වැලිවේරියේ හමුදා වෙඩිබිම: 'ෆයර් - ෆයර් කියලා අණ දුන්නේ බ්‍රිගේඩියර් ගුණවර්ධන'

මෙයින් දෙවසරකට පෙර, 2013 අගෝස්තු මස පළමුවන දා රතුපස්වල උද්ඝෝෂණයට යුධ හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කොට තිදෙනෙකු මරා දැමීමෙන් පසුව පැවති උද්ඝෝෂණයට සහභාගිවූ ප්‍රදේශවාසියෙකු විසින් කෝපය සහ වේදනාව දරාගත නොහැකිව මහමග වැතිරී වෙඩි තැබූ හමුදාවට දෙස් දෙමින් කෑ ගැසීය.

“හමුදාව උතුරු නැගෙනහිර  යුද්ධ කරන කොට මේ ගම්වල අපි  හමුදාවට සෙත් පතලා දිවා රෑ නැතිව බෝධි පුජා තිබ්බා. ලේ දන්දුන්නා. එහෙම කළේ අපිට හමුදාව ගැන කැක්කුමක්, ආදරයක් තිබුණ නිසායි. ඒත් අන්තිමට යුද්ධ කාළේ අපේ වීරයෝ වුණ හමුදාව අන්තිමට ඒ තුවක්කු අපේ ඔළුගෙඩිවලටම හරවලා වෙඩි තියලා දැම්මා. යුද්දේ දිනන්න හමුදාවට ආශිර්වාද කරලා බෝධි පුජා තියපු අපිට මෙහෙම ගැහුවා නම් යුද්දේ වෙලාවේ  දෙමළ මිනිසුන්ට  කොහොම ගහන්න ඇතිද?" ඔහු කෝපයෙන් කී බව ඇතැම් සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් විසින් වාර්තා කරන ලදී.

එහෙත් රාජ්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් නිරායුධ මිනිසුන්ගේ හිස් ගෙඩි මතට  ගිනි අවි එල්ල කරන්නට සැදී පැහැදී සිටින හමුදාවකට තමන්ගේ ගිනි අවියට ඉලක්ක වන්නේ සිංහල එකෙකුද, දෙමළ එකෙකු දැයි යන්න ගැන ප්‍රශ්නයක් වෙතැයි සිතීම මුලාවකි.  කලකට පෙර තමන් වීරත්වයෙන් සහ දේවත්වයෙන් ඇදහූ පිරිසකගේ උණ්ඩ වර්ෂාවන්ට ගොදුරුවන්නට රතුපස්වල මිනිසුන්ට සිදුවන්නේ ඒ මුලාවේ වැටීම නිසා ය. උද්ඝෝෂකයන් විසිරුවා හැරීමට පැමිණි හමුදා භට කණ්ඩායමට අණදුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ස්වකීය අවසන් නියෝගය නිවේදනය කරමින් කියා සිටියේ විනාඩි දහයක් ඇතුළත සියල්ලන්ම විසිර යා යුතු බවයි. උද්ඝෝෂකයන් වාඩිලා සිටි රතුපස්වල - බැලුම්මහර මාර්ගය මුදා ගැනීම තම රාජකාරිය බවත්, එය හොඳින් හෝ නරකින් කිරීමට තමන්ට අවශ්‍ය තරමටත් වඩා බලය ලැබී ඇති බවත් අවධාරණය කළ ඔහු උස් හඬින් කියා සිටියේ 'කොටින්ව විනාශ කිරිමට යුද්ධ කළ තමන් වැන්නවුන්ට රතුපස්වල  මිනිසුන් තරම් නොවන බව'යි. උතුරේ යුද්ධය ජය ගැනීමට බෝධි පුජා පැවැත්වීම ගැන උද්ඝෝෂණයට පැමිණ‍ සිටියවුන්ට ස්තුති කළ  බ්‍රිගේඩියර් දේශප්‍රිය අනතුරුව තම සෙබළුනට උද්ඝෝෂකයන් පළවා හරින ලෙස අණ කර සිටියේය.

මුල්ලිවෛක්කාල් ආදර්ශයට ගැනීම

මේ කතාව ඇරඹෙන්නේ එතැන් සිට ය. මුහුණු වසාගත් කැරළි මර්ධන කණ්ඩායම්වල බැටන් පොලු ප්‍රහාර අතරමැද හිටි අඩියේ නික්මුණු මූනිස්සම් බොහෝ දෙනෙකුගේ සිරුරු විනිවිද කිඳා බැස්සේ සිදුවූයේ කුමක්දැයි සිතා ගන්නට හෝ ඉඩක් නොතබමිනි. බැටන් පොලු ප්‍රහාරය එල්ල කෙරෙන මෙහොතේම බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන,  'ෆයර් - ෆයර්' යනුවෙන් කෑ ගසමින් සන්නද්ධ සෙබළුන් උද්ඝෝෂකයන් දෙසට මෙහෙය වූ බව JDS සමග කියා සිටියේ එම උද්ඝෝෂණයේදි වෙඩි  ප්‍රහාරයකට ලක්ව අබාධිත තත්ත්වයට පත්ව සිටින ජූඩ් පෙරේරා ය. ඒ අවස්ථාවේදි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන, වියරුවෙන් මෙන් හැසිරෙමින් උද්ඝෝෂකයන්ට පහර දෙන්නටත්, 'කොටි මරපු අපිට තොපි මොක්කුදැ'යි අසමින් වෙඩි තබන්නටත් පටන් ගත් බව ඔහු පවසයි.

"අපි ඔක්කෝම ඒ වෙලාවේ හිටියේ වැලිවේරිය පොලිසිය ළඟ. අපිට ආරංචි වුණා හමුදාවෙන් බැලුම්මහරේ රැස්වෙලා හිටපු අයට ගහලා එළවනවා කියලා.ටික වෙලාවකින් හමුදා කණ්ඩායම් කිහිපයක් එක්ක බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අපේ ළඟට ඇවිත් කිව්වා 'උඹලට මම විනාඩි දහයක් දෙන්නම් වහාම මෙතනින් පිටවෙලා පලයල්ලා' කියලා. ඒ වෙලාවේ අපිට තේරුණා මොකක් හරි බරපතල දෙයක් වෙන්න යන්නේ කියලා. නමුත් අපි හිතුවේ නැහැ මේ විදිහට වෙඩි තියලා මිනිස්සුන්ව මරලා දායි කියලා. බ්‍රිගේඩියර් දේශප්‍රිය අපිට තර්ජනය කළේ "යකෝ ප්‍රභාකරන්ව මරපු අපිට තොපිත් කජ්ජක්ද" කියලායි. එහෙම කියලා එක පාරටම පාරේ හිටපු තරුණ ළමයෙක් ළඟට ගිහින් නොනවත්වාම ගැහුවා. ඒත් එක්කම එයාගේ වටේ හිටපු හමුදාවේ කළු ඇඳ ගත්ත අය දිග පොලුවලින් ගහන්න පටන් ගත්තා. වයසක අයට,ගැහැණු අයට විතරක් නෙමෙයි පුංචි දරුවෝ වඩාගෙන හිටපු අයටත්, ගැබ්බර අයටත් ඒ විදියට පහර දුන්නා. පොලු පාර කාගෙන මිනිස්සු ඇදගෙන වැටුනේ ලේ පෙරාගෙන. ඒත් එක්කම තමයි 'ෆයර් ,ෆයර්' කියලා බ්‍රිගේඩියර් දේශප්‍රිය කෑ ගැහුවේ. හමුදාව දිගට හරහට අපිට වෙඩි තියන්න පටන් ගත්තේ ඊට පස්සෙයි. වෙඩි වැදිලා බිම වැටිලා හිටිය අයව පැත්තකට ගන්නවත් හමුදාව අපිට ඉඩ දුන්නේ නැහැ. වෙඩි තියලා ඉවර වෙලා තමයි කදුළු ගෑස් ගැහුවේ".

පොලු පහරවල්, වෙඩි උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර අතරින් පණ බේරාගෙන දිවයන සියල්ලන් පසුපස ලුහුබඳිමින් ඔවුන්ව මරා දමන්නට හමුදා සෙබළුන් උත්සුක වන්නේ ඒ වන විටත් ප්‍රහාරය වළකන්නට කිසිදු මැදිහත්වීමක් නොකරන පොලිස් බල ඇණියක් ඉදිරියේය. ප්‍රදේශයෙන් පිටවන සියළු මාර්ග හමුදා සන්නද්ධ රථවලින් අහුරා දමමින් නිවෙස්වල, පල්ලි පන්සල්වල රැඳී සිටි මිනිසුන්ට පවා ඉවක් බවක් නොමැතිව වෙඩි තැබු බව ජූඩ් පෙරේරා කියා සිටියි.

“වෙඩි තියද්දි අපිට කොහේටවත් බේරිලා පැනලා යන්න බැරිවුණා. ගොඩක් දෙනෙකුට වෙඩි වැදුණේ උද්ඝෝෂණය වෙලාවෙදි නෙවෙයි, බේරෙන්න දුවද්දියි. ගෙවල් ඇතුලේ හිටිය මිනිස්සුන්ව එළියට ඇදලා අරගෙන ගැහුවා.වැලිවේරිය ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ යාඥා කරමින් හිටිය මිනිසුන්ට වෙඩි තිබ්බේ පල්ලිය ඇතුළටම ගිහින්. පල්ලිය ඇතුළෙදි එකම පවුලේ අම්මටයි, තාත්තටයි, පුතාටයි එකවර පහර දුන්නා. ඒ අය හිටියේ යාඥා කර කර. ඒ තාත්තා  අද ආබාධිත තත්ත්වයට පත්වෙලා ඉන්නේ."

ජූඩ් පෙරේරා කියා සිටින්නේ එවැනි පවුල් ගණනාවක් ඇති බවයි. 

"මටත් වෙඩි වැදුනේ බේරෙන්න දුවද්දියි" ඔහු කියයි.

විසි පස් වියැති නිලන්ත පුෂ්පකුමාර නැමති එක් දරු පියෙකු වෙඩි වැදීමෙන් මරණයට පත්වන්නේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරට එල්ල කරනු ලබන ප්‍රහාරය හේතුවෙනි. එසේම උද්ඝෝෂණයට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැතිව සිටි අඛිල දිනේෂ් සහ රවිෂාන් පෙරේරා නැමති පාසැල් සිසුන් දෙදෙනා මිය යන්නේද හමුදා වෙඩි පහරට ගොදුරු වීමෙනි.

රාත්‍රිය එළැ‍‍‍ඹෙන තෙක් පැවති වෙඩි  හඬ පහව යන විට පාසැල් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුගේ ජීවිත බිලිගෙන තිබිණ. හතළිස් දෙනෙකුට ආසන්න පිරිසකට බරපතල තුවාල සිදුව තිබුණේ ඊට අමතර වශයෙනි. ඒ අතරින් සමහර දෙනෙක් ආබාධිත තත්ත්වයට පත්ව සිටියහ. ප්‍රහාරයෙන් පසුව රතුපස්වල සහ වැලිවේරිය ඇතුළු සියළු ප්‍රදේශ හමුදා පාලනය යටතට පත් කරන ලද අතර කිසිවකුටත් අදාළ ප්‍රදේශයන් වෙතින් පිටවීමට අවසර නොලැබිණ. හමුදා ප්‍රහාරයේදි  තුවාල ලැබු  අය කියා සිටින්නේ ප්‍රහාරයෙන් පසුව හමුදාව විසින් සියළු ගම්මාන වට කොට කිසිවකුට ඒවායින් පිටවීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් බරපතල තුවාල ලැබුවන් බොහෝ දෙනෙකුට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නොහැකි වූ බවයි.

“ගොඩාක් දෙනෙකුට ඉස්පිරිතාලෙට යන්න බැරි වුණා. හමුදාව හැම පැත්තක්ම වට කරගෙන හිටියේ. යුධ ටැංකි පවා අරන් ඇවිත් තිබුණා. බරපතල තුවාල ලැබු අය පවා ඉස්පිරිතාලෙට යන්නේ නැතිව ගොඩ වෙදකම්, අත් බෙහෙත් කරගත්තා. එහෙම කෙරුවේ පාරේ යන කොට හමුදාවෙන් අල්ලලා වෙඩි තියයි කියලා බයට. සමහර අය කැලෑ පාරවල්වලින්  තමයි ඉස්පිරිතාලෙට ගියේ," ඔවුහු කියති.

'දේශපාලන කුමන්ත්‍රණයක්'

බීමට පිරිසිදු දිය පොදක් ඉල්ලා වීදි බට සිය දහස් ගණනක් වු මිනිසුන්ට එල්ල කළ අමානුෂික හමුදා ප්‍රහාරයට පැකිළීමකින් තොරව සුජාතභාවයක් ලබා දෙමින් වගකිව යුත්තන් උත්සාහ ගන්නා ලද්දේ, ප්‍රහාරය යුක්ති සහගත කිරිමට ය. එසේම එය 'දේශපාලන බංකොලොත්භාවයට පත් වූ නොහික්මුණු කිහිප දෙනෙකුගේ උවමනාවන් මත රජය සහ ආරක්‍ෂක හමුදාවන් අපහසුතාවයට පත්කිරිමේ අරමුණින්' සිදුකෙරුණු ක්‍රියාවක් ලෙස ද ඇතැම්හු හැඳින්වූහ. ප්‍රහාරය පිළිබඳව රජයේ නිල මතය ප්‍රකාශයට පත්කරමින්  ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදි මාධ්‍ය හමුවක් පැවැත්වූ එවකට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා වූ ඩලස් අලහප්පෙරුමගේ ප්‍රකාශය 2013 මාර්තු 8 වැනි දින ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත වාර්තා කර තිබුණි. එහි මෙසේ දැක්විණ:

“ජල ප්‍රශ්නයට ආණ්ඩුව විසඳුමක්  ලබාදී තිබියදීත් දේශපාලන පිපාසයෙන් පෙළෙන පිරිසක් ජනතාව ප්‍රකෝප කර වීදි බස්සවා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙය ජල ප්‍රශ්නයකට වඩා දේශපාලන ප්‍රශ්නයක් කරගෙන තිබෙන ආකාරය ඇතැම් පිරිස් කළ කතා බහෙන් සහ හැසිරීමෙන් මනාව පිළිබිඹු වූ බවද ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා උපවාසයේ යෙදී සිටි හිමිනම සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකවම කතා කළ බවත්, එයට අමතරව බැසිල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ ද ගැටළුවට අවශ්‍ය විසඳුම් ලබා දී තිබු බවත් ඒ මහතා අවධාරණය කළේය".


එවකට ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම පානීය ජල අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම, එයින් පසු ඇතිවු ගැටුම සම්බන්ධයෙන් ද තීරණාත්මක භූමිකාවක් රඟපා තිබෙන බව ඉතා පැහැදිලි ය. අගෝස්තු 01 දා උද්ඝෝෂණය අවස්ථාවේ හමුදාව විසින් වෙඩි තැබීමට පැය කිහිපයකට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයේදි තෝරාගත් ගම්වැසියන් පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වන ලද අතර එහිදී ආරක්‍ෂක ‍අමාත්‍යාංශ ලේකම්වරයා සුපුරුදු තර්ජනාත්මක ලීලාවෙන් ප්‍රකාශ කොට ඇත්තේ මේ උද්ඝෝෂණයන් තවදුරටත් ඉදිරියට ගෙන නොගිය යුතු බව ය.

මතභේදයට තුඩු දුන් ‘විනිග්‍රෝස්‘ කර්මාන්ත ශාලාවේ ආරක්ෂාවට යැයි කියමින්  බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ නායකත්වයෙන් හමුදා අනු ඛණ්ඩයක් ස්ථාපිත කරනු ලබන්නේ එයින් මාසයකට පමණ පෙර ය. හේලිස් සමුහ ව්‍යාපාරයට අනුබද්ධ විනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ හිමිකරුවා වූයේ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වු ධම්මික පෙරේරා ය. හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කිසිදු පැකිලීමකින් තොරව උද්ඝෝෂකයන්ට එරෙහිව හමුදාව යොදවන ලද්දේ ඒ නිසා යැයි ඇතැමුන් චෝදනා කරයි.

පොලිසියට උසස්වීම්

සන්නාහ සන්නද්ධ දහසක පමණ හමුදා බල ඇණියකුත්, යුධ හමුදා යතුරු පැදි කණ්ඩායම් කිහිපයක් හා කැරලි මර්දන පොලිස් බල ඇණි කිහිපයකුත් ඒකාබද්ධව එල්ල කරන ලද මෙම ප්‍රහාරය අතරවාරයේ පොලිස් ප්‍රධානීන් ගණනාවක්ද, පොලිස් භටයන් විශාල ප්‍රමාණයක්ද වැලිවේරිය සහ රතුපස්වල ප්‍රදේශයන්වල ස්ථානගත කොට තිබුණි. එහෙත් ඒ කිසිදු අයෙක් නිරායුධ සාමාන්‍ය ජනයා ආරක්‍ෂා කිරීමට ක්‍රියා නොකළ බවට සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු වන ප්‍රමිත හෙට්ටිආරච්චි JDS වෙත කියා සිටියේය.

“බ්‍රිගේඩියර් දේශප්‍රිය ‘ෆයර්, ෆයර්‘ කියලා කෑ ගහපුවාම හමුදාව එක දිගට වෙඩි තිබ්බා. ඒ වෙලාවේ ඉහළ පොලිස් නිළධාරීන් ගණනාවක්ම එතන හිටියා. විශේෂයෙන්ම බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරුන්, වැලිවේරිය පොලිසියේ ස්ථාන භාර නිලධාරියා ඇතුළු මේ හැමෝම ඉස්සරහා තමයි මිනිසුන්ට වෙඩි තිබ්බේ. ආමි එක වෙඩි තියන කොට පොලිසියේ අය බලාගෙන හිටියා. වැලිවේරිය ඕඅයිසීට තව තරුවක් වැඩිකරලා මුලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරක් දුන්නේ ඒ නිසා වෙන්න පුළුවන්" ඔහු කියයි.

හමුදා පරීක්‍ෂණ මණ්ඩලයක්

ප්‍රහාරයෙන් පැය කිහිපයක් ගෙවුනු පසු නව හමුදාපතිවරයා ලෙස ‘දයා රත්නායක‘ වැඩ භාර ගත්තේය. අනතුරුව මාධ්‍ය අමතා ඔහු කියා සිටිනුයේ ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කළ බව ය.


“ඒවා ඒ අවස්ථාවේදි සිදුවුණ සිදුවීම්. ඒවාට හේතු සාධක තිබෙනවා. ඒ වගේම එක් පැත්තක් නොවෙයි, පැතිකඩ ගණනාවක් තියෙනවා. හමුදාව කියන්නේ ඉතාම විනය ගරුක ආයතනයකැයි" නව හමුදාපතිවරයා සිනා මුසුව මාධ්‍යට කියා සිටියේය. එයින් දින කිහිපයට පසුව, අගෝස්තු 03 වැනි දා,  එවකට හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාවු බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මාධ්‍ය අමතා කියා සිටියේ මෙවැන්නකි:

"වැලිවේරිය සිදුවීමට අදාළව පරික්‍ෂණ පැවැත්වීමට යුධ හමුදාපතිතුමා විසින් පංච පුද්ගල පරීක්‍ෂණ මණ්ඩලයක් පත්කර තිබෙනවා. ඒ වාර්තාව අගෝසතු 21 දින හමුදාපතිතුමාට භාරදුන්නා.එය තවදුරටත් අධ්‍යයනය කිරිම සඳහා හමුදා  නීති අධ්‍යක්‍ෂ වෙත යොමු කොට තිබෙනවා. ඒ අනුව කවර හෝ පුද්ගලයෙකුට එරෙහිව යම් හමුදාමය වරදක් සම්බන්ධයෙන් යුද්ධාධිකරණයක් ඉදිරියට කැඳවීමට ප්‍රමාණවත් සාක්ෂි ඇතිදැයි විමර්ශනයක් කරන ලෙසත් නියම කොට තිබෙනවා. එම පරික්‍ෂණයන් නිසි පරිදි කරගෙන යාම වෙනුවෙන් අත්‍යාවශ්‍ය පරිපාලන පියවරක් ලෙස ඒ ප්‍රදේශය භාර බලසේනාධිපති බ්‍රිගේඩියර්වරයා සහ කොට්ඨාශ භාර ලුතිනන්වරුන් තිදෙනෙකු වත්මන් තනතුරුවලින් ඉවත්කොට තිබෙනවා."

තානාපති වරප්‍රසාද සහ සාක්‍ෂි නොතකා හැරීම

ඒ 'ඉවත් කිරීම' කෙළවර වන්නේ අපරාධකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමකින් හෝ වෙනයම් විනය ක්‍රියාමාර්ගයක ආකාරයකින් නොව, රතුපස්වල දී කළ 'වික්‍රමය' වෙනුවෙන් තනතුරු සහ වරප්‍රසාද ලබා දීමෙනි. සිවිල් වැසියන්ට වෙඩි තබා ඝාතනය කිරීමට අ‍‍‍ණදුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන, මේ වන විටත් තුර්කියේ, අන්කාරා නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ දෙවන ලේකම් ලෙස කිසිදු බාධාවකින් තොරව කටයුතු කරමින් සිටියි. වෙඩි තැබු අවස්ථාවේ නිරායුධ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට කිසිදු උත්සාහයක් හෝ නොගත් පොලිස් බලධාරීහු තවමත් එම ප්‍රදේශවලම රාජකාරියෙහි යෙදි සිටිති. සියල්ල සැළසුම් කොට අණදුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කිසිදු චෝදනා පත්‍රයකට හෝ ඇතුළත් නොවී සිටින්නට තරම් භාග්‍යවන්ත වී තිබේ.


ප්‍රහාරයෙන් පසුව ගම්වාසීන් විසින් අධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවට වසර දෙකක් ගෙවී යමින් තිබුණද සැළකිය යුතු තරමේ කිසිවක් මේ දක්වා සිදුවී නොමැත. අවම වශයෙන් එකදු හමුදා නිළධාරියෙකු  හෝ පොලිස් නිළධාරියෙකු හෝ වග උත්තරකරුවකු කරන්නට ඔවුන් අසමත් වී තිබේ. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මෙම ප්‍රහාරයට වගකිව යුතු බවත්, නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීමට අණ කරනු ලැබුවේ ඔහු බවත් නඩු වාර කිහිපයකදීම පැමිණිළිකාර ගම් වැසියන් විවෘත අධිකරණයේදි සාක්ෂි ලබා දී තිබුණද ඒ කිසිවක් සම්බන්ධව මේ දක්වාම නෛතික ක්‍රියාමාර්ග ගෙන නොමැත.

"මම නඩුවට සාක්‍ෂි දෙන කොට කිහිප වතාවක්ම කිවුවා බ්‍රිගේඩියර් දේශප්‍රිය තමයි වෙඩි තියන්න අණ දුන්නේ කියලා. ඒත් මේ දක්වා කිසිම හමුදා නිළධාරියෙකු උසාවිය හමුවට කැඳවා නැහැ, "ජූඩ් පෙරේරා කියයි. සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි කියා සිටිනුයේ සියල්ලන් වංචා කරමින් ඇති බව ය.

"හැමෝම අපිව රවට්ටනවා. හමුදාව පරීක්‍ෂණයක් කරනවා කිවුවා. අන්තිමට මොකද වුණේ? වෙඩි තිබ්බ එක වැරදියි කියනවා. හැබැයි දැන් වෙඩි තියපු කෙනෙක් නැහැ. අපි කියන්නේ හැම දේකටම කළින් කරන්න ඕනේ වෙඩි තියන්න අණ දුන්න හමුදාවේ අයවත්, ඒ අයට නියෝග නිකුත් කළ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාවත් අත්අඩංගුවට ගන්න එකයි," ඔහු කියයි.

නිරායුධ උද්ඝෝෂකයන්ට හමුදාව විසින් වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීම පිළිබඳව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ වර්තමාන තත්ත්වය කවරේදැයි අගතියට පත් පාර්ශවයේ නිතිඥවරියකගෙන් අවස්ථා කිහිපයකදීම JDS විමසා සිටි අතර ඒ සෑම අවස්ථාවකදීම ඇය කියා සිටියේ හමුදාවට විරුද්ධව පැමිණිලි ගොනු කිරිමට කිසිදු ඉඩක් නොලැබුණු බවයි. එසේම කිසිම ජ්‍යෙෂ්ඨ නිතිඥවරයෙකු මෙම නඩුව වෙනුවෙන් පෙනී නොසිටින බවත් මේ දක්වාම බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ප්‍රමුඛ හමුදා නිලධාරින්ට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කෙරී නොමැති බවත් ඇය ප්‍රකාශ කළාය.

2013 අගෝස්තු 29 වැනිදා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක හමුවේ පෙනී සිටි නීතිඥ සංගමයේ එවකට සභාපති උපුල් ජයසූරිය කියා සිටියේ ප්‍රහාරය සඳහා හමුදාව කැඳවා ඇත්තේ ගම්පහ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් බවයි.

යහපාලන පොරොන්දු

ආණ්ඩු පෙරළියෙන් පසු මේ වසරේ ජනවාරි 25 වැනිදා ප්‍රදේශයේ ජනතාව හමු වූ අභ්‍යන්තර කටයුතු සහ මහජන සාමය පිළිබඳ නව අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියේ රතුපස්වල ජනතාවට වෙඩි තැබු හමුදා නිලධාරියා විදෙස් තනාපති සේවයේ යෙදවීම ගැන කඩිනමින් සොයා බලා අවශ්‍ය කටයුතු කරන බවයි. ඔහු අනුව යමින්, අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය පෙබරවාරි 05 වන දින පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමින්, 'කිසිදු ඉහළ නියෝගයක් නොමැතිව හමුදාවට එන්න පුලුවන්දැයි' විමසා සිටියේය.

"යහපාලන රජය යටතේ පරීක්‍ෂණ කරන්න අවශ්‍යයි කියලා මම යෝජනා කරනවා. පොලිසියේ පරීක්ෂණ වාර්තාව පිළිබඳව සෑහිමකට පත්වෙන්න බැහැ"යි ඔහු කීය..

නමුත් මේ සියළු වාගාලාප තිබියදීත්, අපරාධකරුවන්ට නීතියේ රැකවරණය හිමිව ඇති බව පැහැදිලි ය. ජෝන් අමරතුංග විසින් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ලංකාවට කැඳවා පරීක්‍ෂණ කරන බව පවසා මාස අටක් ගෙවි තිබුණ ද කිසිදු පරීක්‍ෂණයක් මේ දක්වා සිදුව නොමැත. සිය සුතනඹුන්ද කැඳවාගෙන යුරෝපයේ රටින් ඇවිද  ගිම්හාන නිවාඩු ගත කරන ඔහු නව ආණ්ඩුව යටතේ ද තව දුරටත් ගරු කටයුතු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

වරෙක නීතිඥයෙකු වශයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටි උපුල් ජයසුරියට අද ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් විනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින්නට සිදුව තිබේ. ඒ එම කර්මාන්ත ශාලාවට සහ මධ්‍යම පරිසර අධිකාරියටත්, ආයෝජන මණ්ඩලයටත් එරෙහිව ගම්වැසියන් විසින් අභියාචනාධිකරණයේ පවරා ඇති අංක 385/2013 දරණ නඩුවට අදාළව ය.

ප්‍රහාරයට හමුදාව වගකිවයුතු බව දක්වමින් මානව හිමිකම් කොමිසම නිකුත් කර ඇති වාර්තාව මත පදනම්ව හමුදා නිළධාරින්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය කිසිවෙකු නොදනී.

පසුගිය පළාත් සභා මැතිවරණ වේදිකාවේදි කතා කළ රනිල් වික්‍රමසිංහට අනුව, 'වැලිවේරිය, රතුපස්වල, ඉඹුල්ගොඩ වනාහී හමුදාවට වැඩියෙන්ම ලේ දන්දුන්, ත්‍රිවිද හමුදාවට වැඩියෙන්ම 'රණවිරුවන්'යවන ලද ප්‍රදේශයන්' වේ. 'පානීය ජලය ඉල්ලා උපවාස කළ බෞද්ධ භික්‍ෂුව උතුරේ යුද වැදුණු හමුදාවන්ට සෙත්පතා පුරා සති දෙකක් පිරිත් කී බව' ද ඔහු කියා සිටියේය.

ඒ සෙත් ශාන්ති ලබමින් උතුරේ ජන සංහාරයක යෙදුණවුන් අනතරුව වැලිවේරියේ කම්හල් හිමියන් වෙනුවෙන් මහ ජනයාට සිතුමතේ වෙඩි තබනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළ බවක් නොපෙනේ. දෙමළ සහ සිංහල පීඩිත ජනයාගේ ඉරණම් එකිනෙකින් වෙන්ව හුදකලාවේ පිහිටි දූපත් ලෙස සැළකූවන්ට ලෞකික අරුතකින් සම්මා සතිය  පහළ කර දෙනු වස් පාසැල් දරුවන් ඇතුළු තිදෙනෙකුට වැලිවේරියේදී දිවි දීමට සිදුවූයේ ඒ හේතුවෙනි.

ඒ ජීවිතවලට දැන් ඉටු නොවන යුක්තිය දිනාගනු වස් තවත් කී දෙනෙක් එළඹෙන වකවානුවේදී දිවි දිය යුතුදැයි කිසිවෙකුත් නොදනී.☐

කිත්සිරි විජේසිංහ


© JDS