'වර්ජනය අත් හරින්නැයි මට තර්ජනය කළා' - පැහැරගත් සමිති නායක කියයි

ර්ජන ව්‍යාපාරය නවතා දමන්නැයි තමන් පැහැරගත් පිරිස් තර්ජනය කළ බව අතුරුදහන්ව සිටි ටෙලිකොම් වෘත්තීය සමිති නායකයා පවසයි.

ඉරිදා (28) අලුයම කොළඹ සිට පන්නිපිටියේ සිය නිවස බලා යතුරු පැදියෙන් යද්දී අතුරුදහන් වූ බවට වාර්තා වූ සමස්ත ලංකා විදුලි සංදේශ කම්කරුවන්ගේ සේවක සංගමයේ උප සභාපති එම් සුජීව මංගල, පෙබරවාරි 1 වැනිදා කොළඹට කිලෝ මීටර් 60ක් පමණ දුරින් ඉංගිරිය නගරාසන්නයේ  දී පැහැරගත්තවුන් විසින් මුදා හැර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් මිනිස් බල සැපයුම් ආයතනයක් වන SLT හ්‍යුමන් සොලියුෂන්ස් පුද්ගලික සමාගමේ 17 වසරක් තිස්සේ සේවයේ නියුතු මංගල, පැහැරගන්නා විට සිය සේවය ස්ථිර කරන මෙන් ඉල්ලා සති පහක් තිස්සේ මිනිස් බල කම්කරුවන් විසින් ගෙනයන වර්ජන ව්‍යාපාරයට නායකත්වය සපයමින් සිටියේය.

නිදහස් කිරීමෙන් පසුව ඔහු පොලිසියට පවසා සිටියේ, ජනවාරි 28 වැනිදා අළුයම් කාලයේ, තම නිවසට නුදුරු ස්ථානයක දී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගනු ලැබූ තමා, දෑස් බැඳ කළු පැහැති වෑන් රථයකින් පැය තුනක පමණ කාලයක් ගමන් කොට නිවසක සිරකොටගෙන සිට බව ය.

'පළපුරුදු පිරිසක්'

"අඩුම වශයෙන් ඒ වාහනේ සන්නද්ධ පුද්ගලයන් හතර දෙනෙක් සිටියා "යි ඔහු පැවසීය.

දින තුනක් තිස්සේ සන්නද්ධ පිරිසක් විසින් රඳවා සිටි සුජීව මංගල, බදාදා අළුයම ඉංගිරිය, නඹපාන පාලම අසළ දී මුදාහැර ඇත්තේ දෑත් හා දෑස් බැඳ තිබූ රෙදි කඩවල් ලිහා දැමීමෙන් පසු ය.

'මාව සිරකර තිබූ කාමරයේ ජනෙල්වලට ලෑලි ගහලා අඳුරු කරලායි තිබුණේ. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ වර්ජන ව්‍යාපාරය අත්හැර දමන ලෙසයි" මංගල ප්‍රකාශ කළේය.

ඔවුන් තමන්ට ශාරීරික වධ හිංසා හෝ පහර දීම් සිදු නොකළ බව ද ඔහු පොලිසියට කරන ලද ප්‍රකාශයෙන් කියා සිටියේය.

"ඒ අය තමන් කරන වැඩේ ගැන පළපුරුද්දක් හා අත්දැකීම් සහිත බව මට තේරුණා"යි ඔහු වැඩි දුරටත් කීය.

මන්දගාමී පොලිසිය

ටෙලිකොම් වෘත්තීය සමිති නායකයා අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් පිළියන්දල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණ ද, (CIB (2) 398/542), ඒ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවූයේ මන්දගාමීව බව විදුලි සංදේශ සේවක පිරිස් පවසති.

අතුරුදහන් වීම සම්බන්ධ පොලිස් විමර්ශන නිසි කාර්යක්‍ෂමතාවකින් සිදු නොවූ බවට චෝදනා කරන සේවක සංගමයේ ලේකම් සුරේෂ් දමින්ද පෙරේරා පවසා සිටියේ සිය වර්ජන ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම  පැහැරගැනීම සිදුකළ බව තම විශ්වාසය බව ය.

දෙදරු පියෙකු වූ සුජීව මංගලගේ අතුරුදහන් වීම පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ඉරිදා දහවල් පොලිස් ස්ථානයට යන විටත්, ඔහු ගමන් කළ යතුරු පැදිය පොලිසිය විසින් සොයාගෙන තිබූ නමුත් ඒ පිළිබඳ තමන්ට දැනුම් දීමට පොලිසිය කටයුතු නොකළ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති. ඔහුගේ නිවස ආසන්නයේ ඉඳිගහදෙණිය මාර්ගයේ අත්හැර දමා තිබිය දී සොයාගනු ලැබූ ඔහු ගමන් කළ යතුරු පැදිය පසුව පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබූ නමුත්, ඒ බව පවුලේ සාමාජිකයන්ට දන්වන්නට අමතක වූ බව පොලිසිය පවසා තිබේ.

මොබිටෙල් දුරකථන

සිදුවීම පිළිබඳ වැඩිදුර පැමිණිල්ලක් කිරීම සඳහා කොටුව පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී 'වර්ජන ව්‍යාපාරයට ප්‍රචාරයක් ලබා ගැනීමේ අරමුණින් පියා සැඟවී සිටින්නේ දැ'යි පොලිස් නිලධාරීන් උපහාසාත්මකව තමන්ගෙන් විමසා සිටි බව ද ඔහුගේ පවුලේ සාමාජිකයන් මාධ්‍ය වෙත පවසා තිබේ.

සූජීව මංගලගේ අතුරුදහන් වීම පිළිබඳ පොලිසියේ ප්‍රතිචාරය නොසැළකිලිමත් එකක් බව පෙන්වා දෙන සංගමයේ ලේකම් එස් ඩී පෙරේරා කියා සිටියේ, පැහැරගත් පුද්ගලයා සතුව ජංගම දුරකථන දෙකක් තිබිය දීත් ඉලෙක්ට්‍රොනික ආවේක්‍ෂණ ක්‍රම හෝ ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන ආධාරයෙන් විමර්ශන කිරීමට පොලිසිය කිසිදු උනන්දුවක් නොදැක්වූ බව ය.

පැහැරගත් අය සතුව තිබූ ජංගම දුරකථන දෙකම ශ්‍රී ලංකා ටෙලිකොම් හා අනුබද්ධ මොබිටෙල් දුරකථන සමාගම විසින් නිකුත් කළ ඒවා වේ.☐

© JDS