ගල්ඔය දඩයම් සමය : ස්වයංපෝෂිතභාවයට ඩී.එස්.ගේ 'රජ මාවත' - I
- Post 03 July 2018
රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් ඩී බී නිහාල්සිංහ 1968දී නිර්මාණය කළ 'නිම්නයක හදවත' වාර්තා චිත්‍රපටයේ පිටපත රචනා කරන ලද්දේ ජී ඩබ්ලියු සුරේන්ද්‍ර විසිනි. සිංහල සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ සන්සුන් පසුබිම් කථනයෙන් දිගහැරෙන චිත්‍රපටියේ ආරම්භයේදී ම කථකයා මෙසේ කියයි:
"අතීතයේ අඳුරින් වැසී මිලිනව තිබූ මේ සුන්දර නිම්නයේ හදවතට යළිත් ජීව වායුව එක් වූයේ 1948දී ය. එදා අලුත් ජාතියක උපත සිදුවිය. නව යුගයක් බිහිවිය. නිදහස් ලංකාවේ ප්‍රතම අග්‍රාමාත්‍ය දිවංගත ඩී එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ මග පෙන්වීම අනුව, නිදහස් නිවහල් පාලන ක්‍රමයක් යටතේ ජාතියේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරවමින් සංවර්ධන යුගයක මුල් පියවර තැබිණ. ඒ නව ජීවිතයේ උපත සමග ඇරඹුණු විශාතලම වූද, ශ්‍රේෂ්ඨතම වූද සංවර්ධන ව්‍යාපාරය ගල්ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරයයි."
ඒ් 'ශ්‍රේෂ්ඨ සංවර්ධන ව්‍යාපාරය' විසින් මුදුන්පත් කළ 'ජාතියේ ප්‍රාර්ථනාවන්' යටින් අප්‍රමාණ ලේ ගංගා ගලා බැස ගොස් තිබේ. 'නිම්නයක හදවත' වාර්තා සිනමා පටයේ කථකයාගේ ගැඹුරු හඬින් නොකියැවෙන ඒ කතාව ශ්‍රී ලංකාවේ අපකීර්තිමත් මෑත ඉතිහාසයෙන් පංගුවකි. මේ දිගු සටහන ලියන්නේ ඒ ගැන ය.
නිදහසින් පසු ඇරඹි විශාලතම සිංහල ජනපදකරණ වැඩපිළිවෙල ලෙස ඉතිහාස පිටුවල - අඩුම වශයෙන් එක් දහස් නවසිය හැට ගණන් දක්වාම - සනිටුහන් වනුයේ ගල්ඔය සංවර්ධන වැඩසටහන ය. නමුත් ඒ ඉතිහාසය තුළ පළමු වරට දෙමළ ජනයාට එරෙහිව සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය මුදාහරින ලද්දේ ද ගල්ඔය ජනපද මුල්කරගෙන බව ඒ ඉතිහාස පිටුවල ලියා නැත. 1956 ජුනි 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පුරා සිව් දිනක් දෙමළ ගම්වැසියන්ට එරෙහිව රාජ්‍ය අනුග්‍රහ පිට සංවිධානාත්මකව දියත් කෙරුණු සාහසික ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට මුල් වූ සිංහල මැර කල්ලි විසින් නිරායුධ දෙමළ වැසියන් 100ත් 150ත් අතර ප්‍රමාණයක් මරා දමන ලද්දේ කුප්‍රකට 'කළු ජූලියට' විසි හත් අවුරුද්දකට කලිනි. තවත් 200 කට ආසන්න දෙමළ වැඩිහිටියන් හා ළමා ලපටීහු මේ වර්ගවාදී ප්‍රහාරයෙන් තුවාල ලැබූහ. ඔවුන් සතුව තිබූ දේපොළ කොල්ලකා සෙස්ස ගිනි බත් කෙරිණි. ඒ, 1956 අප්‍රියෙල් මාසයේ දී බලයට පැමිණි 'සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු' ආණ්ඩුවේ මෘදු ප්‍රතිචාර යටතේ ය. ඉක්ම ගිය ජුනි මාසයේදී හැට දෙවසරක් පිරුණේ ඒ සංහාරයට ය.
ගල්ඔය සංවර්ධන කතාන්දරය
ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය ඇරඹෙන්නේ 1947දී ය. ඒ, මීරිගම බෝතලේ වලව්වේ සේනානායක පවුලේ සටකපට ජාතිවාදියා වූද, යටත් විජිත ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අගමැතිවරයා වූද, ඩී. එස් සේනානායකගේ යෝජනාවක් අනුව ය. ගල්ඔය සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කරමින් ඇරඹි යෝජනා ක්‍රමයේ මුලික අරමුණු ලෙස සඳහන් කරනු ලැබුවේ ජල ගැලීම් පාලනය, ඉඩම් නොමැති වුවන්ට ඉඩම් ලබා දෙමින් කෘෂි කටයුතු දියුණු කිරීම, නව කර්මාන්ත ඇරඹීම, ජල විදුලි බලය මෙන්ම නව ගම්මාන ඉදිකිරීම යනාදිය වේ. දෙහිගල, රෝබෙරි, එළිමාන, මඩොල්සිම ඉහළ කඳුකරයේ වතු මැදින් ගලාගෙන විත් නැගෙනහිර වෙරළේ කල්ලොඩායි හිදී මහ සයුරට එක්වන පද්දිප්පලෛ ආරු හෙවත් ගල්ඔය ඉඟිනියාගල දී හරස් කොට වේල්ලක් ඉදිකොට ජලාශයක් ඉදිකිරීම එහි පළමු පියවර විය. ඒ යටතේ වාරි මාර්ග පද්ධතියක් මෙන්ම කිලෝ වොට් 8000 ක විදුලි උත්පාදනයක් ද අපේක්ෂිත අරමුණු අතර විය. යටත් විජිත පරිපාලනය යටතේ ලංකාවේ මූල්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ, ඕස්ට්‍රේලියානු ජාතික සිවිල් සේවකයෙකු වූ හැරල්ඩ් ජේම්ස් හක්ස්හාන් ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ පළමු සභාපතිවරයා ලෙස ඩී. එස් විසින් පත් කරනු ලැබිණි. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 67.2 ක් වූ අතර ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ඉඳිකිරීම් සමාගමක් වූ මොරිසන් ක්නුඩ්සන් ඉන්ටර්නැෂනල් සමාගමට ඉඟිනියාගල වේල්ල ඉදිකිරීමේ කටයුතු පැවරුණි.
1949 දෙසැම්බරයේ පැවති සමාරම්භක උත්සවය අමතා කතාකරමින් "අද ගල්ඔය ගෙදර දොරේ කියවෙන වචනයක් බවට පත් වෙලා"යි උදම් ඇනූ ඩී.එස්. "මේ වැඩ කටයුතු ඉක්මනින් අවසන් වීමෙන් ස්වයංපෝෂිතභාවය කරා යන අපේ ගමනේ ප්‍රගතිය පෙන්වනු ඇතැ’ යි සහතික කර සිටියේය. ජනපදකරණ වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක ඩී.එස්. ගේ යටි අරමුණු වටහාගෙන සිටි ෆෙඩරල් පක්ෂ නායක එස්.ජේ. වී.චෙල්වනායගම් සිය බිය නොවළහා පළ කළේය.
“ගල්ඔය යෝජනා ක්‍රමය මගින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ සිංහල ජනපදකරණ ප්‍රතිපත්තියට කදිම සාක්ෂියකි. සිංහල භාෂා ප්‍රතිපත්තියට වඩා මෙය දෙමළ ජනතාවට අති භයානක ය. දෙමළ භාෂාව කතා කරන ජනයා වෙසෙන ප්‍රදේශයක සිංහල ජනගහනයක් කෘත්‍රිමව රෝපණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිතැ”යි හේ අනතුරු හැඟවීය.
ගල්ඔය යෝජනා ක්‍රමය අයත් ප්‍රදේශය එවකට අයත්ව තිබුණේ මඩකලපුව දිස්ත්‍රික්කයට ය. එකී බොහෝ ප්‍රදේශ දෙමළ, මුස්ලිම් හා වැදි ජනයාගේ පාරම්පරික ගම්මාන හා වගා බිම් වූ අතර එම ප්‍රදේශවල ජීවත් වූ සිංහල ජනයා වූ කලී 1818 දී බ්‍රිතාන්‍යය පාලකයන් වෙල්ලස්සේ කළ දැවැන්ත සංහාරයෙන් දිවි ගලවාගෙන නැගෙනහිරට පලාවුවන් වූහ. තුම්පන්කානි, දිවුලාන, චඩයම්තලාව (පසුව දඩයම්තලාව), ඉල්ලන්කුච්චේනෛ, සංගමන්, රූපස්කුලම්, කොන්ඩවට්ටුවාන් කුලම්, අම්පාරෛකුලම්, මල්වත්තේ, පෙරියවිසාරයිකන්දම්, පුත්තුනගර් ආදී පෞරාණික ගම් එහි තිබූ අතර ලාහුගල මෙන්ම පානම ද සිංහල හා දෙමළ ජනයා විසු ගම් ලෙස සැළකේ.
වෙල්ලාවේලි, බක්කි ඇල්ල, මන්දුර්, අන්නමලෛ, කෝමාරි, උහන, වීරගොඩ, චඩයම්තලාව, මල්වත්තේ, හා අම්පාරෛ කොට්ඨාශ පදනම් කරගෙන වනාන්තර රැසක් එළිපෙහෙළි කරමින් අක්කර 1,20,000 ක පුරා පැතිරුණු කොළණි 40 ස්ථාපිත කරන ලද අතර නව ඉඩම්වලින් සියයට පනහක් මඩකලපුව දිස්ත්‍රික්කයේ පාරම්පරික ගොවීන්ට හා ඉතිරි සියයට පනහ පිටතින් පැමිණෙන ජානපදිකයන්ට ලබා දෙන බවට අගමැති ඩී.එස්. පොරොන්දු වුයේ ක්‍රමයෙන් මතු වෙමින් තිබුණු සැක සංකා සමනය කරනු පිණිස ය.
චෙල්වනායගම්ගේ අනාවැකිය
ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සභාපති වූ එච්.ජේ. හක්ස්හාන් 1951 දී හෘද රෝගයකින් මිය යාමත් සමගම, ලංකා සිවිල් සේවයේ ප්‍රමුඛයෙකු වූ ආර්. කනගසුන්දරම් ගල්ඔය ප්‍රධානියා වශයෙන් පත්කරන ලද්දේ සේනානායක විසිනි. ඇතැම් විට දෙමළ ජාතිකයෙක් අදාළ ප්‍රධානතම තනතුරට පත්කිරීම මගින් සිය මහා සැළැස්මට එරෙහි නැඟ එන සැකය හා විරෝධය කළමනාකරණය කිරීමට ද ඔහු කල්පනා කළා විය හැක. කනගසුන්දරම්ට අමතරව සිවිල් සේවකයකු වූ ෂර්ලි අමරසිංහ, ව්‍යාපෘතියේ අම්පාර නේවාසික කළමනාකරු ලෙස කටයුතු කළ අතර හෙතෙම පසුව එක්සත් ජාතීන්ගේ ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් ද ක්‍රියා කළේය. ඒ හැරුණු විට, ප්‍රකට මිනින්දෝරු ජෙනරාල් ආර් .එල් බ්‍රෝහියර්, හිටපු වාරිමාර්ග අධක්‍ෂක ඩබ්ලිව්.ටී. අලගරත්නම්, හිටපු ආහාර කොමසාරිස් එම්.එල්.ඩී. කැස්පර්ස් , එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතිඥයෙකු වූ එන්.ඊ.වීරසුරිය යන අය එහි සාමාජිකයන් වශයෙන් කටයුතු කළ අතර මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කරනු ලැබුණේ ටී.සී.එස්.ජයරත්නම් ය.
ඩී.එස්.ගේ සැලැස්ම පිටුපස කූටෝපායයක් ඇතැයි කනගසුන්දරම් කිසි විටක විශ්වාස නොකළේය. ඔහුගේ එකම අභිප්‍රාය වූයේ ගල්ඔය සැළැස්ම හැකිතාක් හොඳින් ක්‍රියාවට නැංවීම ය.
දිනක් මඩකලපුව දුම්රියෙන් ගමන් කරමින් සිටිය දී කනගසුන්දරම්ට දුම්රියේ දී අහම්බයකින් චෙල්වනායගම් මුණ ගැසුණි. 1848 මුඩු බිම් ආඥා පනත හරහා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් උඩරට සිංහලයන්ගේ මුතුන් මිත්තන් සතු ඉඩම් අත්පත් කර ගැනීමෙන් කරනු ලැබූ අසාධාරණයට පිළියම් වශයෙන් උඩරට සිංහලයන් වියළි කලාපයේ ජනපද පිහිටුවා පදිංචි කිරීම ඩී.එස්.ගේ අරමුණ බව කනගසුන්දරම් පැහැදිලි කළේ මහනුවර ගොවි ජනයාගේ ඉඩම් හිඟය ගැන කෑගල්ලේ ආණ්ඩුවේ ඒජන්ත විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව ද උපුටා දක්වමිනි.
‘ඩී.එස්. සිංහල හිතවාදියෙකු වුණත්, දෙමළ විරෝධියෙකු නොවේ” යැයි කනගසුන්දරම් චෙල්වනායගම්ට කියා සිටියේය. චෙල්වනායගම් වාද නොකළේය. “ඉලන්දාරියා, නුඹ දෙමළ ජනයාගේ හදවතට අනිමින් ඉන්නේ කිණිසි තුඩකින්"යැයි ඔහු පෙරළා කීය. නමුත් චෙල්වනායගම්ගේ ඒ කෙටි වැකිය ඉතිහාසය විසින් තහවුරු කිරීමට නියමිත අනාවැකියකැයි කනගසුන්දරම් මොහොතකට හෝ නොසිතුවේය.
1951දී 'සිලෝන් ඉකොනොමිස්ට්' සඟරාවේ ජූනි මස කලාපයට ‘ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය හා කෘෂිකාර්මික අර්බුදය’ මැයෙන් ලිපියක් සම්පාදනය කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ඩී.එස්.ගේ සැළැස්මට ක්‍ෂමා විරහිතව බැට දුන්නේය.
“ඩී.එස්. පවසන පරිදි ගල්ඔය යනු නිදහස හා ආර්ථික සංවර්ධනය වූ නව ලංකාවක සංකේතයක් නොවේ. එය එක්සත් ජාතික පක්ෂයේ හොරණෑවකි. එය නව ලංකාවක් ගැන එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ සංකේතයක් බවට පත් වී" යැයි ඔහු කීය. "1947 දී අගමැති වීමෙන් පසුව ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක වෙත කෘෂිකර්ම ඇමති ධුරය පිරිනමන තුරු, 1931 සිට කෘෂිකර්ම ඇමති වුයේ ඩී.එස්. ය. පසුගිය වසර 20 ක කාලය පුරා අයවැයෙන් වැඩි මුදලක් වෙන් කොට ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයට යැ"යි පෙන්වා දුන් දොස්තර වික්‍රමසිංහ, “ගල්ඔය යෝජනා ක්‍රමය තුළ දෙමළ හා මුස්ලිම් ජනයාට අමතරව වැදි ජනයා ද ඔවුන්ගේ මුල් ගම් බිම්වලින් පලවා හැරිණි. සාම්ප්‍රදායික හේන් ගොවිතැනින් යැපුණු ඔවුන්ගේ වගා බිම් වූ මැදගම වසම, නිකවෙටි කෝරලේ, නිල්ගල වසම , දඹගල්ල කෝරලේ, ගල්ඔය යෝජනාක්‍රමය වෙනුවෙන් අත්පත් කර ගන්නා ලදැ"යි දොස් නැගුවේය.
රටමැදින් 'සංවර්ධනයේ නිම්නයට'
ඉඟිනියාගල වේල්ල හා බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පැවරුණු ඇමෙරිකානු මොරිස් ක්නුඩ්සන් ඉන්ටර්නැෂනල් (එම්.කේ.අයි) සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අනුව සියලු උපකරණ ඇමෙරිකාවෙන් ලබා ගත යුතු බවට කොන්දේසියක් ඇති බව බව දොස්තර වික්‍රමසිංහ සිය විවේචනය මගින් පෙන්වා දුන්නේය. නමුත් ස්වයංපෝෂිත ලංකාවක් ගැන නව අපේක්ෂා අවුලුවාලනු වස් සේනානායක ආණ්ඩුව විසින් ගෙනගිය ප්‍රචාරක ව්‍යාපාරයන්ගේ අනුහස පරාජය කිරීමට සමත් බලපෑමක් ඇති කිරීමට වමේ විවේචන සමත් නොවුණි.
මඩකළපුව වරායෙන් ගොඩ බට එම්. කේ. අයි සමාගම ඉගිනියාගලට පැමිණීම වෙනුවෙන් මඩකළපුව-ඉගිනියාගල මාර්ගය පුළුල් කරනු ලැබූ අතර ඇමෙරිකානු ඉංජිනේරුවන් වෙනුවෙන් වායු සමනය කළ අංග සම්පුර්ණ නිල නිවාස ද ඉදි කෙරුණු අතර ඉඟිනියාගල තානායම ගොඩනැංවූයේ ද ඒ යටතේ ය.
1952 මාර්තුවේදී ඩී.එස්. සේනානායක අශ්වයෙකගේ පිට මතින් ඇද වැටීමෙන් මිය ගියේය. එහෙයින්, 1952 වැඩ අවසන් කෙරුණු ඉඟිනියාගල වේල්ල හා ජලාශය ආශ්‍රිත ජනපදකරණ සැළැස්ම ඉදිරියට ගෙනයනු ලැබුවේ ඩඩ්ලි සේනානායක අගමැතිවරයා යටතේ ය. කෘෂිකර්ම හා ආහාර ඇමතිවරයා වශයෙන් ඩඩ්ලිට සහාය දක්වන ලද්දේ ඔලිවර් ගුණතිලක විසිනි. 1953 වන විට ගල්ඔය යෝජනා ක්‍රමය පිළිබඳ ප්‍රකට මිනිදෝරු ජෙනරාල් ආර්. එල් බ්‍රෝහියර් විසින් සම්පාදනය කළ වාර්තාවක දැක්වෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 852 ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් පවුල් 213 ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පවුල් 275 ක්ද, ඌව පළාතෙන් පවුල් 250 ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පවුල් 175 ක් ද ඒ වන විටත් ව්‍යාපෘතිය යටතේ පදිංචි කර ඇති බව ය. මෙසේ පදිංචි කරනු ලැබුවන්ගෙන් අඩක් නැගෙනහිර පළාතේ දෙමළ හා මුස්ලිම් ජනයා වූ අතර වනාන්තර මැද පිහිටි ගම්මානවල විසු සිංහලයන් හෝ සිංහලකරණයට ලක්වූ වැදී ජනයාද ඒ අතර විය. ඊළඟට ප්‍රධාන ජන කණ්ඩායම වුයේ උඩරට සිංහල ගම්මානවලින් පැමිණි පිරිස් ය. ඔවුන් අතරින් 25%ක්ම මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්කවලින් ගෙන එන ලද අතර සෙසු අය දකුණ, බස්නාහිර හා සබරගමුව පළාත්වලින් ගෙන එනු ලැබුණි. මෙම ජානපදිකයන් වාර්ගිකව මිශ්‍ර වුවද සිංහල ජනපද වැසියෝ නැගෙනහිර වෙරළ තීරයේ විසු මුස්ලිම් හා දෙමළ ජනයාගෙන් සම්පුර්ණයෙන්ම වෙන්ව ජීවත්වූහ.
ගොඩින් අක්කර දෙකක් හා මඩින් අක්කර තුනක් වශයෙන් ජනපද වැසියන් අතරේ ඉඩම් බෙදා හැරුණු අතර පළමු පියවරේදීම සිංහලයන් 20,000 ක් පදිංචි කෙරිණි. සෙන්ට්‍රල් කෑම්ප් හි අංක 4, 6, 7, 11, 13 හා 15 කොළණි දෙමළ ජනයා වෙනුවෙන් ද, කොළණි 3, 9 හා 10 සිංහල ජනයා වෙනුවෙන් ද, කොළණි 5 සහ 12 මුස්ලිම් ජනයා වෙනුවෙන් ද වෙන් කෙරුණි. මෙයින් බාහිර ඉඩම් සියල්ලම සිංහල ජනයා වෙනුවෙන් වෙන්කරනු ලැබිණ.
මේ අතර, 1950දී ආරම්භ කරන ලද හිඟුරාන උක් වගාව වෙනුවෙන් ඉඩම් සංවර්ධන නිලධාරියාගේ බලපත්‍රය යටතේ මුස්ලිම් ගොවීන් විසින් වගා කරමින් සිටි ඉඩම් කිසිදු පෙර දැනුම් දීමක් හෝ වන්දි ගෙවීමකින් තොරව ගල්ඔය සංවර්ධන මණ්ඩලය විසින් අත්පත් කර ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස සිය ගණනක් ගොවීන් මහ මගට ඇද දැමුණි. මෙසේ ලබාගත් ඉඩම්වල උක් වගාව එතරම් සාර්ථක නොවු නමුත් මෙතෙක් ඉඩම් බලපත්‍ර යටතේ වගා කරනු ලැබූ මුස්ලිම් ගොවීන්ට ඒවා යළි ලබා දෙනවා වෙනුවට දකුණින් ගෙනෙනු ලැබූ සිංහල ජනයා එම ඉඩම්වල පදිංචි කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. මේ අයුරින්ම ඉරක්කාමම් හි ගල්ඔය උළු කර්මාන්ත ශාලාව පිහිටුවිමේදීත් මුස්ලිම් ගොවීන්ට අයත් කුඹුරු පවරා ගැණුනු බව පසු කාලීනව බිහි වූ මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණේ ආරම්භකයකු වූ එම්. අයි. එම් මොහිදීන් විසින් නැගෙනහිර සිංහල ජනපදකරණය පිළිබඳව 'දී අයිලන්ඩ්' පුවත්පතට 2007දෙසැම්බර් 07 වැනිදා ලියු ලිපියක නේවා දී තිබුණි.
'සිංහල පමණයි'
'53 හර්තාලය විසින් බලයෙන් ඉවත් කළ ඩඩ්ලි සේනානායකගේ පුරප්පාඩුව පුරවන ලද්දේ ජෝන් කොතලාවල විසිනි. ඒ අනුව, කොතලාවලගේ ආණ්ඩුවේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති පී.බී. බුලන්කුලමේ හා කෘෂිකර්ම හා ආහාර ඇමති ජේ. ආර්. ජයවර්ධන යටතේ ගල්ඔය ජනපදකරණ වැඩ පිළිවෙල පෙරට ගෙනයනු ලැබුණි. නමුත් 1956 වනවිට නැඟ එමින් තිබූ මහ මැතිවරණ උණුසම විසින් වෙනත් ප්‍රමුඛතා පෙරට ගෙන ආවේය. රාජ්‍ය භාෂා පිළිබඳ ප්‍රශ්නය ඉන් එකකි. ලොකුසතු හේවා මෙත්තානන්ද හෙවත් එල්.එච්. මෙත්තානන්ද ප්‍රමුඛ සිංහල ජාතිවාදී බලවේග සිංහලය රාජ්‍ය භාෂාව විය යුතු බවට වූ සිය ව්‍යාපාරය තීව්‍ර කළ අතර එක්සත් භික්ෂු පෙරමුණ ලෙස සංවිධානය වූ බෞද්ධ භික්ෂූහු ද "සිංහල පමණක්" යන සටන් පාඨය පෙරට ගෙන ආහ. ඩී. එස්. සිය පුත්‍රයාට අගමැති ධුරය ලබා දීමට කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාකිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගෙන සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, එක්සත් භික්ෂු පෙරමුණ හමුවේ කියා සිටියේ තමන් බලයට පත්ව පැය විසි හතරක් ඇතුළත සිංහල බස රජ කරවන බව ය. ඒ වන විටත් පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරි ලංකා සමසමාජ පක්ෂය, විජයානන්ද දහනායකගේ භාෂා පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව මැතිවරණයට මුහුණ දීම සඳහා මහජන එක්සත් පෙරමුණ පිහිටුවාගත් අතර ඊට මෙත්තානන්දගේ ද සහාය හිමිව තිබිණි.
මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ ජයගත් අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වුයේ ආසන අටක් පමණි. ලංකා සමසමාජ පක්ෂයේ නායක එන්. එම්. පෙරේරා විපක්ෂ නායකයා වූ අතර එස්.ජි.වී. චෙල්වනායගම් නායකත්වය දුන් ෆෙඩරල් පක්ෂය උතුරු-නැගෙනහිර පළාත්වල සිය බලය තහවුරු කරගැනීමට සමත්විණි. මහජන එක්සත් පෙරමුණ බලයට පත් වීමත් සමගම ලංකාවේ ප්‍රමුඛතම ගුරු පුහුණු විද්‍යාලය සිංහල ගුරුවරුන් සඳහා පමණක් වෙන් කරනු ලබන බවට ආණ්ඩුව නිවේදනය කළේය. මේ අතර එක්සත් භික්ෂු පෙරමුණ ඉල්ලා සිටියේ ඉංග්‍රීසි හා දෙමළ උගත් අය වෙනුවෙන් සිංහල භාෂා ප්‍රවීණතා විභාගයක් පවත්වන ලෙස ය.
අප්‍රියෙල් මස කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව බණ්ඩාරනායක භාෂා පනත ගෙන ඒමට සුදානම් වූ අතර දෙමළ භාෂාවට ද සිංහල භාෂාව හා සමාන තත්ත්වයක් තිබිය යුතු බව ෆෙඩරල් පක්ෂයේ අදහස විය. ඒ අනුව දෙමළ භාෂාවට ද අවම සහන ලබා දෙමින් භාෂා පනතට වගන්ති දෙකක් එක් කිරීමට බණ්ඩාරනායක කටයුතු කළ ද එෆ්. ආර් ජයසුරිය, මෙත්තානන්ද හා කේ.එම්.පී රාජරත්නගේ මෙන්ම එක්සත් භික්ෂු පෙරමුණේ විරෝධය හමුවේ එම වගන්ති දෙක ඉවත් කරමින් සිංහල පමණක් රජ කරවන පනත ඉදිරි පත් කිරීමට ඔහුට සිදු විය.
කොළඹ ඇවිළෙයි
නිල භාෂාව සිංහල ලෙස ඉංග්‍රීසියෙන් කෙටුම් පත් කළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 1956 ජුනි 05 වැනිදා ඊට විරෝධය දක්වමින් ගාන්ධිවාදී සත්‍යග්‍රහයක් දියත් කිරීමට ෆෙඩරල් පක්ෂය කටයුතු කළේය. ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්‍ෂය මෙම පනතට එරෙහිව විරෝධය දැක්වූ නමුත් පාර්ලිමේන්තුවෙන් බැහැර සංවිධානාත්මක බහුජන බලයක් බවට එකී විරෝධය පෙරළීමට ක්‍රියා නොකළහ. දෙමළ දේශපාලකයන්ගේ හුදකලා විරෝධයක් බවට ගාලු මුවදොර ෆෙඩරල් පක්ෂ සත්‍යග්‍රහය පත් වූයේ ඒ හේතුවෙනි. නමුත් අවිහිංසාවාදයේ භාෂාව සිංහල පාලකයෝ දැන නොසිටියහ. ගාලු මුවදොර වාඩි වී නිහඬ විරෝධය පලකළ වයෝවෘද්ධ දේශපාලකයන්ටත්, ඔවුන්ගේ නිරායුද ආධාරකරුවන්ටත් එරෙහිව මැර බලයත්, පොලිස් බලයත් යෙදවුණි. ප්‍රචණ්ඩ ප්‍රහාරයෙන් සිය දෙනෙක් පමණ තුවාල ලැබීය.
ගාලු මුවදොර මැර හා පොලිස් මර්දනය, සංවිධානාත්මක වර්ගවාදී හිංසනයේ පළමු වෙඩිමුරය බවට පෙරළුණි. එදිනම සිංහල මැරයන් විසින් නගර කිහිපයක දී දෙමළ ජනයාට අයත් කඩ සාප්පු කොල්ලකෑමේ නිරත වූ අතර වාහන ගිනිබත් කිරීම් ගැන ද වාර්තා විය. ජුනි 6 වැනිදා පිටකොටුව සාප්පු සංකීර්ණයේ වඩා ප්‍රචණ්ඩ කොල්ලකෑම් සිදුවිය. නිල ඇස්තමේන්තු වලට අනුව මෙම දින දෙක තුළ කඩ සාප්පු 43 ක් කොල්ල කා තිබු අතර පුද්ගලයන් 87 දෙනෙකු තුවාල ලබා තිබිණි. ප්‍රචණ්ඩ සිදුවීම්වලට සම්බන්ධ වී යැයි චෝදනා පිට පුද්ගලයෝ 113 ක් පොලිස් අත් අඩංගුවට ගනු ලැබිණ.
ප්‍රචණ්ඩ හිංසනයේ සුළි කුණාටුව කොළඹින් දුර බැහැරට හමායන ලකුණු ඒ වනවිටත් පෙන්නුම් කර තිබිණ. සිංහල දේශපාලකයෝ මුනිවත රැකකාහ. නමුත් ළඟ එන චණ්ඩ කුණාටුව ගැන කිසිත් නොදත් ගල්ඔය වැසියෝ දවසේ රාජකාරීවල නිමග්නව සිටියෝය.☐
(මතු සම්බන්ධයි)
දෙවැනි කොටස: බියපත් ජනයා ලේ බත් නිම්නය හැර පලා ගියෝය - II
අතුල විතානගේ
© JDS