මන්නාරම සමුහ මිනීවළ: කාල නීර්ණ පරීක්‍ෂණයකට ඉල්ලීමක්

න්නාරම සමුහ මිනීවළ අයත්වන කාල වකවානුව නිශ්චිත කර ගැනීම සඳහා එයින් හමුවු ශරීර අස්ථි කොටස්වල කාබන් පරීක්‍ෂණයක් කිරීමට විදෙස් විශේෂඥවරුන්ට භාර දෙන්නැයි ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කොට ඇතැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කේ එස් රත්නවේල් කියා සිටියි.

අපරාධයක් සිදුවු ස්ථානයක්

'දැනට හමු වී තිබෙන ශරීර අස්ථි කොටස් පිළිබඳව ඉදිරි පරීක්‍ෂණයන් නිසි පරිදි සිදුකිරීමට නම් පළමුවෙන්ම සොහොන් බිම අයත්වන කාලය පිළිබද නිවැරදි නිගමනයකට පැමිණිය යුතු බව', නීතීඥ රත්නවේල් ප්‍රකාශ කර සිටියේ JDS කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

"මෙය අපරාධයක් සිදුවු හෝ එසේත් නැත්නම් පුද්ගලයන් අතුරුදහන් කිරීමෙන් පසුව වළ දැමු සමුහ මිනිවළක් නොවෙයි කියන මතය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙයට පෙර වතාවක අධිකරණය හමුවේ කියා සිටියා. නමුත් ලිඛිත සාක්ෂිවලින් අපි අධිකරණය හමුවේ ඔප්පු කොට පෙන්වා තියෙනවා මෙතැන සාමාන්‍ය සොහොන් බිමක් තිබී නැති බවට. ඒක තවදුරටත් සනාථ කිරිමටයි අපි අස්ථි කොටස්වල කාල නිර්ණ පරීක්‍ෂණයක් කරන්න අධිකරණයේ අවසරය ඉල්ලා තිබෙන්නේ'' ඔහු කීය.

පුද්ගලයන් 80 ට අධික පිරිසකගේ අස්ථි කොටස් හමුව තිබෙන මෙම මිනී වළ සම්බන්ධයෙන් මේ තාක් සිදුකෙරුණු පරීක්‍ෂණයන්ට අනුව අපරාධයක් සිදුවු ස්ථානයක් යැයි සැක කළ හැකි සාධකයන් බොහෝමයක් හමුව ඇතැයි කියා සිටින නීතීඥ රත්නවේල් සිරුරු වළ දමා ඇති ආකාරය ඉන් ප්‍රධාන වන්නේ යැයි පෙන්වා දෙයි.

''මේ මිනී වළේ සිරුරු වළ දමා තිබුණේ එක උඩ එකක් තියෙන ආකාරයට මිසක් පිළිවලකට නොවෙයි. සාමාන්‍ය සොහොන් බිමක එහෙම සිරුරු වළ දමන්නේ නැහැ'' ඔහු ප්‍රකාශ කළේය.

2013 දෙසැම්බර් මාසයේදී සොයා ගනු ලැබු මන්නාරමේ තිරුකේතීශ්වරම් සමුහ මිනී වළෙහි කැණීම් කටයුතු අතර මග නවතා දමනු ලැබුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ භූමියෙහි 1953 පෙර කාලයට අයත්වන සොහොන් බිමක් පැවති බව අධිකරණය හමුවේ කියා සිටීමෙන් අනතුරුව ය. එහෙත් මිනින්දෝරු ජෙනරාල් කාර්යාලයේ නිල මිණුම් ලේඛනවල මෙන්ම ප්‍රාදේශීය සභා වීථි සිතියම්වලද එවැනි සොහොන් බිමක් පිළිබඳ කිසිදු සඳහනක් නොවන බව අතුරුදහන්වුවන්ගේ ඥතීන් විසින්  අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව තව දුරටත් කැණීම් කිරීමට අධිකරණය විසින් අවසර ලබා දෙන ලදී.

සෑහීමකට පත්විය නොහැකි පරීක්‍ෂණයන්

කෙසේ වෙතත් නීතීඥ රත්නවේල් වැඩි දුරටත් කියා සිටිනුයේ අස්ථි කොටස් විදේශීය විශේෂඥවරුන්ට යොමු කිරීම පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විරෝධයක් මතු කෙරී නොමැති මුත්, ඔවුන් මගින් අස්ථි කොටස් විදේශීය විශේෂඥවරුන් වෙත යොමු කිරීමට තමන් එකඟ නොවන බවයි.

''අපිට මාතලේ සමුහ මිනීවළ සම්බන්ධයෙන් අත්දැකීමක් තියෙනවා. එහි කැණීම් භාරව සිටි දේශීය විශේෂඥයන් අවස්ථා කිහිපයකදීම සැක මතු කොට තිබෙනවා විදේශීය පරීක්ෂණයන් සඳහා යවන ලද අස්ථි කොටස්වල විශ්වාසනීයත්වය ගැන. ඒ නිසා අපිට අවශ්‍ය නැහැ මන්නාරමේ සමුහ මිනී වළෙහි පරීක්‍ෂණවලටත් එවැනි තත්ත්වයක් ඇති ‍වෙනවාට''.

එසේම මිනීවළ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරෙන පරීක්‍ෂණයන් පිළිබඳවත් තමන්ට සෑහීමකට පත්විය නොහැකි යැයි කියා සිටින නිතිඥ රත්නවේල්, එහි නිළධාරින් සෑම විටම සිදුකරනුයේ නඩුවාරය කල් දමා ගැනිම පමණක්ම බව පෙන්වා දෙයි.

විදේශ රසායනාගාර

අනුරාධපුර මහා රෝහල් භාරයේ තිබෙන ඇතැම් අස්ථි කොටස් අධිකරණ අවසරයකින් තොරව ඒ ස්ථානයෙන් ඉවත් කිරීම හෝ වෙනයම් පරීක්‍ෂණ කටයුත්තකට ලක් කිරීම මේ වන විට වළක්වා ඇති බව ද නීතීඥ රත්නවේල් කියා සිටියි.

"අපි එහෙම අධිකරණ මැදිහත්වීමක් ලබාගන්න හේතුවුණේ, මේ වෙනකොට අපි ඉල්ලා තිබෙන කාබන් පරීක්‍ෂණය සඳහා අස්ථි කොටස් තේරීමේදි ඒවායේහි විශ්වාසනීයත්වය සහතික කරගැනිම අත්‍යාවශ්‍ය වී ඇති නිසායි".

ඇමරිකා එක්සත් ජනපදය, ආර්ජන්ටිනාව ඇතුළු රටවල් කිහිපයක පිහිටි වෝහාරික රසායනාගාර කිහිපයකම නම් අදාළ පෙත්සම මගින් අධිකරණයට දැනුම් දී ඇතැයි ද, ඉදිරි නඩු වාරයේදී මේ සම්බන්ධව නිශ්චිත තීන්දුවක් අධිකරණයෙන් ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය කරන්නේ යැයිද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.☐

© JDS