වැඩි වැටුප් නීතිගත කරන්නැයි ඉල්ලා පෞද්ගලික අංශ කම්කරුවෝ සටනේ

හපාලන ආණ්ඩුවේ දින සියයට පෙර  අතුරු අයවැය මගින් පෞද්ගලික අංශ කම්කරුවන් වෙනුවෙන් යෝජනා කළ වැටුප් වැඩිවීම් නීතිගත කරන ලෙස ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් අඟහරුවාදා (7) පැවැත්වුණි. කටුනායක නිදහස් වෙළඳ කළාපය අසළ මෙන්ම  නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට රැස්වූ පෞද්ගලික අංශ කම්කරුවන් උද්ඝෝෂණයේ නිරතවු අතර දහවල් කෑම පැයේදී කොළඹ නගරයට අමතරව ජා-ඇල, බියගම, රත්මලාන, කළුතර, වත්තල වැනි කාර්මික ප්‍රදේශවල පෞද්ගලික අංශ වැඩබිම් ඉදිරිපිටදී ද විරෝධතා පැවැත්වුණි.

උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට සමගාමීව ආණ්ඩුවේ ප්‍රධානීන්ට යොමු කිරීමට සකස් කෙරුණු පෙත්සමකට කම්කරුවන්ගේ අත්සන් ලබා ගැනීමේ වැඩ සටහනක් ද දියත් කොට තිබේ. පසුගිය 19 වැනිදා  සිට පෞද්ගලික අංශ වැඩබිම් හරහා මෙම වැඩ සටහන ආරම්භ කොට ඇත්තේ ආණ්ඩුවේ ජාතික විධායක සභාව නියෝජනය කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන අන්තර් සමාගම් සේවක සංගමය යි.

අතුරු අයවැය මගින්  කම්කරු වැටුප රුපියල් 2,500කින් වැඩිකරන ලෙස ආණ්ඩුව හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කළ ද වැටුප් වැඩිවීමක් කළ හැක්කේ පඩි පාලක සහා සමග සාකච්ජා කිරීමෙන් බව හාම්පුතුන්ගේ සම්මේලනය ප්‍රකාශ කර ඇත. පඩි පාලක සභා මේ වන විට යල් පැන ගොස් ඇති බවත්, ඒ තුළින් තීරණය කළ හැක්කේ කම්කරුවන්ගේ අවම මාසික වැටුප බවත් උද්ඝෝෂණයේ යෙදෙන වෘත්තීය සමිති පෙන්වා දෙයි. පෞද්ගලික අංශ කම්කරුවෝ දැඩි ලෙස පවසන්නේ වැටුප් වැඩිවීම පනතක් මගින් සම්මත කර නීතිමය බවක් ලබා දෙන ලෙස ය.

අගමැතිට ලිපියක්

අතුරු අයවැයෙන් ලබා දීමට යෝජනා වූ රුපියල් 2,500 වැටුප් වැඩිවීම නීතිගත කරන මෙන් ඉල්ලා පසුගිය පෙබරවාරි 25 වැනි දා කටුනායක නිදහස් වෙළඳ කළාප කම්කරුවෝද උද්ඝෝෂණයන්හි නිරත වූහ. ඊට ආණ්ඩුවේ ප්‍රතිචාරයක් නොවූ බැවින් විරෝධතා පෙළපාළියක් හා රැළියක් මගින්  අගනුවර  මුත්තයියා පිටියට රැස් වූ දහස් ගණන් පෞද්ගලික අංශ කම්කරුවෝ සිය ඉල්ලීම් නොපමාව ඉටුකරන මෙන් බලකර සිටියහ. ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 10ක් මගින් මාර්තු 6 වැනිදා දාතමින් යුතුව අගමැති රනිල් වික්‍රමසිංහ ට යොමු කළ ලිපිය මගින් ඉල්ලා තිබුනේ මෙම වැටුප් වැඩිවීම් නීතිගත කරන ලෙස ය. එහෙත් අගනුවරට කම්කරුවන් කැඳවා ආණ්ඩුවට බලපෑමක් කිරීමට වෘත්තීය සමිති නායකයන් තීරණය කර ඇත්තේ ඊට සතුටුදායක ප්‍රතිචාරය නොලද බැවිනි.

මේ අතර පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 7ක නියෝජිතයන් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ප්‍රධාන යෝජනා 3ක් ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි 16 වැනිදා ය. 200%ක් පමණ වන රාජ්‍ය හා පෞද්ගලික අංශ කම්කරුවන්ගේ වැටුප් විෂමතාවය අවම කිරීම, ඉහළ ගොස් ඇති  රුපියල් 280ක් වන අංකය ගැසට් කිරීම, රාජ්‍ය අංශයේ දී සිදුකළ අයුරින් පෞද්ගලික අංශයේ ද දින 180 සම්පුර්ණ කර ඇති  අනියම් හා කොන්ත්‍රාත් කම්කරුවන් ස්ථිර සේවයට බඳවා ගැනීම  පිළිබඳ ඉල්ලීම් මෙහිදී ප්‍රමුඛ විය.

අවිධිමත් ක්‍ෂේත්‍රයන්ද ඇතුළත්ව මිලියන අටක් පමණ වන පෞද්ගලික අංශ කම්කරුවන් කෙරෙහි මෙතෙක් පැවතී සෑම ආණ්ඩුවක්ම දැක්වුයේ අඩු සැලකිල්ලක් බව වෘත්තීය සමිති නියෝජිතයෝ චෝදනා කරන අතර පසුගිය ජනාවරියේ දී පැවති ජනාධිපතිවරණයේදී  යහපාලන අපේකෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද පෞද්ගලික අංශ කම්කරුවන් පිලිබඳ සඳහන් නොවීම අවධාරණය කර පෙන්වා දෙති. මේ පිළිබඳව වෘත්තීය සමිති කළ විමසීමකින් පසු එවකට  ජනාධිපතිධුර අපේක්‍ෂකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන, 'සිය රජයක් තුළ කිසිසේත්ම වැඩ කරන  ජනතාව අමතක කර නොදමන බව හා එසේ කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව අවධාරණය කරන' බවට ලිඛිත පිළිතුරක් ලබා දදුන් බව වාර්තා විය. ඒ සමගම පෞද්ගලික අංශ කම්කරුවන්ට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඔහු කළ ඉල්ලීමට පතිචාර දක්වමින් නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමය විසින් දීර්ඝ යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුණි.

ඉල්ලීම් පිළිබඳ යෝජනාවලියක්

රුපියල්  5,000ක වැටුප් වැඩි වීමක්, සියලු ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි පඩි පාලක සභා පිහිටුවීම, ජාත්‍යන්තර කම්කරු නීති ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවට ඇතුළත් කිරීම, පළාත් කම්කරු අධිකරණ පිහිටුවීම,  'මෑන් පවර්' ක්‍රමය අහෝසියට නීති සම්පාදනය කිරීම, සේවක අර්ථ සාධක අරමුදල වෙනුවෙන් පාර්ලිමේන්තුවට වග කියන කළමනාකරණ කොමිසමක් පත් කිරීම හා 2012 වසරේ සිට එහි වංචා දුෂණ විමර්ශනය කිරීම යන ඉල්ලීම් මීට අයත් විය. ඊට අමතරව රාජ්‍ය හා පෞද්ගලික අංශ මාතෘ නිවාඩු කොන්දේසි වල විෂමතා අහෝසි කිරීම, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමට සම වැටුප් ලබාදීම, වෙළඳ කළාප හා කර්මාන්තපුර ආසන්නයේ ළදරු සුරැකුම් මධ්‍යස්‌ථාන පිහිටුවීම, ලිංගික අතවර හා  හිංසනයට එරෙහිව පැමිණිලි කිරීමට කාන්තා කමිටු පිහිටුවීම, සේවා කාලය තුළ ලබා ගත හැකි සමාජ ආරක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, නිදහස් වෙළඳ කළාප හා පෞද්ගලික අංශ කම්කරුවන් ඉලක්ක කර ගනිමින් නිවාස සංකීර්ණ ඉදිකිරීම, රට තුළ සංක්‍රමණික කම්කරුවන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමේදී මතුවන ගැටළු නිරාකරණය කිරීම සහ  රැකියාවේ සුරක්ෂිත කිරීමට අවශ්‍ය නීති සම්පාදනය හා අනෙකුත් ක්‍රියා මාර්ග ගැනීම  පිළිබඳ ඉල්ලීම් ද අදාළ යෝජනාවලියට ඇතුළත්ව තිබුණි.

අතුරු අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට පෙර ද පෞද්ගලික අංශ කම්කරුවන් මුහුණ දෙන ගැටළු ගැන වෘත්තීය සමිති විසින් ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කළේය. අන්තර් සමාගම් සේවක සංගමය උද්ඝෝෂණය කරනු ලැබුයේ පෞද්ගලික අංශ කම්කරුවන්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන ලෙසයි. නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සංගමය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති ඉල්ලා සිටියේ රුපියල් 5,000ක වැටුප් වැඩිවීමකි. එහෙත් අතුරු අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමති රවී කරුණානායක පෞද්ගලික අංශ කම්කරුවන්ගේ  වැටුප් රුපියල් 2,500කින් ඉහළ දමන මෙන්  හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කළේය.

වෘත්තීය සමිති 10ක්

කෙසේ වුවද මෙතෙක් ඉදිරිපත් කර ඇති කිසිදු ඉල්ලීමක් ඉටුකිරීමට සමත් නොවූ යහපාලන ආණ්ඩුව අදාළ වැටුප් ඉහළ දැමීම සඳහා මැදිහත් වීම  මග හරිමින් සිටින බව පෞද්ගලික අංශ වෘත්තීය සමිති නියෝජිතයෝ චෝදනා කරති. වැටුප් ප්‍රශ්නය කම්කරුවන් හා හාම්පුතුන් අතර විසඳා ගත යුතු ප්‍රශ්නයක් ලෙස ආණ්ඩුව ඉඟි කරද්දී හාම්පුතුන්ගේ සංවිධාන පවසන්නේ  පඩි පාලක සභා ඔස්සේ මෙය නිරාකරණය කර ගත යුතු බවය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ ලංකා වෘත්තීය සමිති සම්මේලනය, පාලක ආණ්ඩුවේ  එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමය සහ ලංකා ජාතික වතු කම්කරු සමිතිය,  ලංකා කම්කරු සම්මේලනය, ආණ්ඩුවේ ජාතික විධායක සභාව නියෝජය කරන ජනතා විමුක්ති පෙරමුණ හා නව සම සමාජ පක්‍ෂයට අනුබද්ධ සමිති වන අන්තර් සමාගම් සේවක සංගමය හා එක්සත් කම්කරු සම්මේලනයට අමතරව ලංකා වෙළඳ හා කාර්මික පොදු සේවක සංගමය, නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමය, ලංකා වතු සේවා නිලධාරීන්ගේ සංගමය සහ එක්සත් වතු කම්කරු වෘත්තීය සමිති මධ්‍යස්ථානය යන ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරනු ලබන වෘත්තීය සමිතිවල මැදිහත් වීමෙන් අඟහරුවාදා උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.☐

© JDS