විසි වසරකට පෙර 'කිලිවෙඩ්ඩියේ අමු සොහොන් මතදී ය'

එක් දහස් නවසිය අසූ පහේ මැයි තිස් වැනිදා සේරුනුවර සිට පැමිණි සන්නද්ධ ‍පොලිස් බල ඇණියක් විසින් කිලිවෙඩ්ඩියේ ස්ත්‍රීන් ඇතුලු 36 දෙනෙකු පැහැරගෙන ගොස් අල්ලෛ - කන්තලේ මාර්ගයේ සාලම්පිඩ්ඩි ප්‍රදේශයේදී මරා පුළුස්සා දමන ලදී. භීතියට පත් බොහෝ දෙනා ගම අතහැර සැතපුම් පහක් දුරින් වූ පච්චනූර් හා තෝප්පූර් කරා පලා ගිය අතර පලා යාමට අසමත් වැඩිමහළු අතෙළාස්සක් දෙනා තව දුරටත් එහිම රැඳී සිටියහ. මැයි 31 වැනිදා යළිත් ගම් වැදුණු රජයේ සන්නද්ධ හමුදාවෝ එසේ රැඳී සිටි අට දෙනෙකු වෙඩි තබා මරා දැමූහ.

එයින් එකෙළාස් වසරකට පසු කිලිවෙඩ්ඩිය යළිත් මිනිස් දඩබිමක් බවට පෙරළිණ.

1996 පෙබරවාරි 11 වැනිදා කිලිවෙඩ්ඩි ප්‍රත්‍යන්තයේ කුමාරපුරම් ගම්මානයට කඩා වැදුණු දෙහිවත්ත හමුදා කඳුවරේ සෙබළු, දරුවන් ඇතුළු විසි පස් දෙනෙක් මරා දැමූහ. ප්‍රහාරයෙන් දිවි ගළවාගත් වින්දිත ජනයා විසි වසක් තිස්සේ යුක්තිය වෙනුවෙන් සටන් කළහ.

දැන් ඒ සටන තාවකාලිකව අවසානයකට එළඹ තිබේ.

අනුරාධපුර මහාධිකරණය විසින් කැඳවන ලද සර්ව සිංහල ජූරි සභාවක් විසින් 2016 ජූලි 27 වැනිදා චූදිත සෙබළුන් සය දෙනෙකු ඔවුන්ට එෙරහිව වෙන් වෙන්ව නඟා තිබූ චෝදනා 101කින් සපුරා නිදොස් කොට නිදහස් කරනු ලැබිණ.

ඉක්බිති, මරණ බිය නොතකා විසි වසක් පුරා යුක්තිය සඳහා සටන් කළ කුමාරපුරම් ජනයා සිය නෑසියන් මිහිදන් කළ  ගම් බිම් බලා මුනිවතින් පෙරළා ගියහ.

තීන්දුවෙන් අමන්දානන්දයට පත් ‘දිවයින’ පත්‍රය ජූලි 31 වැනිදා මෙසේ විමසා තිබිණ:

“…….යුද හමුදාවට සමාන ඇඳුම් ඇඳගත් පිරිසක්‌ පැමිණ මේ අපරාධය කරනු පෙරදා රැයේ ඔවුන් (ගම්වාසීන්) දෑසින් දැකීම එසේ චෝදනා කිරීමට හේතු වන්නට ඇත. එහෙත් එය සිදු කළේ යුද හමුදාවමද?……එදා මෙකී සමූහ මිනිස් ඝාතන චෝදනා හමුවේ මේ විරුවන් පිරිස යුද හමුදාවෙන් ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන තිබිණ. එහෙත් දැන් ඔවුන් නිදොස් මිනිසුන් ය. එසේ නම් ඔවුන් වෙනුවෙන් හමුදාවෙන් නෙරපූ දින පටන් ගෙවිය යුතු හිඟ වැටුප් ඇතුළු විශ්‍රාම දීමනා ගෙවන්නට ආණ්‌ඩුව සූදානම්ද?

සිදුවීමෙන් මාසයකට පසු, 1996 මාර්තු 12 වැනිදා කිලිවෙඩ්ඩි කරා ගොස් කුමාරපුරම් සමූහ ඝාතනයෙන් දිවි ගළවාගත්තවුන් මුණගැසී එක්රැස් කරගත් සාක්‍ෂි ඇසුරෙන් ලියන ලද මෙම ලිපිය ‘කිලිවෙඩ්ඩියේ අමු සොහොන් මතදී ය’ මැයෙන් මුල්වරට පළවුයේ 1996 අප්‍රේල් මාසයේ පළ වූ ‘හිරු’ මාසික සඟරාවේ පළමු කලාපයේ ය.

සංහාරයේ උණුසුම තව දුරටත් සජී‍වීව පැවැති ඒ මාර්තු මාසයේදී දිවි ගළවාගත්තවුන් විසින් අනාවරණය කළ මේ බිහිසුණු සිදුවීම් විසින් ශේෂ කළ රාජ්‍ය භීෂණය පිළිබඳ සැහැසි මතකය, සර්ව සිංහල ජූරියක තීන්දුවක් මගින් නිශ්ප්‍රභා කළ හැකි ද?

(ප්‍රධාන සේයාරුව: ඝාතනය වූවන් ආදාහනය කළ ස්ථානය අසළ දිවි ගළවාගත් දරුවෙක් - 1996 මාර්තු, කුමාරපුරම්)

සටහන: භාෂණ අෙබ්වර්ධන / මුල් ලිපියේ සේයා රූ: ලලිත් සෙනෙවිරත්න 


දෑසන හිරු එළිය ගලන්නට පටන්ගත්තා පමණි. නැගෙනහිර මුහුදේ අළුවන් දියතලය සන්සුන් ය. අළුයම අඳුරු අහසේ ලිහිණියන් පියාඹයි. මගී ජැටියේ ගේට්ටුව හැර දැමූ විගසින් මිනිසුන් එකා දෙන්නා ඇතුළු වේ.

"මේකේ බැටරි තියෙනවාද?" තරුණ පොලිස් භටයා මගේ මිතුරාගේ කැමරාව ඒ මේ අත පෙරළයි.

"බැටරි තියෙනවා නම් මුත්තූර් ගෙනියන්න දෙන්න බැහැ. බැටරි තහනම්."

"බැටරි ගලවලා නම් කැමරාව ගෙනියන එකේ තේරුමක් නැහැ," මිතුරාගේ හඬ විරෝධය දනවන සුළු ය.

අපි මුරපොළ භාර පොලිස් නිලධාරියා හමුවීමු.

"කමක් නැහැ, බැටරි නැතුව කැමරාව ගෙනියන එකේ වැඩක් නැහැ. කැමරාව නැතුව පත්තරකාරයෙක් යන එකෙත් තේරුමක් නැහැනේ?" ඔහු පොලිස් නිලධාරියෙකුට නොගැළපෙන සිනහවක් පා අවසර දුන්නේය.

පාතාලමලෛ

ත්‍රිකුණාමලයේ සිට මුත්තූර් බලා යන බෝට්ටු සේවාවන් ආරම්භ වන්නේ උදෑසන 6.30ට ය. බෝට්ටු සේවය පවත්වාගෙන යන්නේ යාත්‍රා තුනකිනි. ඉන් එකක් ත්‍රීමලේ ගමනා ගමන මණ්ඩල ඩිපෝවටත්, සෙසු යාත්‍රා පළාත් සභාවට සහ සමූපාකාර සමිතියටත් අයත් ඒවා ය. දිනකට හය හත් වතාවක් ත්‍රීමලේ සිට මුත්තූර් දක්වාත්, මුත්තූර් සිට ආපසු මලේ දක්වාත් මගීන් රැගත් බෝට්ටු යාත්‍රා කරයි. මලේ සිට මුත්තූර් දක්වා ඇති ඉක්මන්ම ගමන් මාර්ගය බවට මුහුදු මාර්ගය පත් වී ඇත්තේ යුද්ධය හේතුවෙනි.

ත්‍රීමලේ - කන්තලේ මාර්ගයේ තඹලගමුවෙන් හැරී මුත්තූර් දක්වා දිවෙන බස් පාර ඔස්සේ යාම කාලය කා දැමීමකි. අතරමඟ සැතපුමෙන් සැතපුම හමුදා මුර කපොළුවලින් බැස සෝදිසි පරීක්ෂාවන්ට හා ප්‍රශ්න කිරීම්වලට ලක්වනවාට වඩා මුහුදු ගමන පහසු ය. නමුත් මගීන් පිරීගත් දාට මුහුදු ගමනේ අවදානම් බව ඉහළ යයි.

උදෑසන 6.30ට ත්‍රීමලෙන් පිටවිය යුතු බෝට්ටුව, එහි හයිඩ්‍රොලික් නලයක් පුපුරා යාම නිසා පැයක් පමණ ප්‍රමාද වෙතැයි කිසිවෙක් කීය. අපි කාලය කා දැමීමේ මගක් ගැන කල්පනා කළෙමු. හිටි හැටියේ මුහුදු දියෙන් මතුවන මාලු රෑන් දෙස බලා සිටීම ඉක්මණින් එපා වන වැඩකි.

යාත්‍රාවේ ප්‍රමාදයත් සමඟම මිනිසුන් එකා දෙන්නා වැඩි වේ. යාත්‍රාවට සෙනඟ වැඩි වුණොත් කුමක් වේදැයි ගමනට එක් වූ වීරකෝන් මල්ලීගෙන් මම ඇසීමි.

"ඔය මුහුදෙ තියෙනවා පාතාලමලෛ කියලා තැනක්. මේ බෝට්ටු යන්නේ ඒ හරහායි. අවුරුද්දකට හමාරකට ඉස්සෙල්ලා මුත්තූර් ගිය බෝට්ටුවක් පෙරළිලා අසූ ගාණක් මැරුණා. දෙන්නායි බේරුණේ. මුහුදේ ගැඹුර නිසා මිනී හම්බ වුණෙත් නැහැ."

ප්‍රමාණය ඉක්මවා මගීන් පැටවීම නැවතී ඇත්තේ ඉහත සිදුවීමෙන් පසුව ය. යාත්‍රාවේ ගමනට එක්වන්නන්ගේ නම, ගම සහ ජාතික හැඳුනුම්පත් අංකය පිළිබඳ පොලිස් භටයෙකු විසින් සියළු තොරතුරු ලියා ගන්නේ ද ඉන් පසුව ත්‍රීමලේ සරත් අයියා කීය.

තොරතුරු ලියා ගන්නා මේසය අසළ පිරිමින් හා ස්ත්‍රීන් පෝළිම් දෙකකට පෙළ ගැසිය යුතු ය. නම, ගම ආදී විස්තර විමසා ලියා ගන්නේ අනතුරුව ය. හිමිදිරි 6.30ට ත්‍රීමලෙන් පිටත් විය යුතු යාත්‍රාව අලුත්වැඩියාව නිමකොට දියත් කරන විට උදෑසන නවයටත් ළං වී තිබුණි.

ත්‍රීමලේ සිට මුත්තූර් බලා යන මුහුදු ගමන පැයකට වැඩියෙන් කාලය ගන්නා සෙමින් ගමනකි. බඩු බාහිරාදිය ඔසවා ගත් මගීන් හා මුත්තූර් හි කඳවුරු බලා යන පොලිස් හා හමුදා භටයන්ගෙන් තදබද වන බෝට්ටුව තුළට උදෑසනින්ම ගිනියම් වන්නට පටන් ගන්නා හිරු රැස් එක එල්ලේ කඩා වදියි. බෝට්ටුවේ ආරක්ෂක වැටට පිට දී ගත් හමුදා භටයන් දෙදෙනාගෙන් අයෙක් 'බිරිඳ' පත්තරයක් බලයි. කුඩා දරුවන් වෙහෙස දනවන මුහුදු ගමනට හුරුව ඇති සේ ය. ප්‍රීමා ජැටිය පසුකර පාතාලමලෛ වෙත ළඟා වන විට බෝට්ටුවේ පැද්දීම වැඩියෙන් දැනෙන්නට පටන් ගත්ත ද, මගීහු එකා දෙන්නා නිදි කිරා වැටෙති. ත්‍රීකුණාමලය අවට මුහුදේ වාරකන් සමය ගෙවී ගොස් මුහුද සන්සුන් වන්නට පටන්ගන්නා විට මුහුද පැත්තෙන් අනතුරු අඩු බව වීරකෝන් මල්ලී කීය.

'කිලිවෙඩ්ඩි මොනවා බලන්නද?'

ත්‍රීමලේ ජැටියේ පොලිස් මුරපොළට අප මුත්තූර් බලා යන බව කීව ද, මුත්තූර් ජැටියේ මුරපොළට අප කිලිවෙඩ්ඩි බලා යන බව කිව යුතුව තිබිණ. නමුත් එවිට කැමරාව ගෙනයන්නට ඉඩ දෙතැයි අප තුළ වූයේ අඩු විශ්වාසයකි. අපි උපායයක් කල්පනා කළෙමු. බෝට්ටුවේ ගමන් කළ දෙමළ වැසියෙකු අපට උපකාර කිරීම එකඟ විය.

"මම පොලිසියේ කට්ටිය අඳුරනවා. ඒ නිසා මාව චෙක් කරන්නේ නැහැ. මට කැමරාව දීලා ඔයගොල්ලෝ ගිහින් බස් එකට වෙලා ඉන්න."

අපි එසේ කළෙමු.

විනාඩි පහළොවක් ඇතුළත දී කැමරාව බසය වෙතට එවනු ලැබිණ.

මුත්තූර් සිට කිලිවෙඩ්ඩි දක්වා යාමට කිලෝ මීටර් අටකට වැඩි දුරක් ගෙවිය යුතු ය. ජැටියේ බස් ගාලෙන් ආරම්භ වන මුත්තූර් ඩිපෝවට අයත් කිලිවේඩ්ඩි බස් රථය ඉක්මණින්ම සෙනඟින් පිරිණ.

මුත්තූර් සිට කිලිවෙඩ්ඩි දක්වා ගමන් ගන්නෙකුට හමුදා මුර කපොළු හතරකින් හෝ පහකින් රිංගා යන්නට සිදු වේ. සෝදිසි කිරීමවල කිව යුතු තරම් අලුත් දෙයක් නැති තරම් ය. පනස් නම වැනි සැතපුම් කණුව අසළ කඳවුර ඉදිරිපිට මුරපොළේ ප්‍රශ්න කිරීම් සහ සෝදිසි පරික්ෂාවන් වැඩි ය.

අපි කිලිවෙඩ්ඩි බලා යන බව කීමු.

'කිලිවෙඩ්ඩියේ මොනවා බලන්නදැයි' සොල්දාදුවෙක් ඇසීය.

අපි සිනාසුණෙමු.

සිනාව පිළිතුරක් සේ භාර ගැණුනි.

කුමාරපුරම් ගම්මානය පිහිටා ඇත්තේ කිලිවෙඩ්ඩි මංසන්ධියට කිලෝ මීටර් කාලක් පමණ මෙපිටින් ය. ත්‍රීමලේ සිට මඩකළපුව බලා යන පැරණි මාර්ගයෙන් හැරී පාරෙන් ඇතුළට වන්නට පිහිටි කුමාරපුරම් හි පවුල් 71 පමණ පෙබරවාරි 11 වැනිදා සිදුවීමට පෙර ජීවත් වූහ. දැන් ඇතැම්හු ගම හැර යති. '83 ජූලි සිදුවීම් වන විට මධ්‍යම කඳුකරයේ වතුකරය ආශ්‍රිතව ජීවත් වූ බොහෝමයක් දෙනා පසුව කුමාරපුරම් ප්‍රදේශයේ පදිංචි කරවා තිබුණේ පසුගිය එජාප ආණ්ඩුව සමයේ ය.

අපි දෙවැටක් ඔස්සේ ගම්මානයේ කෝවිල දෙසට ගියෙමු. ගිනි කූටක අව්වට නොබැස ගම්මුන් නිවෙස්වල දොරවල් අසළට වී බලා සිටියි. මූසල නිහැඬියාවකින් ගම්මානය වසා දමා ඇති සේ ය. දැවී ඉපල්ව ගිය ගහකොළ යට කුඩා දරුවෝ දුව පනිති.

කුමාරපුරම් ගම්මානයට රජයේ හමුදා පහර දී තිබුණේ 1996 පෙබරවාරි මස 11 වැනිදා ය. අප කුමාරපුරම් බලා ගියේ හරියටම ඉන් මසකට පසු මාර්තු 12 වැනිදා ය. ගම්මානයේ කෝවිලේ මළවුන් සඳහා ආගමික පූජා සූදානම් කොට තිබිණ. බොහෝවුන්ට කතා කිරීමේ උවමනාවක් නැතුවා සේ ය. පෙබරවාරි 11 වැනිදා හමුදා ප්‍රහාරයෙන් මියගොස් සිටියේ 25 දෙනෙකි. නමුත් සෙස්සන්ගේ ද ජීවිතය කෙරෙහි වූ අපේක්ෂාවන් 11 වැනිදා බිහිසුණු පැය කිහිපය තුළ මරා දමා තිබිණ.

දූවිලි අවුස්සාලමින් වියළි සුළං හමා යයි. කෝවිල් බිත්තිවල තවමත් වෙඩි පහරින් සිදු වූ කැළැල් ඉතිරි වී තිබේ. සිත්වල ද එසේ ය.

තුවාලකරුවන්ටත් වෙඩි

අර්සරත්නම් නාගරාසා 45 හැවිරිදි ය. 11 වැනිදා සිදුවීමේදී වෙඩි වැදීමෙන් ඔහුගේ ඇස් පෙනීම මුළුමණින්ම නැතිව ගොස් තිබේ.

"අපි උදෙන්ම ගොයම් කපන්න ගියා. කිසිම අමුත්තක් උදේ වරුවේ තිබුණේ නැහැ. සවස් වෙන්න ඇළෙන් නා ගත්තා. 58 දිහාවෙන් වෙඩි ශබ්දයක් ඇහුණේ එතකොටයි. සද්දේ ඇහුණේ හැතැප්ම තුනක් විතර ඈතින්. හන්දිය පැත්තේ ඉඳලා හමුදාව දුවගෙන ගියා. අනතුරක ඉවක් දැණුන නිසා මම ඉක්මණට ගෙදර ආවා. ඒ වෙනකොට ගමේ අය බයවෙලා හිටියේ. මමයි, පවුලයි, පුතායි අල්ලපු ගෙදර ඉන්න අයයි ඔක්කොම එක ගෙදරකට වුණා. අපි දහ දෙනෙකුට වැඩිය හිටි බවයි මගේ විශ්වාසය," නාගරාසාගේ හඬෙහි කම්පනය තවමත් එපරිදි ය.

".....හමුදාව ගමට එන බව ආරංචි වුණේ එතකොටමයි. ඒ අය ඉක්මණින්ම ආවා. සිංහලෙන් කතා කරන කටහඬත්, වෙඩි සද්දෙත් ළඟින්ම ඇහුණා. 'කෝප්‍රල් ඉන්නවා, බලාගෙන ගහන්න' කියලා සිංහලෙන් කවුද කෑ ගැහුවා. මම අනෙක් අයට කීවා 'අපි ඉවරයි' කියලා. ඇත්තටම මම හිතුවේ එහෙමයි. එතකොටම එක දිගට වෙඩි සද්දයක් ආවා. මගේ නළලේ වම් පැත්තෙන් ඇතුළු වුණ උණ්ඩයක් දකුණු ඇහැට එහා පැත්තෙන් මතු වී තිබුණා"යි නාගරාසා කීය.

නිවස අසළින් හමුදා සෙබළුන්ගේ කටහඬවල් අඩු වී යන තුරු බලා සිටි නාගරාසාගේ අසල්වාසීහු ඔහු කිලිවෙඩ්ඩි මංසන්ධියේ කුඩා ඩිස්පැන්සරියට ගෙනයාමට තීරණය කළහ. නමුත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් නාගරාසාට නොතිබිණ.

"කොහොම හරි මාව ගෙදරින් එළියට වත්තම් කරගෙන එනවා මට මතකයි. ඒත් මිදුලෙන් පාරට බැහැලා වැඩිදුරක් යන්න ඉස්සරම ආයෙත් හමුදාව එන හඬ ඇසුණා. මාව ළඟ තිබුණ ගෙදරකට ඉක්මණට අරගෙන ගියා. ඒත් හැමෝම හිටියේ මරණ බයෙන්. ඒ ගෙදර අය කීවා ගෙදර දොරකඩ ගාවට ගිහින් මාව පාරට පේන්න තියාගෙන ඉන්න කියලා. තුවාලකාරයෙක් ඉන්නවා දැක්කාම හමුදාව වෙඩි නොතියාවි යැයි ඒ අය හිතුවා. මගේ පවුලයි, බෑනයි මාව වත්තම් කරගෙන දොර ගාවට වෙලා පාරට පේන්න හිටගත්තා. සිංහල කතා කරන ශබ්දය ළඟින්ම ඇහුණා. 'වෙඩි තියන්න එපා කියලා' මගේ පවුල කීවා. ඒත් එක්කම ළඟින්ම වෙඩි ශබ්දයක් ආවා. මගේ පවුල එකපාරටම ඇද වැටුණ බව මට තේරුණා."

ඉන් එහා කතා කරන්නට ඔහුට බලකරන්නට අපට හැකියාවක් නොවිණ. ත්‍රීකුණාමල රෝහලෙන් නුවරටත්, නුවරින් කොළඹ මහ රෝහලටත් මාරු වූ නාගරාසා මාසයකට පසු මුත්තූර්වලින් කිලිවෙඩ්ඩි කරා එන බසයේ නැගී ආපසු ගමට ආවේය.

ඒ සදාකාලික අන්ධයෙකු වශයෙනි.

ඉරදයරාණිගේ දරුවෝ

පාක්‍යරාසා පාර්වතී විසිපස් වියැති ය. එකළොස් වැනිදා වෙඩි තැබීමෙන් ඇගේ සිව් හැවිරිදි වසන්තනී දියණිය මරුමුවට පත්ව තිබිණ.

"....මම හිටියේ අල්ලපු ගෙදර. වෙඩි ශබ්දය ඇහෙනකොට මම දුවගෙන ගෙදරට ආවා. පුරුෂයා ගෙදර හිටියේ නැහැ. ඒත් මම දොර ජනෙල් තද කරලා වැහුවා. 'දොර ඇරපියව්' කිය කියා කෑ ගහමින් හමුදාවේ අය ගේ වටේටම වෙඩි තිබ්බා."

ඇගේ දියණියට වෙඩි වැදී ඇත්තේ ඒ අතරතුරදී ය.

තිස් පස් හැවිරිදි සුන්දරලිංගම් ඉරදයරාණිගේ 11 වියැති පිරිමි දරුවාත්, තුන් හැවිරිදි දියණියත් මියගොස් තිබිණ. කතා කරගත නොහෙන අපහසුවෙන් යුතු වුව ද ඇය තම මතකය හෙළි කළාය.

"....වෙඩි ශබ්දය ඇහෙනකොට පුරුෂයායි, දරුවෝ දෙන්නායි නංගිගේ ගෙදරට පිටත් කළා. ඒත් හමුදාව කෙළින්ම ආවේ ඒ ගෙදරටයි. මගේ මනුස්සයා දරුවෝ දෙන්නාවත් තුරුළු කරගෙන 'වෙඩි තියන්න එපා' කියලා කෑ ගැහුවා. ඒත් වෙඩි තිබ්බා. එක වෙඩිල්ලක් මගේ මනුස්සයාගේ පිටි අල්ල සිදුරු කරගෙන දුවගේ පපුවට වැදිලා තිබුණා. දරුවෝ දෙන්නාම මරලා නංගිවත් එතැනම වෙඩි තියලා දැම්මා," ඉරදයරාණි ඉකි ගසන්නට පටන් ගත්තාය.

සෑම කෙනෙක්ම කීවේ එවැනි කතාවකි. සුබ්‍රමනියම් ගුණම්ගේ මව මරා දමා තිබිණ. හැට පස් හැවිරිදි තුරෛ අම්මාගේ දියණියන් දෙදෙනාටම වෙඩි තබා තිබුණි. මෙලෙසින්ම විසි පස් දෙනෙක් මරණයට පත් විය.

හැට පස් වියැති අරුණාසලම් තංගවේල් මිය ගියේ රෝහලේදී ය. මියගියවුන් අතර අවුරුදු 14ට අඩු ළමුන් 10 දෙනෙක්ද, අවුරුදු 60ට වැඩි දෙදෙනෙක් ද වූහ.

දස හැවිරිදි පලනිවේල් යෝගරාණි වෙඩි වැදීමෙන් දිවි ගළවා ගත්තේ අහම්බයකිනි.

"සිද්ධ වුණු දේ කියන්න පුළුවන්ද?"

'බැහැ'යි හඟවනු වස් ඇය හිස වැනුවා ය.

"සිද්ධ වුණු දේ මතකද?"

'නැහැ'යි හඟවනු වස් ඇය හිස වැනුවා ය.

අපි ආපසු ආවෙමු.

මුත්තූර් ජැටියෙන් ත්‍රීමලේ බලා එන අවසාන යාත්‍රාව පිටත් වූයේ සවස පහට ළං වීය. සුළඟින් දුහුවිලි නැඟෙන මුත්තූර් ජැටිය ඈත් වී යනු සරත් අයියා බලා හිඳියි. ආපසු ගමනට මගීන් හත් අට දෙනකුවත් යාත්‍රාවේ නැති තරම් ය.

නැගෙනහිර මුහුෙද් වානේමය දියකඳ මත අන්ධකාරය වැතිරේ. ප්‍රීමා ජැටිය අවට ගොම්මන් ආලෝකය පැතිර යයි.

හිසට ඉහළින් ලිහිණියෝ පියාඹති.

බෝට්ටුවේ ආරක්ෂිත වැටට වාරු වී හිඳගත් මුස්ලිම් වැසියෙකු කිරා වැටේ.

ගලා යන අන්ධකාරය තුළ කුමාරපුරම් වැසියන් ගහකොළක නිල්ලක් නොපෙනෙන සේ දැවීගිය, දහවල දුහුවිලි කැකෑරුණ පාලු කිලිවෙඩ්ඩි මායිමේ තවත් රාත්‍රියකට සැරසෙනවා විය යුතු ය. සිදු වූ කිසි දෙයක් මතක නැතැයි හඟවන්නට හිස වැනූ කුඩා දැරිය - යෝගරාණි - සැබැවින්ම අමතක නොවූ සිය මතකයෙන් බියපත්ව රෑ මැද තිගැස්සී අවදි නොවනු ඇතැයි අප කෙසේ විශ්වාස කරන්නද?

ත්‍රීමලේ ජැටියේ ආලෝකය ඈතින් පෙනෙන්නට පටන් ගනියි.

නමුත් ආ මඟ අන්ධකාරයෙන් වැසී ගොස් ය.

1996 මාර්තු / ‘හිරු’

© JDS