මැතිවරණ සාද මැද ශ්‍රී ලංකාවේ වධක බිම් සිතියම්ගත කිරීම

මැතිවරණ උණුසුම සකල උෂ්ණත්ව මාපක පුපුරුවාගෙන ඉහළ නගිමින් තිබේ. සමස්ත භූ සිතියම එක හා සමානව උණුසුම් වී ඇති සෙයක් පෙනුනත්, සාවධාන නිරීක්ෂකයකුට ඒ සිතියමේ සිව්කොන ම අළලවා ඇත්තේ එක ම තාපකාරක බලවේගයන් නොවන බව වැටහෙනු ඇත. දෙමළ බහුතරය වෙසෙන උතුර හා නැගෙනහිර කලාප අතහැර දමා සිටින දකුණ, සිය වපසරිය පමණක් කලඹාලමින් රටේ සමස්ත බලයෙහි යතුර දෙමළාගේ කලාපයට මෙපිටින් සොයාගන්නට කුලල් කා ගන්නා අතර, දෙමළ කතාකරන ජනයා බහුතරය කොටගත් පෙදෙස්, ඒ සමස්ත බලයේ තමන්ගේ කේවෙල් කිරීමේ ශක්තියේ වැඩි කොටස උදෙසා උරුට්ටු අල්ලති. ඉන්දු සාගර දූපතේ ඡන්ද සට‍න මේ බෙදුම් රේඛාවෙන් දෙකඩ වන බැවින්, එහි උණුසුම්කාරකයෝ ද ඒ ඒ භූ වපසරියට වෙන-වෙනස් වෙති.

වැඩි වශයෙන් සිංහලෙන් තොරතුරු බෙදාහදාගන්නා දකුණ ගිනියම් කරන්නේ හැමදාමත් පරිදි ඊට ම ආවෙනික උත්ප්‍රේරකයන් ය. වසීම් තාජුඩීන් ගේ පොළොවට පස්වෙමින් තිබූ සිරුර තෙ වසරකට පසු 'රහස් පොදියක්' සමඟින් ගොඩගැනී ඇත. ඒ පිළිබද උණු කැවුම් සේ විකිණෙන පුවත් මාධ්‍යවල සේම අන්තර්ජාල සමාජ අඩවිවල ද අලෙවියට දිනපතා පේ වෙයි.  වසර පහමාරකට පසු ඇහැරුණු පොලිස් බල්ලෝ ප්‍රගීත් අවසන් වරට ගිය 'සුදුවෑන් මඟ' ඉවකරමින් යති. ජනමාධ්‍ය මෙන් ම අන්තර්ජාල සමාජ අඩවි ද උණුසුම් පුවත් සොයා ඒ පසුපස ද පොරකමින් යති. ඒ යන අතර උනු'න්මත් එකිනෙකාකා කොටාගනිති.

වර්ගවාදී කඳවුරේ ජ්‍යොතිෂවේදීන් අත උතුරේ කොටි යළි ඉපදෙති. ෆෙඩරල් පිඹුරුපත් මතුවේ. රට දෙකඩ වේ.

යහපාලකයෝ මුළු වැර යොදා කොටි පුනරාගමනය බොරු කරති. ෆෙඩරල් පිඹුරුපත් හොර ලියැවිලි කරති. ඒකීය රාජ්‍යය ම ශපත කරති. ඒ රාජ්‍යයේ දෙමළාට කිසිත් හිමි නැතිබව සිංහලයා අබිමුව මුරගා පවසති.

එහෙත් මේ සියලු ඉන්ද්‍රජාලයන් මැද කාගේවත් වැඩි අවධානයකට පාත්‍ර නොවූ, එහෙත් ඕනෑ ම මානව සමාජයක් කම්පාවට පත්කිරීමෙහි සමත් වියයුතු බිහිසුණු තොරතුරු ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් එළිදක්වනු ලැබ තිබේ. එහි සංගෘහිත වන්නේ මේ භූමියේ ම එක් පදාසයක ජන කොට්ඨාශයක් මේ මොහොතේත් අත්විදිමින් ඉන්නා අතිශය භීෂණකාරී ඛේදවාචකයක් පිළිබඳ තැතිගන්වන සුළු තොරතුරු ය.

වධ කඳවුරු 40ක්, වධකයන් 60ක්

සුදුවෑන්වලින් පැහැරගත්තවුන් ඇතුළු රැඳවියන්ට දරුණු වදහිංසා පමුණුවන හා ලිංගික දූෂණයන් සිදුකරන රට පුරා පවත්වාගෙන යන වධ කදවුරු 40කට අධික සංඛාවක් පිළිබදව තොරතුරු හෙළිදරව් කරන උක්ත වාර්තාව එබඳු වධහිංසාවන් පමුණුවන හා ලිංගික දූෂණයන්හි නිරතවන වධකයන් 60කට අධික සංඛාවක ගේ නම් ගම් ඡායාරූප ඇතුළු තොරතුරු තමන් හෙළිදරව් කරගෙන තිබෙන බව කියා සිටී.

ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project - ITJP) විසින් සම්පාදනය කර ඇති මෙම අලුත් ම වාර්තාව ''තවමත් නො නිමි යුද්ධය: ශ්‍රී ලංකාවේ වධහිංසාවලින් හා ලිංගික හිංසනයන්ගෙන් දිවිගලවාගත්තවුන් 2009 - 2015'' නමින් එළිදක්වා තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ඇනැවුම පරිදි මර්සුකී දරුස්මාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ වාර්තාව සකස්කළ විශේෂඥ මණ්ඩලයේ සාමාජිකාවක වූ යස්මින් සූකා මෙම ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනයේ ප්‍රධානත්වය දරයි.

සුදුවෑන් පැහැරගැනීම් 100ක්

මෙම වාර්තාව සඳහා ඔවුන් පාදක කරගෙන ඇත්තේ යුද්ධය අවසන් වීමෙන් පසු ලිංගික දූෂණ, ලිංගික ප්‍රචණ්ඩත්වයන් ඇතුළු විවිධ කුරිරු වධ හිංසාවන්ට ලක්වූවන් මෙන් ම, එම වදහිංසාවලට සම්බන්ධ වූ සන්නද්ධ අංශ සාමාජිකයන් හා රජයේ නිලධාරීන් විසින් සපයන ලද තොරතුරු බව ITJP කියා සිටී. ඔවුන් විසින් සිදුවීම් 180ක් පිළිබඳ තොරතුරු සපයා ඇත. ඒ අතරින් මෙම වදහිංසාවලින්  දිවි ගලවාගත්තවුන් හා සාක්කිකරුවන් 115කගේ ප්‍රකාශ ITJP විසින් ඍජු ව වාර්තා කොට ඇති අතර, ඔවුන්ගෙන් 100ක් 'සුදු වෑන්' පැහැරගෙන යාම්වලින් දිවි ගලවාගත්තෝ වෙති. මෙම සාක්කි රටවල් 5ක දී සටහන් කරගෙන ඇත. ඉතිරි සාක්කිකරුවන් 65 දෙනා වෛද්‍ය නෛතික වාර්තා හෝ සවිස්තරාත්මක සාක්‍ෂි ප්‍රකාශ සපයා තිබේ. සාක්කි සටහන් අධිකරණ වෛද්‍ය විශේෂඥයන් විසින් සනාථ කර තිබෙන අතර, සියලු වාර්තාකරණයන් යුද්ධය අවසාන වීමෙන් පසුව සිදුවී ඇත.

එහෙත් සිය වාර්තාව කිසිසේත් ම මෙවැනි අපරාධකාරී සිදුවීම් පිළිබඳ අංග සම්පූර්ණ ලයිස්තුවක් නොවන බව ITJP කියා සිටී.

හඳුනාගෙන ඇති වධ කඳවුරුවලින් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ උතුරුකරයෙහි ය. එම කඳවුරුවලින් තුනෙන් දෙක් හමුදාවට අයත් ස්ථාන වන අතර, ඉතිරිය පොලිස් ස්ථාන හා ආණ්ඩුව විසින් 'පුනරුත්ථාපන කඳවුරු' ලෙස නම්කළ ස්ථාන වේ. වධහිංසා පැමිණවීමේ මධ්‍යස්ථාන ලෙස හඳුනාගෙන ඇති පොලිස් ස්ථානවලින් අඩක් ම පිහිටා ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ය.

ත්‍රිකුණාමලයේ රහසිගත වධ කඳවුර

වාර්තාව විසින් ලැයිස්තු ගතකර ඇති 'වධ හිංසා පැමිණවීමේ ස්ථාන' 48ට ත්‍රිකුණාමලය නාවික හමුදා නැව් තටාකාංගන සංකීර්ණයට අයත්, වනාන්තරයෙන් ආවරණය වූ උස් බිමක පිහිටා ඇති හඳුනා නොගත් වධ කඳවුරක්, වව්නියාවේ ආරක්ෂක හමුදා ඒකාබද්ධ මෙහෙයුම් ස්ථානය (JOSEF Camp) හා කොළඹ නගරයේ පිහිටි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව (CID) ද ඇතුළත් ය. ත්‍රිකුණාමලයේ රහසිගත වධ කඳවුර පිහිටි ස්ථානය හඳුනාගැනීමට උපකාරී වන ගුවන් සිතියමක් ද වාර්තාවෙහි එයි.

ජෝසෆ් කඳවුරේ සිට ක්‍රියාත්මක වන බුද්ධි අංශ නිලධාරීන් 2015 දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තනතුරට තේරී පත් වූ තැන් පටන් "ප්‍රශ්න කිරීම සඳහා පිරටර සිට මව්බිමට පැමිණෙන ඕනෑ ම දෙමළ ජාතිකයකු සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සොයාබලමින් සිටින බව" ආරක්ෂක අංශ අභ්‍යන්තර තොරතුරු සපයන්නෙක් විසින් ITJP පර්යේෂකයන්ට ප්‍රකාශ කර තිබේ.

මේජර් ජනරාල් අමල් කරුණාසේකර ජෝසෆ් කඳවුරේ වත්මන් අණදෙන නිලධාරියා වන අතර, ඔහුට පෙර මේජර් ජනරාල්වරුන් වන බොනිෆස් පෙරේරා, සුමේධ පෙරේරා, කමල් ගුණරත්න හා ජගත් ජයසූරිය 2009 සිට මෙහි ආඥාපතිවරුන් ලෙස කටයුතු කර ඇත. වත්මන් යුද හමුදා ප්‍රධානී ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා 'යටත් වූ හා අල්ලාගත් එල්ටීටීඊ කාඩර්වරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ' ප්‍රධානියා ලෙස කටයුතු කළ බව ආරක්ෂක අංශ අභ්‍යන්තර තොරතුරු සපයන්නන් විසින් පවසනු ලැබ තිබේ.

2010 දක්වා ත්‍රිකුණාමලය රහසිගත කඳවුරේ නාවික බුද්ධි අංශ ප්‍රධානී ලෙස ලුතිනන් කමාන්ඩර් කේ සී වෙලගෙදර කටයුතු කළ බව සාක්ෂිකරුවන් විසින් හඳුනාගනු ලැබ ඇත. දිවි ගලවාගත්තවුන් පවසන අන්දමට එතැන් පටන් ලුතිනන් කමාන්ඩර් රණසිංහ අදාළ ස්ථානයේ මෙහෙයුම් භාරගෙන සිටි බව ITJP කියා සිටියි.

වධකයන් නම් කිරීම

සාක්කිකරුවන් ගේ ආරක්ෂාවට අදාළ හේතු නිසා තමන් වාර්තා කරගත් සියලු අපරාධකරුවන්ගේ නම් මේ මොහොතේ අනාවරණය නොකරන බව ITJP පවසයි. කෙසේ වෙතත්, "සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ ඵලදායී විධිවිධාන සහිත නීත්‍යානුකූල යුක්තිය පසිඳලීමේ වැඩපිළිවෙළක් අරැඹිය යුතුයි. සාක්කිකරුවන් සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂිත බවට සහතිකයක් ලැබුණු වහාම අපි ඒ සියලු නම් හෙළිදරව් කරනවා." ITJP ප්‍රකාශිකා ෆ්‍රාන්සස් හැරිසන් JDS වෙත කියාසිටියා ය.

"යුද්ධයේ අවසන් දිනවල දී හමුදා සෙබළුන්, හමුදාවට භාර වූ එල්ටීටීඊ සැකකරුවන් ඝාතනය කරන විට හා ලිංගිකව ඔවුන් අපහරණය කරන විට සේම, ඔවුන්ගේ මළසිරුරුවල ලිංගික අවයව ඡේදනය කරන විට ඒවා සිදු වූ ඉදිරි ආරක්ෂක වළල්ලේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ තවත් මේජර් ජනරාල්වරුන් දෙ දෙනෙක් රැඳී සිටි බව" ආරක්ෂක අංශ අභ්‍යන්තර තොරතුරු සැපයූවන් විසින් පැහැදිළිව හඳුනාගනු ලැබ ඇත. "සුදුකොඩි රැගෙන පැමිණ භාර වූ සහ අනතුරුව හමුදා අත්අඩංගුවේ දී ඝාතනයට ලක් වූ" දෙමළ කොටි සංවිධානයේ නායකයන් භාරගැනීමේ යෙදුණු ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන්නන් ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය නම්කර තිබේ.

වාර්තාව වධහිංසා සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට අදාළ සිදුවීම් 180ක් මත පදනම් ව ඇතැයි ITJP පවසයි. මෙම ප්‍රචණ්ඩත්වයන් "දැඩි පහරදීම්, රඳවා තබාගැනීම්, සමූහ දූෂණ, අතුරුදහන්කිරීම් හා මරාදැමීම් දක්වා වූ වපසරියක පැතිරෙන බව" පවසන ඔවුහු සුදු වෑන් පැහැරගැනීම්වලින් දිවි ගලවාගත් 100 දෙනකුගේ ප්‍රකාශ තමන් වාර්තා කොට ඇති බව ද පවසති. පිටුවහලේ වෙසෙමින් ITJP වෙත ප්‍රකාශ ලබාදී ඇති පැහැරගැනීමට හා වධහිංසාවලට ගොදුරු වූවන් බොහෝ දෙනෙක්, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ජීවත් වන සිය පවුල්වලට එරෙහි නිරන්තර පළිගැනීම් සිදුවන බවත්, ඇතැමුන්ට මේ හේතුව නිසා ලංකාවේ වෙසෙන සිය පවුල්වල සාමාජිකයන් හා සබඳතා පැවැත්වීමට හෝ නොහැකි වී ඇති බවත් පවසා තිබේ. නිරන්තරයෙන් සිදුවන මෙවැනි පළිගැනීම් හා අඩන්තේට්ටම් නිසා ඇතැම් දිවිගලවාගෙන රටින් පිටවූවන්ගේ පවුලේ සාමාජිකයෝ සිය වාසස්ථාන අත්හැර සැඟවී ජීවත් වෙති.

2015 සුදුවෑන් පැහැරගැනීම්

"ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල කොටස් විසින් රාජ්‍යයේ සංවිධානාත්මක අපරාධ අතරට ශක්තිමත් වධ හිංසන කර්මාන්තයක් ද එක් කිරීමට ගෙනයන අඛණ්ඩ ක්‍රියාවලියට බලපෑමක් එල්ල කිරීමට රටේ දේශපාලන නායකත්වයේ වෙනස්වීම හේතු වී නැති බවක් පෙනෙන්නේය"යි වාර්තාව කියා සිටී.

මෙම වධහිංසා, ලිංගික දූෂණ හා ලිංගික අඩන්තේට්ටම් සිදුවීම් අතරින් අටක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පදවියට පත් වූ 2015 ජනවාරි 08 වැනිදායින් පසුව වාර්තා වී ඇති අතර, සිදුවීම් 14ක් වාර්තා වී ඇත්තේ 2014 වසරේදී ය. මීට ඇතුළත් ආසන්නතම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී ය.

"මෙම වාර්තාව ඛේදජනක ලෙස විදහා දක්වන පරිදි, මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රමාණුකූල හා පුළුල් ලෙස පැතිරුණු අපරාධ ආණ්ඩු වෙනසත් සමඟින් අවසන් වී නැත. පසුගිය පාලන තන්ත්‍රය විසින් තහවුරු කරන ලද මර්දන ව්‍යූහයන් අවසන් කිරීමට නව දේශපාලන සභාගය කිසිදු උත්සාහයක් දරා නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් සන්නද්ධ හමුදා විසින් සිදුකරන රාජ්‍ය සංවිධිත පැහැරගැනීම්, වධ බන්ධන පැමිණවීම් හා ලිංගික ප්‍රචණ්ඩත්වයන් පසුගිය ජූලි මාසය තරම් මෑතක් දක්වා දිගින් දිගට ම සිදුවී ඇත." වාර්තාව කියා සිටී.

"සුදුවෑන් සංස්කෘතිය අතීතයට අයත් දෙයක්" - අගමැති

වාර්තාව මේ තිගස්වන සුළු තොරතුරු අනාවරණය කරන්නේ පසුගිය ජනවාරි අට වැනිදායින් පසු බලයට පත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව තමන් සුදුවෑන් සංස්කෘතිය අවසන් කළ බව පුනපුනා කියමින් සිටින අතරතුර ය. "අද සුදුවෑන් එන්නේ නෑ. ඒ නිසා බොහෝ දෙනෙකුට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න හැකිවීම ගැන අපි සතුටු වෙනවා" සුදු වෑන් සංස්කෘතිය අතීතයට අයත් දෙයක් ලෙස හඳුන්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය ජූනි තුන් වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අපි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටලුවේ කේන්ද්‍රය අත්හැර, එය මගහැර රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගොඩනගන්නට උත්සාහ කළ පුදුමාකාර දේශපාලනික සත්ත්වයෝ පිරිසක් වෙමු. එතැනින් නොනැවතී අපි ඒ භයානක අතපසුකිරීම තවදුරටත් එසේ ම කරමින් අප ගත් වැරදි මාවතේ දිගට ම ගමන් කරමින් සිටිමු.

ඒ අතර අපේ සංවේදනාවන්ට එපිටින් සුදු වෑන් තවමත් එයි. යයි. දිවයින පුරා 40කට අධික වධ කඳවුරුවල මේ මොහොතේත් මිනිස්සු මනුෂ්‍යත්වයට නිගාදෙන වද බන්ධනයන්ට හා ලිංගික දූෂණයන්ට ගොදුරු කැරෙමින් සිටිති. තවදුරටත් දේශපාලන සිරකරුවන් කියා කොටසක් නැතැයි ද, රහසිගත වධ කඳවුරු යනු හිතලු පමණකැයි ද යහපාලකයෝ කියති. ඒ සියලු ඇස්බැන්දුම්වලට යටින්, අපේම මනුෂ්‍ය සමාජයේ අප දැන් එතරම් කතාකරන්නට කැමැති නැති, අපේ යහපාලන විනෝදය විනාස කරන්නන් සේ අපට පෙනෙන දෙමළා, රාජ්‍යය විසින් සංවිධානය කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලින් අමානුෂික ලෙස පීඩා විදිති. ඒ පිළිබද හෙළිදරව් වී තිබියදීත් අපි තවදුරටත් ඒවාට ඇස් කන් වසාගෙන සිටිමු. ඉන්දු සාගර දූපතේ අදිසි අභ්‍යන්තර බෙදුම් රේඛාව යළිත් දෘෂ්‍යමානයේ ම සලකුණු කරමින් තාජුඩීන් ගේ ගොඩගත් මිනිය පසුපස යන, ප්‍රගීත් කුදලාගත් සුදුවෑන් ඉවපාරේ යන කිසිවකුත්, අර තැතිගන්වන සුළු කරුණු ඇතුළත් වාර්තාව දෙස නොබලති. ජනමාධ්‍යයට ඒවා පුවත් වී නැති සැටියකි. සමාජ ජාලාවල උනන්දු දේශපාලන උද්ඝෝෂකයෝ එවැන්නක් ගැන කිසිත් නොදනිති.

ඒ බිහිසුණු ඉරණමෙහි හෙළිව ඇති තතු කොතෙක් සාහසික වුව එහි බලපෑමට යටත් ජනයා අපට ඓන්ද්‍රීය සම්බන්ධයක් නැති, අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ, යහපාලනයේ, ඒකීය රාජ්‍යයේ, 'දිනූ මව්බිමේ' ඓන්ද්‍රීය කොටස්කරුවන් නො වන පිරිසක් බැවිනි. එහෙයින් එය දකුණේ ඡන්ද උණුසුමෙන් ඇළලී ගිය සමාජයේ හෘදය සාක්ෂියට පීඩා දෙන්නේ නැත. තාජුඩීන් හෝ ප්‍රගීත් තරම්, නැතිනම් ලසන්ත ඝාතනය හෝ රතුපස්වල තරම් උත්තේජන සපයන්නේ නැත.

එහෙත් එය අපේ රටේ වත්මන් මානව ඛේදවාචකයේ බිහිසුණු ම පැතිකඩ නිරූපනය කරන්නකි. ඡන්දය අභිමුව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කතිකාවක යෙදෙන්නකුට, රටේ  ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරලන ප්‍රධානම මානව අපරාධ ගොන්න ආමන්ත්‍රණය කරන මේ බිහිසුණු තොරතුරු නොසලකා සිය කාර්යයේ නියැලිය හැක්කේ කෙසේද?

සනත් බාලසූරිය


© JDS