සැකකාර නාවික නිලධාරියා සැඟවීම ගැන ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට චෝදනා

කිත්සිරි විජේසිංහ විසිනි.


ප්පම් මුදල් ලබාගැනීම වෙනුවෙන් පුද්ගලයන් එකොලොස් දෙනකු පැහැරගෙන ගොස් පසුව එම පුද්ගලයන්ව අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නාවික හමුදා සැකකරුවකුට අධිකරණයට ඉදිරිපත් නොවි, සැඟව සිටීමට ආධාර සපයා ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් යැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කියා සිටිති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ජේඩීඑස් වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයකට අනුයුක්තව කටයුතු කළ ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමති අයව අඟහරුවාදා (14) කොළඹ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මේ කරුණු අනාවරණය වූ බව ය.

ඇසින් දුටු සාක්ෂි

අදාළ සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ මෙහෙයවන බව දැන - දැනම හිටපු නාවික හමුදාපති හා වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් ඔහු සඟවා තබා ගෙන සිට, පසුව නීති විරෝධීව රටින් පිටමන් කිරීමට ඉඩකඩ සළසා දී ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා කියා සිටියේ ය.

"අද්මිරාල් විජේගුණරත්න මේ කියන සැකකරුව නාවික හමුදා මුලස්ථානයේ නිලධාරී නිවස්නයේ සඟවා තබාගෙන සිටි බවට ඇසින් දුටු සාක්ෂි අපිට ලැබිලා තියනවා. එහෙම කටයුතු කරලා තියෙන්නේ, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා  අධිකරණයෙන් විවෘත වරෙන්තු අරගෙන ඒ බව නාවික හමුදාපතිවරයාගේ ඉඳලා වගකිව යුතු සියළුම නිලයන්ට දැනුම් දීමෙනුත් පසුවයි," ඔහු කීය.

හිටපු නාවික හමුදාපතිවරයා විසින් සැකකාර ලුතිනන් කොමදෝරුවරයා සඟවා තබාගෙන සිටි  බව පිළිගත් නාවික හමුදාවේ සුබ සාධන අධ්‍යක්ෂක කෝමදෝරු ගමගේ හා සැකකරුගේ කඳවුරු භාරව සිටි  කපිතාන් අමරෝසා යන නිලධාරීන් විසින් වැඩි දුරටත් අනාවරණය කර ඇත්තේ අධිකරණ වරෙන්තුව තිබියදීත් සැකකරු නාවික හමුදාවේ සේවය කරමින් සිටි බව ය.

"සැකකරු හා තමන් නවාතැන් ගෙන සිටි නිලධාරි නිවස්නයට, සැකකරුගේ දරු දෙදෙනා සහ බිරිඳ අවස්ථා කිහිපයකදීම පැමිණ ඔහු හා රැඳි සිටිය බව ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගීතාල් නමැති නාවික නිලධාරියා දුන්න කට උත්තරයේ පැහැදිලිවම සඳහන් වෙනවා. එක දවසක්  සැකකාර හෙට්ටිආරච්චි හා තමන් නාවික හමුදා මුලස්ථානයේ නිලධාරි නිවස්නය තිබෙන දෙවන මහලෙන් පහළට බසින විට, මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හමු වූ බවත්,  'සීඅයිඩීයට අහු‍වෙන්න එළියට යන්නද හදන්නේ? අහුවුණොත් කරන්න දෙයක් නෑ, ඒ නිසා කියන විදිහට හැංගිලා ඉන්නවා' කියමින් බැණ වැදුණු බවත් ලක්සිරි ගීතාල්  පොලිසියට ප්‍රකාශ කළා. ඒ් වගේම, සැකකරුගේ වියදම සඳහා රුපියල් ලක්ෂ පහක් අද්මිරාල් විජේගුණරත්න විසින්  දුන් බව ඔහු  තමන් සමග පැවසූ බවත් නාවික නිලධාරී ගීතාල් අපිට දුන්න කට උත්තරයේ දැක්වෙනවා"යි පොලිස් පරීක්‍ෂක සිල්වා වැඩිදුරටත් කියා සිටියේය.

විශේෂ සැළකිලි

අගතියට පත් පාර්ශවය නියෝජනය කරන නීතිඥ අචලා සෙනවිරත්න මෙයට පෙර ජේඩීඑස් හා කියා සිටියේ දේශපාලන බලධාරින් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ද මෙම අපරාධයට වගකිව යුතු ඉහළ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන විරෝධය දක්වමින් පරික්ෂණ අඩපන කිරීමට කටයුතු කරන බව ය.

"මීට කලිනුත් පැහැදිලි සාක්ෂි ලැබුණා නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර ඉහළ නිලධාරින් චූදිත නාවික නිලධාරින් එක්ක ඔවුන්ට වාසි සහගත ආකාරයට කටයුතු කර ඇති බවට. එක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන අතරවාරයේ නාවික හමුදාවේ නීති නිලධාරියා විදිහටත් කටයුතු කරමින් මේ සැකකරුවන්ට නීති උපදෙස් ලබා දීලාත් තිබුණා," යි ඇය ප්‍රකාශ කළාය.

පිය - පුතු සිව් දෙනෙකුද ඇතුළු එකොලොස් දෙනෙකු කප්පම් මුදල් ලබා ගැනීම සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් පැහැර ගෙන ගොස් කොළඹ නාවික හමුදා නෞකා තාටාකාංගනයේත්, පසුව  ත්‍රිකුණාමලය නාවික හමුදා සාගරික හා විද්‍යා ආයතන පරිශ්‍රයේ පිහිටි ගන්සයිඩ් නම් භූගත සිර කඳවුරේත් සඟවා තබාගෙන සිට අතුරුදහන් කළ බවට නාවික හමුදා නිලධාරීන් හා සෙබළුන් ගණනාවකට චෝදනා එල්ල වී තිබේ. මේ අතරින් ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ, කොමදෝරු ඩී.කේ.පී. දසනායක, ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ, ලක්ෂ්මන් උදය කුමාර තම්මිට, ඉහළගෙදර ධර්මදාස, නලීන් ප්‍රසන්න වික්‍රමසූරිය හා රාජපක්ෂ පතිරණගේ කිත්සිරි යන අය මේ වන විට ඇප මත නිදහස්ව සිටිති.

කස්තුරිආරච්චිගේ ගාමිණි, මුතුවාහැන්නදිගේ අරුණ තුෂාර මෙන්ඩිස් සහ ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය තව දුරටත් රිමාන්ඩ් භාරයේ පසුවෙති.☐

© JDS