කිසිවක් නිසි පරිදි නොමැතිවයි මේ හැම දෙයක්ම අපි කෙරුවේ. අපිට තිබුණේ සීමාසහිත මානව සම්පතක්. මගේ සහයට හිටියේ එක් වෛද්‍යවරයෙක් පමණයි. මුළු දවසම වළ හාරමින් ගොඩගත්ත අස්ථි කොටස් අපි අපේ කරවල් මතින් තමයි රෝහලේ පරීක්‍ෂණාගාරයට අරන් ගියේ. මම පෞද්ගලිකව රුපියල් 550 බැගින් කම්හලකට ගෙවලා හදා ගත්ත මෙවලම් දෙකකින් තමයි මිනීවළේ අස්ථි කොටස් මතුකර ගත්තේ''.

මිනීවළෙහි කැණීම් නතර කිරීම සම්බන්ධවත් එක්සත් ජාතීන්ගේ විමර්ශන කණඩායම සිය නොසතුට ස්වකීය වාර්තාව තළින් පළ කර ඇතැයි කියා සිටින වෛද්‍ය ජයසේන, තමන් එවැනි තීරණයකට එළැඹුණේ කැණීම් කටයුතු සඳහා සහාය වු මහාචාර්ය රාජ් සෝමදේව සමග සාකච්ඡා කිරීමෙන් පසුව යැයි අවධාරණය කරයි. එසේම එය නිසි විද්‍යාත්මක පරීක්‍ෂණයකින් අනතුරුව සිදුකළ එකක් යැයිද ඔහු කියා සිටියි. එහෙත් වගකිව යුතු බලධාරීන් නිසි පරිදි සම්පත් ලබා දෙමින් බලපෑම් සහ බාධා නොකර සිටින්නේ නම් තවදුරටත් කැණීම් කිරීමට තමන් සුදානම් බවද, ලංකාවේ සමුහ මිනිවළවල් හැරීම මාතලේට පමණක් සිමා නොකර උතුරු නැගෙනහිරද ඇතුළුව හඳුනාගෙන ඇති සියළු ස්ථානවල සිදුවිය යුතු බවටත් ඔහු පවසයි.

'මිනීවළෙහි කැණිම් සහ පරීක්‍ෂණ කටයුතු සිදු නොවන බවට චෝදනා කරන අදාළ විමර්ශන කණඩායම එවැනි තත්ත්වයකට වගකිව යුතු එක් පාර්ශවයක් වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව එක්ක මිනීවළ පරිශ්‍රයට ගොස් තොරතුරු විමසීම පවා ගැටළුවක්' ඔහු කියා සිටියේය.

සීඅයිඩී නිගමනය

කෙසේ වෙතත් තම අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටි මාතලේ පොලිසියේ උසස් නිළධාරියෙක් JDS හා කියා සිටියේ අදාළ විමර්ශන කණ්ඩාම සමග සමුහ මිනීවළ නිරීක්‍ෂණයට පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් මෙය අපරාධයක් සිදුවු ස්ථානයක් නොවේ යැයි තම පරීක්‍ෂණ තුළින් ඔප්පු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට පවසා සිටි බවයි.

''සීඅයිඩී යෙන් කිවුවා අපිට තියෙන සාක්ෂි අනුව මේක සමුහ මිනිවළක් නෙවෙයි කියලා. ඒ වගේම ඔවුන් කිවුවා මෙහි කාල නීර්ණ පරීක්‍ෂණයට අනුව ඔප්පු වෙලා තියෙන බව, මේ අස්ථි කොටස් 87-91 කාලයට අයත් එක්ක නොවන බවට. නීතිපති දෙපාර්තුමේන්තුවත් එක්ක එකතුවෙලා නඩු පවරන සීඅයිඩීය එහෙම කියනවා නම් මේකේ ඉදිරි පරීක්‍ෂණවල තත්ත්වය ගැන හිතන්න පුලුවන් නේද? ''

අපරාධකරුවන් ආණ්ඩු කිරීම

එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම විසින් මාතලේ සමුහ මිනීවළේ පරීක්‍ෂණ සම්බන්ධව නගන චෝදනා පිළිබඳ අදහස් දක්වමින් අතුරුදහන්වුවන් පිළිබඳ පවුල් එකතුවේ කැඳවුම්කාර බ්‍රිටෝ ප්‍රනාන්දු JDS හා කියා සිටියේ රාජපක්ෂ ආණ්ඩුවේ තර්ජන සහ බාධා කිරීම් මැද්දේ වෛද්‍ය අජිත් ජයසේන සහ මහාචාර්ය රාජ් සෝමදෙව තමන්ට හැකි උපරිම අයුරින් මෙහි පරීක්‍ෂණ කටයුතු මෙහෙය වු බවයි.

''ඔවුන් දෙන්නා කිසිම පැකිලීමක් නැතිව කිවුවා මේ මිනීවළ 87-91 කාලයට අයත් එක්කය කියලා. රාජපක්ෂ ආණ්ඩුව කාලේ මිනිස්සු මේක ගැන කතා කලේ නැහැ ගෝඨාභයට තියෙන බය නිසා. අතුරුදහන්වුවන්ගේ පවුල්වල සමාජිකයන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා තමන්ගේ දරුවාව ගෝඨාභයගේ අතටම භාර දුන්නා කියලා. ගෝඨාභය තමයි ඒ දවස්වල මාතලේ දිස්ත්‍රික්කයේ යුධ හමුදා සම්බන්ධීකරණ නිළධාරියා වශයෙන් ක්‍රියා කළේ. නමුත් හැමෝම අමතක කරන එකක් තමයි ගෝඨාභයට ඇගිල්ල දික් කරන කොට එක්සත් ජාතික පක්ෂයටත් ඒ චෝදනාවම එල්ල කෙරෙන බව. මොකද මේ අපරාධ සිදු වුණේ ඔවුන්ගේ පාලන කාලයේ නිසා. ඒ නිසා අදටත් අපිට විශ්වාසයක් නැහැ මේ සමුහ මිනීවළවලට යුක්තිය ඉටුවෙයි කියලා. අද පාලන බලය තියෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය අතේයි. ඒ නිසා ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම්වල වගකීම විය යුත්තේ නිසි පරිදි පරීක්‍ෂණ කරන ලෙසට ආණ්ඩුවට, හා අදාළ දේශපාලන බල අධිකාරිත්වයට බලපෑම් එල්ල කිරීමයි''.

මාතලේ සමුහ මිනීවළ සම්බන්ධව පත්කරනු ලැබු ජනාධිපති විශේෂ කොමිසම විසින් ද මීට පෙර මිනීවළෙහි කැණීම් කටයුතු සිදුකළ වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේවගේ නිගමනයන්හි නිරවද්‍යතාවයන් පිළිබඳව ප්‍රශ්ණ කරනු ලැබුණි.

කෙසේ නමුත් පසුගිය ජූලි 24 වැනි දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දු කරණු ලැබුවේ මාතලේ සමුහ මිනීවළ සම්බන්ධයෙන් තවදුරටත් නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවටයි.☐

© JDS


සබැඳි ලිපි:

14.05.2015 - 'මාතලේ ජනාධිපති කොමිසමේ නිගමන වෘත්තීය විශේෂඥයන්ට කළ අවමානයක්'
07.14.2015 - මාතලේ මළවුන්ගේ කැරැල්ල: 'යහ පාලනය' අැටකටුවලට යුක්තිය පසිඳලනු ඇතිද?
07.01.2015 - මාතලේ මළවුන්ගේ කැරැල්ල: ගොළුවතින් වැසීයන සංහාරයක සාක්‍ෂි
07.01.2015 - මාතලේ සමූහ මිනීවල ගැන විදේශීය වාර්තාව 'පිළිගනු අසීරුයි' - මහාචාර්ය ‍සෝමදේව