මැතිවරණ ඝෝෂා මැද දෙමළ ජාතිකයන් සිව් දෙනෙක් කටුනායක දී අත් අඩංගුවට

හපාලනය සහතික කළ රජයක් බලයට පත් වූ මැතිවරණ උණුසුම මධ්‍යයේ දෙමළ ජාතිකයන් සිව් දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට තිබේ.

මෙයින් දෙදෙනෙක් රටින් පිටවීම සඳහා ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙක් යුරෝපයේ සිට ලංකාවට පිටමං කරන ලදුව කටුනායකට ගොඩ බැසීමේදී රහස් පොලිස් භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

රක්‍ෂිත බන්ධනාගාරයට

මැතිවරණයෙන් දින දෙකකට පසු අගොස්තු 19 වැනිදා කටාර් බලා යාමට ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේ රැඳී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මඩකළපුවේ පදිංචිකරුවෙකු වූ කේ රාජ්කුමාර් (36) සහ පුදුකුඩියිරිප්පු පදිංචිකාරියක වන ගංගාදරන් සාරණ්‍යා (19) යන දෙදෙනා ය. ඉතාලිය හරහා මෝල්ටාව බලා යාමට පැමිණි රාජ්කුමාර් හා ස්විට්සර්ලන්තයේ සිය සැමියා වෙත යාමේ අරමුණින් පැමිණ සිටි සාරණ්‍යා  ව්‍යාජ ලිය කියවිලි සිය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ එදිනම මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 01 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගතකොට තිබේ.

මේ අතර මැතිවරණයට පෙර දා තුර්කියේ සිට ජර්මනියට ගමන් කිරීමේ අපේක්‍ෂාවෙන් සිටියදී පෙරළා ශ්‍රී ලංකාවට නෙරපන ලද කෝපායිහි පදිංචිකරුවෙකු වන 26 හැවිරිදි ගුරුනාදන් නිරූෂන් සහ රාගම පදිංචිකරුවෙකු වන ෆ්‍රෙඩ්රික් ලෝරන්ස් යන දෙදෙනාද රහස් පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව අගෝස්තු 28 වැනිදා දක්වා මීගමු බන්ධනාගාර ගත කර ඇත.

19 දෙනෙක්

ඉකුත් ජනවාරි මාසයේ සිට ජූනි මාසය අවසානය තෙක් අවම වශයෙන් දෙමළ ජාතිකයන් 19 දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලිසියේ සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවට මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී අරියනේන්ද්‍රන් මීට පෙර JDS වෙත පැවසීය.☐

© JDS