සමරිසි විරෝධී හිංසනයෙන් 'නීතිය රකින' පොලිසියේ ලිංගික පරික්ෂාව

රනත් කුමාරසිංහ විසිනි


ශ්‍රී

ලංකාවේ පොලිසිය ඇතුළු බලධාරීන් විසින් පුද්ගලයන්ගේ සමරිසිභාවය තහවුරු කිරීම සඳහා බලහත්කාර ලිංගික පරීක්ෂාවන් මගින් ඉතා මෑත කාලයේත් සිදු කර ඇති ලිංගික වධහිංසා පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන අවධානය යොමුකර තිබේ.

හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සහ ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground) යන සංවිධාන විසින් ප්‍රකාශ කර ඇති පරිදි ශ්‍රී ලංකා බලධාරීන් විසින් 2017 සිට මේ දක්වා අවම වශයෙන් පුද්ගලයන් හත් දෙනකුගේ ගුද හා යෝනි මෙසේ බලහත්කාරයෙන් පරීක්ෂාවට ලක්කර ඇත්තේ ඔවුන් සමලිංගිකයන් බව ඔප්පු කිරීමට සාක්ෂි සොයාගැනීම සඳහා ය.

මෙම බලහත්කාර පරීක්ෂණය, ලිංගික හිංසනයක් මෙන්ම වධහිංසා පැමිණවීමක් දක්වා දිවෙන කුරිරු, අමානුෂික හා අවමන් සහගත සැලකීමක් බව ඔවුහු සිය නවතම වාර්තාවෙන් පෙන්වා දෙති.

ලංකාවේ මේ නින්දා සහගත, ම්ලේච්ඡ පරීක්ෂණයන් කෙරෙන්නේ, සමලිංගික සංසර්ගයක යෙදුනාද යන්න හඳුනාගැනීමට "කන්‍යාභාවය හෝ ‘ඇඟිලි දෙකේ’ පරීක්ෂාවට කිසිදු ඉඩක් නැති බවත්, එයට කිසිදු විද්‍යාත්මක වලංගු භාවයක් නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය තිර කොට ප්‍රකාශ කර තිබිය දී ය.

මෙවැනි නින්දා සහගත ශාරීරික පරීක්ෂණ සිදු කිරීම නතර කළ යුතු අතර, අන්‍යොන්‍ය කැමැත්තෙන් සිදු කරනු ලබන සමලිංගික චර්යා සම්බන්ධයෙන් පුද්ගලයන්ට විරුද්ධව නඩු පැවරීම නතර කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සහ ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධාන ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

“ඔවුන්ගේ ලිංගික දිශානතිය හේතුවෙන්, ලිංගික අඩංතේට්ටම් හෝ වධ හිංසාවලට ලක් නොකළ යුතුවා පමණක් නොව, අඩු ගණනේ අත් අඩංගුවට ගැනීමවත් නොකළ යුතුය” යි ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ සමරිසි (LGBT) අයිතීන් පිළිබඳ සහකාර අධ්‍යක්ෂ නීලා ඝෝෂාල් කියා සිටියාය. ඇය තවදුරටත් කියා ඇත්තේ “ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යාංශය විසින් වහාම; අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින්, වෛද්‍ය ආචාරධර්ම මෙන්ම මුලික අයිතීන් ද උල්ලංඝණය කරමින් සිදුකරන බලහත්කාර ගුද පරීක්ෂණ නැවැත්විය යුතු,” බවයි.

ආණ්ඩුව නොදනී

පොලිස් ගුද පරීක්ෂාව පිළිබඳ HRW හා ඊක්වල් ග්‍රවුන්ඩ් හෙළිදරව්ව කැළඹීමට පත් කරන්නක් බව පවසන අධිකරණ අමාත්‍යවරයා “මෙය සිදුවන්නේ නම්” අත්හිටුවන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව කියා තිබේ.

“මෙය සිදුවන්නේ නම්, සැබවින්ම කැළඹිල්ලට පත් කරන හෙළිදරව්වක් වන අතර, වහාම මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයැ,” යි අමාත්‍ය අලි සබ්රි මුහුණු පොත මගින් නිවේදනය කර තිබේ.

“මේ කාරණය සම්බන්ධයෙන් මම අදාළ බලධාරීන්ට දැනටමත් කතාකොට, මෙම චෝදනාවල බරපතල බව සැලකිල්ලට ගනිමින් සිදුවීම් නිසියාකාර විභාග කරන තුරු මෙම ක්‍රියාකාරකම් අත් හිටුවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තෙමි.”

මෙම අමානුෂික චර්යාව පිළිබඳව අධිකරණයේ නඩු පවා විභාග වී තිබීයදී ජනාධිපති නීතිඥයකු වන අධිකරණ අමාත්‍යවරයා මේ ගැන නොදැන සිටීම හාස්‍යජනක ය.

උසාවි වාර්තා

මේ සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥයකු හියුමන් රයිට්ස් වොච් හා ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධාන සමග ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාස 12 ක කාලය තුළදී තමන් තවත් නීතීඥයන් ද සමගින්, සමලිංගික ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලත් පිරිමි විත්තිකරුවන් හය දෙනෙකු වෙනුවෙන් ඔහු පෙනී සිටිය බවයි. මේ සෑම නඩුවකම පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් විසින් ගුද සංසර්ගය පිළිබද සාක්ෂි ලෙස, විත්තිකරුවන්ගේ ගුද පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනු ලැබූ බව හෙතෙමේ කියා ඇත. ඔහු තවදුරටත් පවසා ඇත්තේ මේ චූදිතයන් වයර්වලින් පහර දීම ඇතුළු තවත් විවිධ අපයෝජනයන්ට ගොදුරු කර ඇති බවත්, ඔවුන් අතුරින් තිදෙනකු ඔවුන්ගේ අනුමැතියකින් තොරව ඒඩ්ස් (HIV) පරීක්ෂණ සදහා යොමු කරනු ලදුව, සමාජීය වශයෙන් මොවුන්ට අත්වීමට ඉඩ ඇති අයහපත් ආනිශංස පවා නොසළකා ප්‍රසිද්ධ උසාවියේදී එම වාර්තා ඉදිරිපත් කරන ලද බවත් ය.

තවත් නීතීඥවරයකු විසින් ප්‍රකාශ කරන ආකාරයට, ගුද පරීක්ෂණයකට මුහුණ දුන් එක් විත්තිකරුවකු පවසා ඇත්තේ පොලිසිය තමන්ට ඉතා නරක අන්දමින් වද දීමෙන් පසු ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යවන ලද බවයි. එය ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇති බවට විත්තිකරුට දැනුවත් කිරීමක් සිදු කර නොමැත. එමෙන්ම තවත් අවස්ථාවක දී මෙම පරීක්ෂණයකට ලක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට චූදිතයකුට අවස්ථාව ලබා දී ඇතත්, පරීක්ෂණයට පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම ඔහුට එරෙහිව භාවිතා කළ හැකි බව පවසා තිබෙන බව නීතිඥයා විසින් හෙළි කර තිබේ. තර්ජනයකට ලක් කර, නිදහස් සහ දැනුවත් කැමැත්ත ලබා ගත නොහැකි බව හියුමන් රයිට්ස් වොච් සහ ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධාන මෙහිදී ප්‍රකාශ කළහ.

එම නීතිඥයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, 2019 දී පොලිසිය විසින් සංක්‍රාන්ති ලිංගික පුරුෂයකුට මෙම ඊනියා "කන්‍යාභාවය පිළිබඳ පරීක්ෂණයකට” බල කර තිබේ. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මෙම පුරුෂයාගේ යෝනි මාර්ගය තුළට ඇඟිලි දෙකක් ඇතුල් කිරීමට කටයුතු කර තිබේ. සමලිංගික හැසිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය උත්සාහ කළ ද, සංක්‍රාන්ති පුරුෂයාගේ ස්ත්‍රී පුරුෂභාවය හඳුනාගැනීමේ සහතිකය සහ ඔහු කාන්තාවක හා විවාහ වී සිටීම වලංගු බවට පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව නිෂ්ප්‍රභා කර තිබේ.


ලංකාවේ අපරාධ නීතියේ ප්‍රතිපාදන

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 අ වගන්තිවලින් දැක්වෙන “ස්වාභාවධර්මයට විරුද්ධව, කැමැත්තෙන්ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තෙකු” හා “ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ, තදබල අශෝභන ක්‍රියාවක් කරන‍” යනාදී අවධාරණයන් මගින් පොදුවේ ශ්‍රී ලංකාව තුළ වටහාගනු ලබනුයේ, පුද්ගලික ස්ථානයකදී වේවා, වැඩිහිටියන් අතර වේවා පාර්ශව අතර කැමැත්ත මත සිදුවන සම-ලිංගික සබඳතා, අපරාධ බවට නීතිය මගින් පත් කර ඇති බවයි. හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙන්නේ, නොපැහැදිලිව වචන හසුරුවා ඇති අයාල නීති (අයාල ආඥාපනත 1841) සහ දණ්ඩ නීති සංග්‍රහයේ එන “පුද්ගලාරෝපණය මගින් වංචා කිරීම” තහනම් කිරීමේ විධිවිධානත්, සංක්‍රාන්ති ලිංගිකයන් සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුකූල නොවන පුද්ගලයන් ඉලක්ක කර අත් අඩංගුවට ගැනීම සඳහා භාවිතා කරන බවයි.

පසුගිය අවුරුදු කිහිපය තුලදී, පාර්ශවයන්ගේ කැමැත්ත මත සම ලිංගික සේවනයේ යෙදීමේ ‘අපරාධය’ කරන්නවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පොලිසිය විසින්, හෝටල් හා එවන් ස්ථාන වටලෑම් කරගෙන යන ලදී. 2018 දී පොලීසිය විසින් වැටලීම් පහකින් අත්අඩංගුවට ගත්, පුරුෂයන් නව දෙනකුට එරෙහිව “සමලිංගිකත්වය” සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර ඇති බව පොලිස් කාර්ය සාධන වාර්තාවකින් හෙලිවී තිබේ.

පොලිසිය මෙවැනි අත්අඩංගුවට ගැනීම් බොහොමයක් සිදු කර ඇත්තේ ප්‍රචණ්ඩකාරී ලෙසය. 2016 දී හියුමන් රයිට්ස් වොච් හි වාර්තාවක් සඳහා, සමරිසි ස්ත්‍රීන් හා පුරුෂයන් මෙන්ම ද්වී ලිංගික හා සංක්‍රාන්ති ලිංගික (LGBT) පුද්ගලයන් 61 දෙනකු සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී හෙලි වී ඇත්තේ, ඔවුන් අතරින් 16 දෙනකුම පොලිසිය විසින් දූෂණය කිරීම ඇතුළුව කායික හෝ ලිංගික අතවරයන්ට මුහුණ දී ඇති බවයි.

සමලිංගික හැසිරීම පිළිබඳ “සාක්ෂි” සොයා ගැනීමේ අරමුණින් බලහත්කාරයෙන් සිදු කරන ගුද පරීක්ෂණවලදී බොහෝ විට වෛද්‍යවරුන් හෝ වෙනත් වෛද්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ ඇඟිලි, නැතිනම් සමහර විට වෙනත් ආම්පන්න චූදිතයාගේ ගුදය තුළට ඇතුළු කිරීම මගින්, පුද්ගලයා ගුද සංසර්ගයේ යෙදී ඇත්දැයි තීරණය කිරීමට උත්සාහ කරනු ලැබේ.

1800 ගණන්වල ප්‍රංශ වෛද්‍යවරයකු විසින් මුලින්ම සකස් කරන ලද මෙම ගුද පරීක්ෂණ ක්‍රමය, ගුද සංසර්ගයේ යෙදුනාද නැතිද යන්න ගුදයෙහි හැඩය මගින් ඔප්පු වන්නේය යන පසු කලක ප්‍රතික්‍ෂේප වූ කුප්‍රකට න්‍යාය මත පදනම්ව ඇත්තේය.

කිසිම විද්‍යාත්මක පදනමක් නොමැති සේම, වෛද්‍ය ආචාර ධර්මයන්ට පටහැනි මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති, ලොව පුරා අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත‍, නිදහස් වෝහාරික වෛද්‍ය විශේෂඥයන්ගේ කණ්ඩායම (Independent Forensic Experts Group - IFEG) මේ බලහත්කාර ගුද පරීක්ෂණ හෙලා දකිමින් මෙසේ ප්‍රකාශ කර තිබේ: "පාර්ශවයන්ගේ කැමැත්තෙන් ගුද සංසර්ගයක යෙදුනා යැයි විශ්වාසදායක ලෙස දැක්විය හැකි කිසිදු විකෘතියක් හඳුනාගැනීම සඳහා මෙම පරීක්ෂාවේ කිසිදු වැදගත්කමක් නැත"

සාක්ෂි ඕනෑ නම් ආචාර ධර්ම අමතක කරන්න!

ප්‍රචණ්ඩත්වයක් හා වධහිංසා පැමිණවීමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙලා දැක තිබෙන මෙම පරීක්ෂාව නවත්වන ලෙස ලෝක වෛද්‍ය සංගමය විසින් සියලුම වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ඉල්ලා තිබේ.

“ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමකින් තොරව සිදුකෙරෙන අවිද්‍යාත්මක පරීක්ෂණයන්හි යෙදීම මෙන්ම, ඒකමතියෙන් සම ලිංගික ක්‍රියාවන්හි යෙදෙන මේ සංක්‍රාන්තික ලිංගික පිරිමින් හා කාන්තාවන් වරදකරුවන් ලෙස ඔප්පු කිරීම සඳහා, වෛද්‍ය වාර්තා සැකසීමට වෛද්‍ය නිලධාරින් හවුල්වීම නිසා අතිශයින් කැළඹීමකට පත්ව සිටිමු” යි ලෝක වෛද්‍ය සංගමය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ මෙම පරීක්ෂණ පවත්වන අධිකරණ වෛද්‍ය නිලධාරීන්, අධිකරණ අමාත්‍යාංශයේ සේවය කරන පූර්ණ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් වන අතර, ඔවුහු වෛද්‍ය ආචාර ධර්මවල ප්‍රමිතීන් වලින් බැඳී සිටින අය වෙති.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන් “කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය” යි වධ හිංසා පැනවීම ලංකාව තුළ තහනම් කර තිබේ.

ව්‍යවස්ථාව විසින් පිළිගත් මූලික අයිතිවාසිකම්වල 'වෙනස් කොට සැලකීමට භාජනය නොවීමේ අයිතිය' 12(2) වගන්තිය යටතේ මෙසේ දක්වනු ලැබේ: "කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂභේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය".

නීතිපති ප්‍රකාශ හා නීතියේ චපලත්වය

සමලිංගික පුරුෂ, සමලිංගික ස්ත්‍රී, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ අන්තර් ලිංගික (LGBTI) පුද්ගලයන්ට වෙනස් කොට සැලකීම ව්‍යවස්ථා විරෝධී බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතා අයිතිය යටතේ LGBTI ජනතාව ආරක්ෂා කර ඇති බවත්, 2014 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී රජය විසින් ප්‍රකාශ කර තිබේ.

2014 ඔක්තෝබර් 7 සහ 8 යන දිනවල ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ දී (OHCHR), ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් බිම්බා ජයසිංහ තිලකරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ “12.1 වන වගන්තිය මගින් ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අනන්‍යතාව සඳහා සමානාත්මතාවය සහතික කරන” බව සහ 12.2 වගන්තිය යටතේ “ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අනන්‍යතාවය පදනම් කරගෙන වෙනස් කොට සැලකීමේ නීති ව්‍යවස්ථා විරෝධී” බව ය.

රජය විසින් සිය නීතිපති හරහා තවදුරටත් ප්‍රකාශ කළේ LGBTI ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගැනීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 () වගන්ති භාවිතයට නොගැනෙන අතර, LGBTI පුද්ගලයන්හට වෙනස් කොට සැලකීමකින් නීතිය ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් ය.

කෙසේ වෙතත් ඇය වඩාත් පැහැදිළි කරමින් ප්‍රකාශ කර ඇත්තේ, “[ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ] 365 සහ 365 අ වගන්ති කිසියම් විශේෂිත කණ්ඩායමක් ඉලක්ක නොකරන අතර, මහජන සදාචාරය ආරක්ෂා කිරීම සඳහා පවතින” බවයි. ගුද සංසර්ග විරෝධී නීති ලෙසින් පොදුවේ හඳුන්වනු ලබන, මෙම විධිවිධාන මගින් සමලිංගිකත්වය ඇතුළු, “අස්වාභාවික” ලිංගික ක්‍රියා සහ “අශෝභන ක්‍රියා” අපරාධ ලෙස නම් කරනු ලබයි.

මේ සියළු අවධාරණ මධ්‍යයේ මුත් 12.2 වන වගන්තිය යොමුව ඇත්තේ “ලිංගිකත්වය”ට මිස “ලිංගික දිශානතිය” හෝ “ස්ත්‍රී පුරුෂභාවය” සම්බන්ධයෙන් නොවන අතර “ලිංගිකත්වය” යන වචනයට “ලිංගික දිශානතිය” හෝ “ස්ත්‍රී පුරුෂ භාවය” ඇතුළත් බව අධිකරණයක් විසින් අදහස් කරන්නේද යන්න පැහැදිලි නැතැයි මානව හිමිකම් නීතිවේදීන් පෙන්වාදෙයි.

නීති බලධාරීන්ගේ පොරොන්දු

2017 දී ද මේ කොමිෂන් සභිකයන්ගේ නිර්දේශ බාරගනිමින් LGBTI ජනයාට එරෙහි අවමන් සහගත සැලකිල්ල අවසන් කරන බවට ආණ්ඩුව 2014 දී ගන්නා ලද ස්ථාවරය යළි පුනරුච්චාරණය කළේ ය.

“LGBTIQ ප්‍රජාව ඇතුළු සියලු පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම සහතික කිරීම සහ ශක්තිමත් කිරීමටත්, මේ සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු විසඳීමට" ත් කටයුතු කරන බවට එහිදී රජය “ස්වේච්ඡාවෙන් පොරොන්දුවක්” ලබා දුන්නේය.

2017 නොවැම්බර් 23 දා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ප්‍රතිඥා දුන්නේ, රටේ එක්සත් ජාතීන්ගේ විශ්ව වාරික සමාලෝචනයෙන් (UPR) පසුව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ අවශ්‍ය වෙනස්කම් සිදුකර සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකීම අවසන් කරන බවටය.

2001 මැයි මාසයේදී, සාමාජිකයින් 1400 දෙනෙකුගෙන් යුත් 'ගමන්මගේ සහකරුවෝ' (Companions on a Journey) කණ්ඩායම විසින් සමලිංගිකත්වය අපරාධයක්ය යන නීතිය ඉවත් කිරීම සඳහා ක්‍රියාකාරීව බලපෑම් කරමින් පෙන්වා දුන්නේ 1950 සිට ශ්‍රී ලංකාවේ සමලිංගික සේවනය සම්බන්ධයෙන් නඩු පවරා නොමැති බවයි. නමුත් සමලිංගික සබඳතා මෙම බහුතර බෞද්ධ රට කුපිත කරවීමට සමත් ය.

1994 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ විකල්ප කෙටුම්පත (ශ්‍රී ලංකාවත් අත්සන් තබා ඇති - ICCPR) යටතේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365() වගන්තියේ විධිවිධානයන්ට සමාන වූ, තස්මේනියානු අපරාධ නීති සංග්‍රහයේ 122 සහ 123 වගන්ති සැළකිල්ලට බඳුන් කරන ලදී. එහිදී මෙම විධිවිධාන ICCPR හි, වෙනස් කොට සැලකීම තහනම් කිරීම සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන, පිළිවෙලින් 2 සහ 17 වගන්ති උල්ලංඝනය කර ඇති බව කමිටුව තීරණය කරන ලදී.

“නීතිය ක්‍රියාත්මක කරන ආයතන මගින්, LGBTIQ ප්‍රජාවට විරුද්ධව මෑතදී සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සහ හිරිහැර පිළිබඳ සාක්ෂි ඉතා බරපතල තත්ත්වයක්” බව ඊක්වල් ග්‍රවුන්ඩ් හි විධායක අධ්‍යක්ෂිකා රොසානා ෆ්ලැමර් කල්දේරා ප්‍රකාශ කර සිටී.☐

© JDS