ඕලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 13 ක් රක්ෂිත බන්ධනාගාරයට

රාජ්‍ය දේපලවලට අලාභ හානි කිරිමේ චෝදනාවන් මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබු අම්පාර ඕලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනෙකුන් ලබන 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

අදාළ චෝදනාව මත අක්කරෙයිපත්තු පොලිසිය විසින් පසුගිය 6 වැනි දින අත්අඩංගුවට ගෙන, අක්කරෙයිපත්තු මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ වයි.එම්.එස්.යාපා බණ්ඩාර, ඩී.එම්.ඕ.ඩී.දසනායක, ඩබ්ලිව්.ජී.ජේ.ආරියරත්න, පී.ඒ.කරුණාවාසල, ඒ.කේ.සිරිකුමාර, ආර්.එන්.සිල්වා, ඒ.එම්.එස්.සඳරුවන්, එන්.එල්.රූපසිංහ, ඩී.ඒ.ජි.මදුසංඛ, එස්.ඒ.සිල්වා, ජී.සි.යු බණ්ඩාර, ආර්.එම් බණ්ඩාර, වයි.එල්.එම් රිම්සි ඛාන් යන සිසුන් 13 දෙනෙකි.

නේවාසිකාගාර අර්බුදයක්

අදාළ සිසුන් අත්අඩංගුවට ගැනිමට සහ රක්ෂිත බන්ධනාගාරගත කිරිමට බලපා ඇති හේතු පැහැදිලි කරමින් ඕලුවිල් විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සමාජික සම්පත් මධුසංඛ JDS හා කියා සිටියේ කාන්තා නේවාසිකාගාරයක ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවු ගැටළුවක් පිළිබඳව පසුගිය පළමුවැනි දින  විශ්ව විද්‍යාල පරිපාලනය සමග සාකච්ඡා කරමින් සිටියදී, එයින් පිටත රැඳි සිටි සිසුන් පිරිසකගේ තෙරපීමක් හේතුවෙන් දොරටුවක වීදුරුවක් බිඳි ඇති බවත් එයින් පසුව රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනාවට අදාළ සිසුන් පිරිසව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ය.

''විශ්ව විද්‍යාලය ආසන්නයේ තියෙන කාන්තා නේවාසිකාගාරයේ ආරක්ෂාව පිළිබඳව අපි අවස්ථා කිහිපයකදිම පරිපාලනය දැනුවත් කොට තිබෙනවා. නමුත් ඔවුන් ඒ ගැන කිසිදු සැළකිල්ලක් දක්වනු ලැබුවේ නැහැ. පසුගිය දිනෙක රාත්‍රියේ කාන්තා නේවාසිකාගාරයේ කාමරයකට යම් පුද්ගලයෙක් ඇතුල් වෙන්න උත්සාහ දරා තිබෙනවා. එදිනම රාත්‍රි 10 ට පමණ අපි නේවාසිකාගාර පරිපාලකට සිද්ධිය දැනුම් දුන්නා. නමුත් ඔහු තමන්ට නිදා ගැනිමට අවශ්‍ය බව කියමින් දුරකතනය විසන්ධි කරනු ලැබුවා. ඒ නිසයි අපි පසුගිය පළමුවැනිදා  උත්සාහ කළේ විශ්ව විද්‍යාල පරිපාලනය එක්ක ඒ පිළිබඳව  සාකච්ඡා කරන්න. සාකච්ඡාව සිදුවෙමින් තිබෙන අතරවාරයේ පරිපාලන ගොඩනැගිල්ල තුළට පොලිසිය පැමිණ ශිෂ්‍යයෙකුට පහර දුන්නා. ඒත් එක්කම පහළ  දොරටුව අසල රැඳි සිටි සිසුන්ටත් පොලිසිය  පහර දෙන්න උත්සහ කොට තිබෙනවා.ඒ අවස්ථාවේ ඇති වුණු තෙරපීමක් හේතුවෙන් තමයි පරිපාලන ගොඩනැගිල්ලේ දොරටුවක වීදුරුවක් කැඩී තිබෙන්නේ ''.

කෙසේ වෙතත් අදාළ සිදුවීමත් සමගම විශ්ව විද්‍යාල පරිපාලන විසින් සිසුන්ට එරෙහිව රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනාව මත පොලිසියට පැමිණිළි කරනු ලැබ ඇති අතර, ඒ අනුව අක්කරෙයිපත්තු පොලිසිය සිසුන්ව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. නමුත් සිසුන් කියා සිටිනුයේ විශ්ව විද්‍යාල පරිපාලනයට ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරිමේ තදබල අවශ්‍යතාවයක් කලින් සිට තිබු බවයි. 

''පැහැදිලිවම මේක සැළසුම් සහගත කළ අත්අඩංගුවට ගැනීමක්. ඒ වගේම දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඉන්න සියළු දෙනාම ඉදිරි පෙළ ශිෂ්‍ය ක්‍රියාකාරීන්. පරිපාලනයට අවශ්‍ය වෙලා තිබුණේ ශිෂ්‍ය ඉල්ලීම් පිළිබඳව සොයා බලන්න නොවෙයි. ශිෂ්‍ය ක්‍රියාකාරීන්ව මර්දනය කරන්නයි. ඒ නිසාම රුපියල් 50,000ට වැඩි නොවන  වීදුරුව බිඳීයාමේ අලාභය රුපියල් 140,420.00 බව දක්වමින් පැමිණිළ කර තිබෙන්නේ. අලාභය රුපියල් ලක්ෂයකට වැඩි නිසා සිසුන්ට ඇප ගන්නත් අපහසු වෙලා තියෙනවා" යි සම්පත් මධුසංඛ ප්‍රකාශ කරයි.

පොලිස් රාජ්‍යයක්

එසේම සිසුන් චෝදනා කරනුයේ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දීර්ඝ කාලයක සිට ස්ථිර පොලිස් කඳවුරක් පවත්වාගෙන යන බවත්, එයින් සිසුන්ගේ ආරක්ෂාවට මෙන්ම අධ්‍යාපන කටයුතුවලටද දැඩි බලපෑමක් එල්ලවන බවත් ය. විශේෂයෙන්ම අවස්ථා කිහිපයකදීම විශ්ව විද්‍යාලයේ සිසුවියන්ට මෙන්ම ආචාර්යවරියන්ටද කඳවුරේ පොලිස් නිළධාරින් වෙතින් යම් යම් බලපෑම් මෙන්ම හිරිහැරයන් සිදුවු බවත් ඔවුහු පෙන්වා දෙති. එහෙත් ඒ සම්බන්ධව පරිපාලනය කිසිදු තැකීමක් නොකරන බවට චෝදනා කරන සිසුහු, කිසිදු විමසීමකින් හෝ අවසරයකින් තොරව පොලිස් භටයන් විශ්ව විද්‍යාල භූමියේත්, දේශන ශාලා පරිශ්‍රයේත් සැරිසරන බව කියා සිටින අතර විශ්ව විද්‍යාල බලධාරින්ට ඒ සම්බන්ධව කොතෙක් පැමිණිළි කළද කිසිදු සැළකිල්ලක් නොදක්වන බව පෙන්වා දෙති.

නොනවතින මර්දනයක්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිසුන් 13 ට අමතරව තවත් සිසු සිසුවියන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පොලිසිය දැනුම් දී ඇතැයි පවසන ඕලුවිල් සිසුන්, බන්ධනාගාර ගතකර සිටින සිසුන් 13 අතර පසුගිය පළමුවැනි  දින පරිපාලනය සමග සාකච්ඡාවට සහභාගිව සිටි සිසුන් ද සිටින බව කියා සිටියි.

''සාකච්ඡාවට සහභාගිවු සිසුන්ව ඇයි අත්අඩංගුවට අරන් තියෙන්නේ? එයින්ම පෙන්නුම් කෙරෙනවා මේක පෙර සැළසුම් කළ දෙයක් කියලා. වීදුරුව බිඳීමට යමෙක්ව අත්අඩංගුවට ගන්න අවශ්‍ය නම් එයට කිසිදු සම්බන්ධයක් නැති අයව ඇයි අත්අඩංගුවට ගන්නේ?" විධායක කමිටු සාමාජික මධුසංඛ විමසා සිටියි.

කෙසේ වෙතත් රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනාවන් මත විශ්ව විද්‍යාල සිසුන් අත් අඩංගුවට ගැනීම් මෙන්ම, රක්ෂිත බන්ධනාගාරගත කිරීම් සම්බන්ධව ද මෙයට පෙර අවස්ථා කිහියකදීම JDS විසින් හෙළිදරව්කර තිබේ. පසුගිය අප්‍රේල් 29 වැනි දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණයක් අතරතුර රාජ්‍ය දේපළවලට අලාභහානි සිදුකළ බවට චෝදනා කරමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂුන් පස් දෙනෙක් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය හමුවට කැඳවන ලද්දේ සැප්තැම්බර් 10 වැනිදා ය. එකී චෝදනාව මතම ශිෂ්‍ය භික්ෂුන් පස් දෙනෙක්ව බන්ධනාගාරගත කරමින් තවත් නව දෙනෙකුට වරෙන්තු නිකුත් කරනු ලැබුවේත් පසුගිය අගෝස්තු 29 වැනි දින ය. ප්‍රශ්න කිරීම් සහ ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බව දක්වමින් කොළඹ  පොලිස් අපරාධ කොට්ඨාශය හමුවට කැඳවනු ලැබු  විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම ශිෂ්‍ය භික්ෂුන්ද එසේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර ඇත්තේය.☐

© JDS