ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට බ්‍රිතාන්‍ය දායකත්වය හෙළිකරන 'කීනි මීනි' චිත්‍රපටය අන්තර්ජාලයෙන්

ශ්‍රී

ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය දායකත්වය පිළිබඳව විමර්ශනාත්මකව අනාවරණය කරන වාර්තා චිත්‍රපටියක විශේෂ දර්ශනයක් අද (8) අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීමට නියමිත ය.

ෆිල් මිලර් සහ ලූ මැක්නමාරා විසින් අධ්‍යක්ෂණය කරන ලද "කීනි මීනි" චිත්‍රපටය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.30ට නොමිලේ විකාශය කිරීමට Declassified UK වෙබ් අඩවිය විසින් කටයුතු සංවිධානය කර තිබේ.

පහත සබැඳියෙන් 'කීනි මීනි' වාර්තා චිත්‍රපටිය නැරඹීමට හැකිය: Keeni Meeni

බ්‍රිතාන්‍යයේ සම්මානනීය හා ප්‍රමුඛතම දේශපාලන සිනමාකරුවකු වන කෙන් ලෝච් 'කීනි මීනි' පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, "වැදගත්, භයානක හා ප්‍රදර්ශනය කළ යුතු'ම වාර්තා සිනමාපටයක් බව ය.

"යුද අපරාධ සම්බන්ධයෙන් චූදිත පිරිස් පිළිබඳව එය සාකච්ඡා කරයි - ඔවුහු අප අතරම සිටිති" හේ කියයි.

එස්.ටී.එෆ් හා එස්.ඒ.එස්

සිව් වසරක් වැය කරමින් නිර්මාණය කරන ලද 'කීනි මීනි' වාර්තා සිනමාපටය, බ්‍රිතාන්‍යයේ හිටපු විශේෂ ගුවන් සේවා (Special Air Services - SAS) සෙබළුන්ගේ දායකත්වයෙන් ආරම්භ කළ කුලී හේවා සමාගමක් වන 'කීනි මිනී සර්විසස්' පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු හෙළිකර සිටියි.

'80 දශකයේ ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී ශ්‍රී ලංකාවේ රජයේ විශේෂ හමුදා ඒකක පුහුණු කිරීම සඳහා කීනි මීනි සමාගමේ ක්‍රියාකාරී දායකත්වය ලබාගත් නමුත් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය නොකිරීමට ශ්‍රී ලංකා සහ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වගබලා ගන්නා ලදී.

1983දී පිහිටුවන ලද ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායට සහ 1985දී ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 'බී' කණ්ඩායමට සන්නද්ධ කැරළි මර්දන යුද ක්‍රියා පිළිබඳ පුහුණුව සපයන ලද්දේ බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් සේවා මේවර්වරයකු වූ ඩේවිඩ් වෝකර් විසින් ආරම්භ කළ කීනි මීනි සේවාවට අනුයුක්ත කුලී හේවායන් විසිනි.

1987 වන විට කීනි මීනි ආරක්ෂක සේවාවට අයත් බ්‍රිතාන්‍ය සංග්‍රාමික විශේෂඥයන් අවම වශයෙන් 35 දෙනකුගේ නේවාසික කණ්ඩායමක් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය පුහුණුව සපයමින් ද, ක්‍රියාන්විත මෙහෙයුම්වලට දායකවෙමින් ද දිවයින තුළ රැඳී සිටින බව 1987 මැයි මාසයේදී 'වොෂින්ටන් ටෛම්ස්' පත්‍රය විසින් අනාවරණය කර සිටියේය. විශේෂයෙන්ම ගුවනේ සිට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ අඩු අත්දැකීම් සහිත ශ්‍රී ලංකා හමුදාවන්ට බෙල් 212 හා 412 ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල සිට වෙඩි තැබීමට සහ බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය සක්‍රීය පුහුණුව කීනි මීනි සෙබළුන් විසින් සපයන ලද්දේ උතුර සහ නැගෙනහිර සජීවි සටන්වලට සහභාගී වෙමින් බව බ්‍රිතාන්‍ය පුහුණුකරුවන් විසින් පසුකාලීනව ලියන ලද මතක සටහන් මගින් හෙළිකර තිබේ.

බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා අපරාධ හවුල

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා මර්දනකාරී පාලන තන්ත්‍රයන්ට බ්‍රිතාන්‍ය විසින් සපයන ලද රහස්‍ය ආධාර පිළිබඳ විමර්ශනාත්මක අනාවරණය කිරීම් ගණනාවක් සිදුකළ මාධ්‍යවේදියකු වන ෆිල් මිලර්ගේ සම අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය කළ කීනි මීනි චිත්‍රපටය සඳහා එම වකවානුවට අයත් පුස්තකාල දර්ශන හා බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවන්හි රහස්‍ය ලිපිගොණුවලට අමතරව, විශ්‍රාමික බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, හිටපු කුලී හේවායන් සහ ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බලකායේ ප්‍රධානීන් විසින් සපයන ලද සම්මුඛ සාකච්ඡාවන් ද පදනම් කොටගෙන තිබේ.

"සිවිල් යුද්ධයේ ආරම්භය සඳහා බ්‍රිතාන්‍ය කුලී හේවායන් විසින් ඉටුකරන ලද නව-යටත්විජිතවාදී භුමිකාව වටහා ගැනීමටත්, දෙමළ, සිංහල හා මුස්ලිම් ජනයාට එරෙහිව පසුගිය 35 වසර තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකාය ගොඩනැංවීමේදී බ්‍රිතාන්‍ය කුලී හේවා බලඇණි විසින් සිදුකළ බලපෑම පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ට තේරුම් ගැනීමටත් මෙම චිත්‍රපටය උපකාරී වනු ඇතැයි මගේ විශ්වාසයයි" අධ්‍යක්‍ෂ මිලර් ජේඩීඑස් හා කියා සිටියේය.

වයින් වීදුරු තුළ ග්‍රෙනේඩ්

කීනි මීනි වාර්තා චිත්‍රපටය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් සපයන ශ්‍රී ලංකාවේ බ්‍රිතාත්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ එවකට ආරක්‍ෂක පරිවාරක නිලධාරියා වශයෙන් ක්‍රියාකළ ලුතිනන් කර්නල් රිචඩ් හොල්වර්දි හෙළි කර සිටින්නේ, ශ්‍රී ලංකා හමුදාවන්ට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල සිට හිස් වයින් වීදුරු තුළ බහාලන ලද අත් බෝම්බ හෙළීම මගින් දෙමළ ජනයා ඝාතනය කිරීමට කීනි මීනි කුලී සොල්දාදුවන් විසින් ක්‍රියා කළ බව ය.

මීට පෙර, ෆිල් මිලර් විසින් 'කීනි මීනි' සමාගමේ රහස් ක්‍රියාකාරකම් පිළිබඳව ලියන ලද විමර්ශනාත්මක කෘතිය 2020 ජනවාරි මාසයේ දී බ්‍රිතාන්‍යයේ ප්ලූටෝ ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

මාධ්‍යවේදියකු වශයෙන් ජේඩීඑස් වෙබ් අඩවියට වරින් වර ලේඛන දායකත්වය සපයා ඇති ෆිල් මිලර්, 2013 දෙසැම්බරයේදී ජර්මනියේ මුළුදුන් ශ්‍රී ලංකාවේ වර්ග සංහාරක යුද්ධය පිළිබඳ අන්තර්ජාතික මහජන විනිශ්චය සභාව හමුවේ යුද්ධයට ඇති බ්‍රිතාන්‍ය දායකත්වය පිළිබඳ වැදගත් කරුණු අනාවරණය කළ විශේෂඥ සාක්ෂිකරුවකු වශයෙන්ද සහභාගී විය.

ඔහු විසින් ලියන ලද Britain's Dirty War against the Tamil People (1979-2009) සහ Exporting Police Death Squads: From Armagh to Trincomalee යන පුස්තිකාවන්, ජර්මනියේ බ්‍රේමන් නුවර ජාත්‍යන්තර මානව හිමිකම් සංගමය විසින් 2014 හා 2015 වසරවලදී පිළිවෙලින් එළි දක්වනු ලැබුණි.☐

© JDS