සිරගත ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගෙන් මරණ තර්ජන

කිත්සිරි විජේසිංහ විසිනි.


ධ්‍යාපන මිලිටරිකරණයට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණය කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ප්‍රමුඛ ක්‍රියාකාරීහු රාජපක්ෂ හිතවාදී, පොලිස් බලධාරියකුගේ මරණ තර්ජනයෙන් බිය වැදී සිටිති.

එම විශ්වසනීය තොරතුරු අනාවරණය වී ඇත්තේ තුන් මාසයකට ආසන්න කාලයක් සිරභාරයේ සිටින ක්‍රියාකාරීන් පිරිස ඇප නොදී තවදුරටත් රිමාන්ඩ් ගත කිරීමට කොළඹ මහාධිකරණය විසින් ඔක්තෝබර් 25 දා නියෝග කිරීමත් සමගය.

පසුගිය අගෝස්තු හය වැනිදා අලුයම් කාලයේදි තලංගම පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලීසියට රැගෙන ගොස් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටියදී කොළඹ ප්‍රදේශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බවට විශ්වාස කළ හැකි අයෙක් දුරකතනය ඔස්සේ තමන් ඇතුළු පිරිසට තර්ජනය කළ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

"එකෙක්වත් අත අරින්නේ නෑ"

"මගේ කට උත්තරය ලියමින් ඉන්න කොට, තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා, මට ඔහුගේ දුරකතනයේ ස්පීකරය දමා කිවුවා 'සීනියර් ඩීඅයිජී දේශබන්ධු තෙන්නකෝන් කතා කරනවා' කියලා. 'මේ පාර නම් තොපි එකෙක්වත් අතාරින්නේ නෑ. ඔක්කෝටම කෙළවලා දානවා. තොපි රඟපානවා වැඩියි. පරෙස්සමින් හිටපියවු' කියලා ඔහු මට තර්ජනය කෙරුවා"යි මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගර ගත කරමින් සිටින අවිශිබම කැඳවුම්කරු විසින් රහසිගත ලෙස ලියා සිය සහෝදර සිසුන් වෙත එවා තිබෙන ලිපියක සඳහන් වේ.

අදාළ ලිපියේ පිටපතක් JDS වෙතද ලැබී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කරන ලද තර්ජනය සැබෑවක් විය හැකි ආකාරය තමන් ඇතුළු පිරිස නිරෝධායනයට රැගෙන යාමෙන් අනතුරුව ප්‍රායෝගිකව අත්දුටු බව වසන්ත මුදලිගේ ඔහුගේ ලිපියෙහි සඳහන් කර තිබේ. එමෙන්ම දිගින් දිගටම ඇප ප්‍රතික්‍ෂේප වෙමින් තිබෙන තත්වයක තමන් සහ සෙසු අයගේ ජීවිත පිළිබඳව දැඩි බියක් හා සැකයක් දැනෙන බව ඔහු, සිය සහෝදර ශිෂ්‍ය ක්‍රියාකාරින් හමුවූ එකම සහ අවසන් අවස්ථාවේදී පවසා ඇත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක කොබෙයිතුඩුවේ සමිත හිමි ජේඩීඑස් හා කියා සිටියේ කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙයට පෙර අවස්ථාවලදී ද ශිෂ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරින් ඉලක්ක කරමින් විවිධ තර්ජනාත්මක ප්‍රකාශ සිදුකර තිබුණ ද, තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ දුරකතනය ඔස්සේම සිදුකර තිබෙන මෙම තර්ජනය කිරීම සුළු කොට නොතකන බවයි.


"පැහැදිලිවම මේක මරණ තර්ජන එල්ල කිරීමක්. අපි දන්න විදිහට මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතෙක්. දේශබන්දු තෙන්නකෝන් හරහා මේ එළියට පනින්නේ ආණ්ඩුවේ මතය නම් ඒක තවත් බරපතලයි. පොලීසිය බලහත්කාරයෙන් අරන් ගිය ශිෂ්‍ය නායකයෙක් ඒ පොලිසියේම ප්‍රධානින් ඉදිරියේ ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියාගේ තර්ජනය කිරීම්වලට ලක් වෙනවා. අනෙක වසන්ත මුදලිගේ සහෝදරයයි අනෙක් අයයි නිරෝධායනයට කියලා අරන් ගිහින් කඳවුරක හිරකරගෙන ඉඳලා කොරෝත් බෝකරලා දැන් ඇපත් නොදී තියාගෙන ඉන්න කොට පැහැදිලිවම පේනවා මේ තර්ජනය කිරීම් නිකන් ආවට ගියාට කියපුවා නෙමෙයි කියලා," යි අවිශිබම මාධ්‍ය ප්‍රකාශක සමිත හිමි කීය.

උසාවියයි, පොලිසියයි, පාර්ලිමේන්තුවයි

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් පමණක් නොව, පොලිසිය භාර ඇමැතිවරයා වන සරත් වීරසේකර පවා අවස්ථා කිහිපයකදීම ශිෂ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරින් මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරින් ඉලක්ක කරමින් ද්වේශ සහගත ලෙස යම් - යම් ප්‍රකාශ සිදුකර තිබෙන බව පවසන මාධ්‍ය ප්‍රකාශක හිමියන් අධිකරණයේ ක්‍රියාකාරීත්වය ද දේශපාලන මැදිහත් වීමක් ලෙස දකියි.

"මේ මර්දනය එන්නේ විධායකයෙයි, ව්‍යවස්ථාදායකයෙයි, ඒ වගේම අධිකරණයෙයි එකතුවෙන්. ඒක පැත්තකින් පොලිසියේ ප්‍රධානීන් කරන තර්ජන. අනෙක් පැත්තෙන් කඩුවෙල අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා සිදුකරන දේශපාලනික පක්ෂපාතීකම් හැඟවෙන ප්‍රකාශ," යි මාධ්‍ය ප්‍රකාශක සමිත හිමියෝ කීහ.

උන්වහන්සේ පවසන පරිදි, ඉදිරිපත්ව ඇති සාක්ෂි මත කෝෂිලා හංසමාලි මෙම නඩුවට අදාළ නොවන බව තහවුරු වී ඇති බැවින් ඈ මුදා හැරීමට විරුද්ධත්වයක් නැතැයි පොලිසිය පවසා තිබුණද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

"මේක මහ පුදුම තත්ත්වයක්. පොලිසිය කියනවා නඩු දාන්න කරුණු නෑ කියලා. මහේස්ත්‍රාත්තුමා ඒක අහන්නේ නැතුව ඇප දීමත් ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ඒකයි අපි කියන්නේ මේ සියල්ල සිද්ධ වෙන්නේ ඉහළ දේශපාලන මැදිහත් වීමක් මතයි කියලා."

අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ, සිසු ජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි පෙරේරා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප, රජරට විශ්ව විද්‍යාලයේ හේෂාන් හර්ෂණ සඳරුවන් සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත යන අය විවිධ අවස්ථාවලදි අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අගෝස්තු 03 වනදා පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයෙන් අනතුරුව ය.

වසන්ත මුදලිගේ, කෝෂිලා හංසමාලි පෙරේරා, හේෂාන් හර්ෂණ සහ චමීර කොස්වත්ත යන සිවු දෙනාව නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුනු ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර, අමිල සන්දීප විශ්ව විද්‍යාලය ආසන්නයේදී නාදුනන පිරිසක් විසින් බලහත්කාරයෙන් වෑන් රථයක දමාගෙන පැහැරගෙන ගොස් රහසිගත ස්ථානයක රඳවා තබා ගෙන සිට පසුව මිරිහාන විශේෂ විමර්ශන ඒකකයටත් එතැනින් තලංගම පොලිසියටත් භාර දී තිබුණි.

තලංගම පොලිසීයේ ස්ථානාධිපතිවරයා විසින් පසුගිය මස 12 දා, නඩු අංක 44506/21 යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බී වාර්තාවක දැක්වෙන්නේ අත්අඩංගුවේ පසුවන්නන් සහ තවත් අය පසුගිය අගෝස්තු මස තුන්වැනි දා පවත්වන ලද උද්ඝෝෂණයේදි රුපියල් 213,633.42 ක අලාභයක් සිදුකර ඇති බව ය. ඒ අනුව 1982 අංක 12 දරණ පොදු දේපළ යටතේ ඇප දිය නොහැකි වරදක් සිදුකර තිබෙන බවටද පොලිසිය අධිකරණය හමුවට කරුණු දක්වා තිබේ. නමුත් සිසු ජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත පොදු දේපළ පනත යටතේ වරදක් කර නොමැති බවද තලංගම පොලිසිය කියයි.

ඇප දෙන්න අකමැති විනිසුරන්

"මෙම කලහකාරී පිරිස අතරේ සිටිමින් මිනී පෙට්ටි ආකෘතිය ගිනි තැබීම හෝ එම ආකෘති මිනී පෙට්ටිය පිළිස්සීමට ක්‍රියාකිරීම හෝ බැරියර් ගේට්ටු තල්ලු කිරීම හෝ ඒ මත නැගී ආමන්ත්‍රණය කිරීම වැනි දර්ශනවල මෙම සැකකාරිය නිරික්ෂණය නොවේ," යි තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ කෝෂිලා හංසමාලි පිළිබඳව දක්වා ඇති එම සටහන ඒ ආකාරයෙන්ම චමීර කොස්වත්ත සම්බන්ධයෙන්ද දක්වා තිබේ. පොලිසිය එසේ කරුණු ඉදිරිපත් කර තිබුණද මාස තුනකට ආසන්න කාලයක් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා මෙන්ම කොළඹ මහාධිකරණය විසින්ද කිසිදු නෛතික පැහැදිලි කිරීමකින් තොරවම ශිෂ්‍ය සහ වෘත්තීය සමිති ක්‍රියාකාරින්ට ඇප ලබා දීම කල් අරිමින් සිටියි.

ශිෂ්‍ය සහ වෘත්තීය සමිති ක්‍රියාධරයන් ඉලක්ක කරමින් රජය විසින් ගෙන යන මර්දනකාරී පිළිවෙත තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, මෙය මර්දනයක් මිස නීතිය නොවන බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ජේඩීඑස් හා පැවසීය.

සංවිධානාත්මක මර්දනයක්

"පැහැදිලිවම මේක මර්දනයක්. මේ ශිෂ්‍යයන්ව, සමාජ ක්‍රියාකාරින්ව හිරගත කරලා තියෙන්නේ ඉතාම අසාධාරණ විදිහට. පොලීසිය කිවුවට මේක අත්අඩංගුවට ගැනීමක් කියලා අපි කියන්නේ මේක පැහැර ගැනීමක්. අපි දැක්කනේ ශිෂ්‍යයන්ව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ව බලෙන් වෑන් රථවල දාගෙන යන්න උත්සාහ කරපු හැටි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විදිහට ලිඛිතව අධිකරණයෙන් ඉල්ලුවා මේ ශිෂ්‍යයන්ව නිදහස් කරන්න, නැත්නම් ඇප දෙන්න කියලා. නමුත් ඒ කිසිම එකක් සැළකිල්ලට අරගත්තේ නෑ. ඇත්තටම උසාවියේ හැසිරීමත් අපිට හරිම ප්‍රශ්නකාරියි. මොකද මේ නඩුව ගන්න හැම දවසකම වගේ එක්කෝ විනිසුරුවරයා නිවාඩු ගිහින්. නැත්නම් ඔහුට බඩේ අමාරුවක් කියලා උසාවියට එන්නේ නැතුව ඉන්නවා. හරිම බාල වර්ගයේ වැඩ," යි මහාචාර්ය බන්නැහැක ආවේගයෙන් යුතුව කීය.

මහාචාර්යවර්යා වැඩිදුරටත් කියා සිටියේ මේ එල්ල වන මර්දනය තනි, තනි පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ ඉලක්ක කරමින් එල්ලවන්නක් නොව අයිතිවාසිකම් උදෙසා වීදි බසින සියල්ලන්ම ඉලක්ක කරමින් සංවිධානාත්මකව මුදා හැරෙන්නක් බවයි.

"අපිට පේන විදිහට මේ මර්දනය ශිෂ්‍යයන්ව පමණක් ඉලක්ක කෙරුනු එකක් නෙමෙයි. ගුරු වැඩ වර්ජනයේදි සරත් වීරසේකර ඇමැතිවරයගේ ප්‍රකාශ සහ ඔහුගේ හැසිරීම අපි දැක්කා. ආණ්ඩුවේ තවත් කෙනෙක් කිවුවා වර්ජක ගුරුවරුන් උල තියන්න ඕනේ කියලා. මම අහන්නේ මේ ප්‍රකාශ ආණ්ඩුව මේ දක්වා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවද? නෑ. එහෙමනම් අපිට හිතන්න තියෙන්නේ මේක තමයි ආණ්ඩුවේ නිල මතය. ඔවුන් කියන්න හදන්නේ 'උඹලා මෙහෙම කරනවනම්, අපිත් මෙහෙම කරන්න දන්නවා' වගේ තර්ජනාත්මක දෙයක් නේද?" යි මහචාර්ය බන්නැහැක විමසීය.

ආණ්ඩුව ශිෂ්‍ය සහ වෘත්තීය සමිති ක්‍රියාධරයන් සිරගත කළද ඇතැම් නම් දැරූ අපරාධකරුවන් කිසිදු පමාවකින් හෝ විරෝධය දැක්වීමකින් තොරවම නිදහස් කර හරින බවට ද හෙතෙම පෙන්වා දුන්නේය.

"ලක්ෂ ගණන් මහජන මුදල් මංකොල්ල කාපු, මිනීමැරුම් චෝදනා එල්ල වුණු අපරාධකාරයෝ කිසිම පමාවකින් තොරව නිදහස් කරනවා. ඇප දෙන්න නීතිපතිගේ විරෝධයක් එල්ල වෙන්නෙත් නෑ. ඒත් අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහිව සටන් කරන ශිෂ්‍යයෝ මාස තුනකට වැඩියි හිරගත කරලා. කෝවිඩ් හැදුනම බෙහෙත් දීලා නෑ. ආණ්ඩුව ශිෂ්‍ය ක්‍රියාකාරින්ව, ගුරුවරුන් වගේම අනෙකුත් වෘත්තීය සමිති ක්‍රියාකාරින්ව මර්දනය කිරීම නතර කෙරුවේ නැත්නම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විදිහට අපිට සිදුවෙනවා දැඩි ක්‍රියාමාර්ගයකට යන්න," යි මහාචාර්ය බන්නැහැක අනතුරු ඇඟීය.

ඇප මත නිදහස් කරන ලෙස ශිෂ්‍ය සහ වෘත්තිය සමිති ක්‍රියාධරයන් කර ඇති ඉල්ලීම් අවස්ථා ගණනාවකදීම ප්‍රතික්ෂේප කිරීම හෝ කල් ලබා දීම හෝ සිදුවී තිබෙන අතර, නැවත කොළඹ මහාධිකරණය හමුවේ ඇප ඉල්ලීම් සලකා බැලීමට නියමිතව ඇත්තේ එළැඹෙන 11 වැනි දින ය.☐

© JDS