'සෝදිසි කණ්ඩායම් විසුරුවා හරින්න' - සරසවි ඇදුරු පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලති

යුද සමයේ දී ස්ථාපිත කරන ලද ත්‍රස්ත විමර්ශන ඒකකය ඇතුළු රාජ්‍ය සෝදිසි කණ්ඩායම් (surveillance Team) විසුරුවා හරින ලෙසත්, පොලීසිය නිරායුධ කරන ලෙසත් දිවයින පුරා විසිරී සිටින විශ්ව විද්‍යාල ආචාර්ය සමූහයක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු පොලිස්  වෙඩි පහරට ලක් ව ඝාතනය වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

රජයේ සියලු ආරක්ෂක හමුදා ප්‍ර‍ාතන්ත්‍ර‍වාදී ආණ්ඩුකරණ රාමුවක් තුළට ගෙන ඒමේ මූලික පියවරක් ලෙස ‘කඩිනමින් හා ඵලදායක ලෙස‘ උතුරු නැගෙනහිර පළාත් හමුදාකරණයෙන් මිදවීමේ අවශ්‍යතාව,  පසුගිය 27 වැනි දා නිකුත් කරන ලද නිවේදනයෙන් එම ආචාර්ය පිරිස වැඩිදුරටත් අවධාරණය කරති.

එවැනි ක්‍රියාවලියක් රටේ අනෙකුත් ප්‍රදේශ ද මිලිටරිහරණය කිරීමේ පු‍ළුල් වැඩපිළිවෙලක රාමුව යටතට වැටිය යුතු බවත්, ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව (TID)වැනි යුද්ධ කාලයේ දී ස්ථාපිත කැරුණු සෝදිසි ආයතන විසුරුවා හැරීම ද ඊට අයත් විය යුතු බවත් නිවේදනය කියා සිටී.

ත්‍රස්ත මර්දන පනත

යුද්ධ කාලයේ දී මෙන්ම ඉන් අනතුරුවත් සිදු වූ මනුෂ්‍යයන් පැහැරගැනීම් හා වධ බන්ධන පැමිණවීම්වලට ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව සම්බන්ධ බව එක්සත් ජාතීන් ගේ සංවිධානය ඇතුළු බොහෝ සංවිධාන දිගින් දිගට ම අවධාරණය කළහ.

දැනට පවත්නා අපකීර්තිමත් ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත (PTA)වෙනුවට අලුතින් ගෙන ඒමට සැලසුම් කැරෙමින් තිබෙන ත්‍රස්ත මර්දන පනත (Counter Terrorism Act - CTA) සම්බන්ධයෙන් ද විශ්වවිද්‍යාල ආචාර්ය සමූහය සිය ප්‍ර‍බල විරෝධය ප්‍ර‍කාශ කර සිටිති.

යෝජිත ත්‍රස්ත මර්දන පනත දැනට පවත්නා ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනතෙහි අඩංගු භයානක හා බැහැර කළයුතු බොහෝ විධිවිධාන එසේ ම අඩංගු කරගන්නා පනතක් ලෙස දෙමළ ජාතික සන්ධානය ඇතුළු බොහෝ පිරිස් විසින් ද හදුන්වා දෙනු ලැබ තිබිණි.

මහජනයාට වගකියන පොලිසියක්

විජයරාජා සුලක්ෂන් හා නඩරාසා ගජන් යන දෙමළ ජාතික විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා පොලීසිය විසින් ඝාතනය කරනු ලැබීම හෙළාදකිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමූහය මෙම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ ආණ්ඩුව ‘ප්‍ර‍චණ්ඩකාරී ක්‍රියා සදහා පොලීසිය මහජනයාට වගකියන තත්ත්වයක් ඇතිකිරීමට හා පොලීසිය සන්නද්ධ කිරීමේ තීරණය අවලංගු කිරීමට‘ පියවර ගතයුතු බව ය.

ලියනගේ අමරකීර්ති, හරිනි අමරසූරිය, සී එස් ද සිල්වා, නිර්මාල් දේවසිරි, ක්‍රිශාන්ත ෆෙඩ්‍රික්ස්, කාමිනා ගුණරත්න, රනිල් ඩී ගුණරත්න, ෂුහුල් හමීඩ් හස්බුල්ලා, මිහිරි ජෑන්ස්, ප්‍ර‍භාත් ජයසිංහ, ප්‍ර‍දීප් ජෙගනාදන්, නන්දක මධුරංග කළුගම්පිටිය, ධනේෂ් කරුණානායක,කුමුදු කුසුම් කුමාර, ශාමලා කුමාර්, කෞශල්‍ය කුමාරසිංහ, ඩී එච් එස් මෛත්‍රිපාල, මාධව මීගස්කුඹුර, කේ පී නිශාන්ත, නිකොලා පෙරේරා, රමිඳු  පෙරේරා, විහඟ පෙරේරා, අබුබකර් රමීස්, හර්ෂණ රඹුක්වැල්ල, රෝහණ රත්නායක, අතුලසිරි සමරකෝන්, දිනේෂා සමරරත්න, ජානහා සෙල්වරාස්, සිවමෝහන් සුමති, එස්තර් සුරේන්ද්‍ර‍රාජ්, ජයදේව උයන්ගොඩ, අමාලි වෙදගෙදර, රුවන් වීරසිංහ සහ දිලීප විතාරණ යන සරසවි ආචාර්ය මණ්ඩල සාමාජික-සාමාජිකාවන්ගේ නමින් මෙම නිවේදනය නිකුත් කොට තිබේ.☐

© JDS