'නියෝජ්‍ය පොලිස්පති මෙන්ඩිස් ජිනීවා යැවීම මගෙන් සිදු වූ වරදක්' - මංගල

දහිංසාවලට එරෙහි එක්සත් ජාතීන් ගේ කමිටුවේ සමාලෝචන සැසියකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී කරවූ දූත කණ්ඩායමට, ත්‍රස්ත විමර්ශන එක්කයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍ර‍ධානී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් සහභාගී කරවීම තමන් අතින් සිදු වූ වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට තමන්ට නිදහසට කාරණා නැති බවත් විදේශ ඇමැති මංගල සමරවීර කියා සිටී.

අමාත්‍යවරයා එ් බව පැවසුවේ ‘ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය‘ සම්බන්ධයෙන් ලන්ඩනයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ රාජකීය ආයතනයේ දී  ඉකුත් බදාදා (11) පැවැත්වූ ප්‍ර‍සිද්ධ දේශනයක් අවසන සභාවෙන් නැඟුණු ප්‍ර‍ශ්නවලට ප්‍ර‍තිචාර දක්වමිනි.

‘මමත් කැළඹුණා‘

මෙම නිලධාරියාගේ නාමයෝජනාව අදාළ දූත පිරිසේ අනෙකුත් නම් සමඟ තමන් වෙත පැමිණි බවත්, තමන් එය අනුමත කළ බවත් ඇමතිවරයා එහි දී කියා සිටියේ ය. “ඔහු එම දූතපිරිසට ඇතුළත් කිරීම සම්න්ධයෙන් මට නිදහසට කාරණා නැහැ. එක් එක් පුද්ගලයා ගේ පසුබිම පිළිබඳ ගැඹුරට හොයාබලන්නේ නැතිව මා ඊට අනුමැතිය දුන්නා. (සිදුවී ඇති දෙය) අවබෝධ කරගත්තාම මමත් කැළඹීමට පත් වුණා,“ අමාත්‍යවරයා පැවසී ය.

පොලිස් දෙපාර්තමේන්තුවට අයත්, අමානුෂික වදබන්ධන පැමිණවීම සම්බන්ධයෙන් බෙහෙවින් අපකීර්තිමත් වාර්තාවක් සහිත ආයතන දෙකක් වන ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) යුද්ධයේ අවසන් අදියරේ දී, එනම් 2008 වසරේ මාර්තු මාසයේ සිට 2009 ජුනි මාසය දක්වා අධීක්ෂණය කළේ වත්මන් ජාතික බුද්ධි සේවා ප්‍ර‍ධානී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් විසිනි.  ඔහු ප්‍ර‍ධානියාව සිටි ඉහත සඳහන් අවදියේ දී මෙම ආයතන දෙකම අමානුෂික වදහිංසා පැමිණවීමට මෙන් ම බරපතල ලිංගික හිංසනයන්ට වගකිව යුතු බවට එක්සත් ජාතීන් ගේ විමර්ශනයකින් පවා නම් කර තිබිණි.

අපකීර්තිමත් අතීත වාර්තා

පසුගිය නොවැම්බර් මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති වදහිංසාවලට එරෙහි එක්සත් ජාතීන් ගේ කමිටුවේ (UNCAT) ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචන සැසියට රජය නියෝජනය කරමින් සහභාගී වූ දූත පිරිසට නියෝජ්‍ය පොලිස්පති මෙන්ඩිස් ඇතුළත් වූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), දේශසීමා රහිත වාර්තාකරුවෝ (RSF) හා ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project - ITJP) විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු මත පදනම් වෙමින් UNCAT සාමාජිකයෝ එම සැසිය අතරවාරයේ සිසිර මෙන්ඩිස් ඉලක්ක කරමින් බරපතල ප්‍ර‍ශ්න කිරීමක යෙදුණහ. එම ප්‍ර‍ශ්න කිරීම්වලට දෙදින සැසිය පුරා කිසිදු පිළිතුරක් නොදී මුනිවත රැකි මෙන්ඩිස්  වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ වෙනත් කිසිවකු හෝ පිළිතුරු දුන්නේ ද නැත.

සිසිර මෙන්ඩිස් වැනි අතීත වාර්තාවක් හිමි පුද්ගලයෙක් සිය කමිටුව හමුවේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් පෙනීසිටීම තමන්ට මහත් ‘කම්පනයක්‍‘ වූ බව, වධහිංසාවන්ට සම්බන්ධ ත්‍ර‍ස්ත විමර්ශන ඒකකයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතීතය හා ඊට මෙන්ඩිස් ගේ ඇති සම්බන්ධය ප්‍ර‍ශ්න කරමින් UNCAT උප සභාපතිනිය වූ ෆෙලිස ගෙයර් කියා සිටියා ය.  වදහිංසාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිරන්තරයෙන් යොදාගනු ලබන සාමාන්‍ය භාවිතාවක් බව දක්වමින් එම කමිටුව විසින් සැසිය අවසන නිකුත් කරන ලද වාර්තාවේ පවසා තිබුණේ “2008 මාර්තුවේ සිට 2009 ජුනි දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ව සිටි ජාතික බුද්ධිසේවා ප්‍ර‍ධානී සිසිර මෙන්ඩිස් ශ්‍ර‍ී ලංකා දූත කණ්ඩායමේ සාමාජිකයකු ව පෙනී සිටීම පිළිබඳ කමිටුව තැතිගැන්මට“ පත්වූ බව ය.

නිර්දේශ නොතකා හැරීම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දශක දෙකක පමණ කාලයක් රාජකාරි කළ, කලක් එහි ප්‍ර‍ධානියා ලෙස ද කටයුතු කළ නියෝජ්‍ය  පොලිස්පතිවරයකු වන සිසිර මෙන්ඩිස් , දැනට ජාතික බුද්ධි සේවා ප්‍ර‍ධානියා ලෙස ද කටයුතු කරයි. එම කාරණා සැලකිල්ලට ගත් විට දූත පිරිසට සිය අනුමැතිය ලබාදෙන අවස්ථාවේ දී අමාත්‍ය සමරවීර ඔහු පිළිබඳ නො දැන සිටියේය යන්න කොතෙක් දුරට විශ්වසනීය ද යන්න ගැටලුවකි. එමෙන් ම ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේ දී වඩා සුපරීක්ෂාකාරී විය යුතු බවට වන එක්සත් ජාතීන් ගේ නිර්දේශයන්ට ද එරෙහිව යමින් විශ්‍රාම වයසට පැමිණ සිටි සිසිර මෙන්ඩිස්ට සේවා දිගු ලබාදෙමින් දැනට දරන තනතුරෙහි පිහිටුවන ලද්දේ ද වත්මන් ආණ්ඩුව විසිනි.

ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචන සැසිය අවසානයේ නිකුත් කළ වාර්තාවෙන් UNCAT නිර්දේශ කර සිටියේ මානව හිමිකම් උල්ලංඝනයන්ට සම්බන්ධ බවට චෝදනා නැඟී ඇති ඕන‍ෑම මිලිටරි හෝ වෙනත් සිවිල් නිලධාරියෙක් වහාම තනතුරෙන් ඉවත් කරමින් ආරක්ෂක අංශයන් හි කඩිනම් ව්‍යූහාත්මක ප්‍ර‍තිසංස්කරණ සිදුකරන ලෙස ය. මෙන්ඩිස්ගෙන් විමසන ලද නිශ්චිත ප්‍ර‍ශ්නවලට ඔහුගෙන්  හෝ වෙනත් කිසිදු නියෝජිතයකුගෙන් දින දෙකක් පුරා පිළිතුරු නො ලැබීම ගැන කණගාටුව පලකළ වාර්තාව වැඩිදුරටත් කියා සිටියේ සැසියෙන් අනතුරුව රජය විසින් ලිඛිතව ලබාදුන් අමතර තොරතුරුවල ද අසන ලද එම ප්‍ර‍ශ්න පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බව ය.  ඒ සම්බන්ධයෙන් මේ දක්වාත් ආණ්ඩුව පැත්තෙන් කිසිදු ආකාරයක පිළිතුරු බැඳීමක් සිදුවී නැත.

‘මෙවැනි නඩු කඳුගැහිලා‘

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ රැස්වීමක රාජ්‍ය දූතමණ්ඩලයක් නියෝජනය කරන්නකුට හිමිවන රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය නො වන්නට DIG මෙන්ඩිස්ට එරෙහිව විදේශයක දී අධිචෝදනා නැඟීමට ප්‍ර‍මාණවත් සාක්කි පැවතුණේය යන සාධකය පවා නො සලකා, ඔහුට එරෙහිව “කිසිදු පරීක්ෂණයක් කිරීමට රජයේ අභිලාශයක් නැතැ“යි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන 'සන්ඩේ ලීඩර්' පුවත්පතට ඉකුත් දෙසැම්බරයේදී ප්‍රකාශ කළේය. රජයේ ස්ථාවරය එය නම්, මෙම නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදවිය හැක්කේ කෙසේදැයි අමාත්‍ය සමරවීරගෙන් ප්‍ර‍ශ්න කරන ලදුව ඔහු කියාසිටියේ  “මෙම පුද්ගලයා වරදකරුද, නිවැරැදිකරුදැයි මට කිව නො හැකි යි“ යනුවෙනි.  නව අධිකරණ යාන්ත්‍ර‍ණය පිහිටවූ පසු මෙවැනි කාරණා සම්බන්ධයෙන් කටයුතු කැරෙනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

පවත්නා වධහිංසාවලට එරෙහි නීතිමය ප්‍ර‍තිපාදන යටතේ DIG මෙන්ඩිස්ට එරෙහිව කටයුතු කළ නො හැක්කේ මන්දැ‘යි විමසන ලදුව ඇමැතිවරයා කියා සිටියේ  අධිකරණ පද්ධතිය මේ හා සමාන නඩුවලින් දැනටමත් පිරී තිබෙන බව ය. “මෙ වැනි නඩු කටයුතු කඳුගැසී තිබෙනවා. ඒ සියල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිපතිවරයාට සිදුවී තිබෙනවා. අපට විශේෂ අධිකරණ ක්‍රියාවලියක් අවශ්‍ය ඒ නිසායි. අප විසින් ක්‍රියාත්මක විය යුතු මෙ වැනි සිදුවීම් සිය දහස් ගණනක් තිබෙනවා.“

සිසිර මෙන්ඩිස්ට එරෙහිව නැඟී තිබෙන චෝදනාවල සත්‍යාසත්‍යතාව සොයාබැලීමට ආණ්ඩුව කිසියම්ම හෝ පියවරක් මෙතෙක් ගෙන තිබේදැයි විමසනු ලැබුවත් ඊට ප්‍ර‍තිචාර දැක්වීමෙන් අමාත්‍ය සමරවීර වැළකී සිටියේ ය.☐

© JDS