විසිරුණු ස්මරණ, නොබිඳුණු ආත්ම: ශ්‍රී ලංකාවේ වධ හිංසාවට පාත්‍රවූවන්ගේ කතාව

වධ හිංසාවන්ට ගොදුරු වුවන්ට සහය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ සෑම වසරකම ජූනි මස 26 වැනිදා ය. 'Shattered, but Unbroken: Survivors of torture in Sri Lanka' මැයෙන් බීබීසී ලෝක සේවයේ හිටපු ශ්‍රී ලංකා වාර්තාකාරිනී ෆ්‍රාන්සස් හැරිසන් විසින්  JDS ඉංග්‍රීසි භාෂා වෙබ් අඩවියට මෙම ලිපිය ලියන ලද්දේ එම දිනය නිමිති කොටගෙන ය.

පරිවර්තනය: සුභාෂිණී චතුරිකා


මහරවිට එදා මම මැරුණා නම්  හොඳ වෙන්න ඉඩ තිබුණා' ඇය කීවාය.

'නමුත් තවදුරටත් ජීවත්වෙන්න ආශාවක් මට තියෙනවා,' සිය අරගලය කිසි ලෙසකින් හෝ අවසන් නොවුණ ගැහැණියකගේ මුවින්, බාගවිට පුදුමාකාර ලෙස එවැනි ආකාරයේ ප්‍රකාශයක් නික්මිය හැකි ය. කොයි මොහොතේදි හෝ ඇය සැඟව වෙසෙන රටේදී ඇයව වටලනු ලැබීමට ඉඩ ඇත. අනතුරුව, අවමානයට සහ වේදනාවට ලක්වීමට සිදුවනු ඇතැයි ඇය බියවන ශ්‍රී ලංකාවට ඇය පෙරළා යවනු ඇත. හමුදා නිලධාරීන් විසින් සිදු කළ  සිදුකළ සමූහ අතවරයන්ද,  නීති විරෝධී ලෙස ගම්බද දී සිදු කළ ගබ්සාවක්ද, අත්සන් තැබීම සඳහා හමුදා කඳවුරකට ගිය මොහොතක සිය පියා පිටත රැඳී සිටියදී අතවරයට පාත්‍රවීමද, සුදු වෑන් රියකින් කළ පැහැර ගැනීමක්ද, වධ බන්ධනයන්ද, අසාර්ථක දිවි නසා ගැනීමේ ප්‍රයත්නයක්ද, දැන් වනවිට සැඟව ගෙවන ජීවිතයක්ද ඒ වේදනාවන්ට අයත් ය. එක් මනුෂ්‍යයෙකුට දරා ගත නොහැකි තරම් වූ වධ වේදනා ලැයිස්තුවක්. ඉච්ඡා භංගත්වයට පත්වීම  මේ සියල්ලට තාර්කික ප්‍රතිචාරය වීමට යම් විටෙක ඉඩ ඇති නමුත් පරිකල්පනයේ සීමාවෙන් ඔබ්බෙහි ඇති දෑ පවා ජයගැනීමට මිනිසා සතු හැකියාව සැබවින්ම අද්විතීය ය. එය ආශ්චර්යකැයි කයන්නට මට හැකි වුවද, එසේ කීවහොත් එම අධිෂ්ඨානය හා බැඳුණු දුෂ්කරතාත්, චරිත ශක්තියත්, තිර ගුණයත් ඊට එහිමි කරනු ඇත. මෙම ගැහැණියට ප්‍රීතිමත් අනාගතයක් හිමි විය යුතු ය. ජීවිතය අත් නොහැර ඇය එහි දැඩිව එල්බ සිටින්නීය. ඇය නැවතත් අඳුරු අගාධයට ඇද වැටෙන්නට ප්‍රථම කවුරුන්  හෝ ඇයව දැඩිව අල්ලා ගත යුතු ය.

ඔවුන්ගේ ජීවන පවත් ඇසීම  නිරන්තරයෙන් සිත කළඹවන සුළු වුවද,  වධ හිංසා වලට ලක් වී දිවි ගලවාගත්තවුන් හා සබඳතා පැවැත්වීමත්,  ගොදුරු බවට පත්ව හඹා යනු ලැබ, සිහි විකල් වු ප්‍රාණීන් සමූහයක්,  නැවතත් පිටත ලෝකය වෙත යාමට තරම් විශ්වාසයක් ගොඩනඟා ගත් මිනිසුන් පිරිසක් බවට පරිවර්තනය වන අයුරු සමීපව අත් දැකීමට හැකි වීමත් එක්තරා භාග්‍යයකි. මිනිසාගේ ජීවත්වීමට ඇති ආශාව කිසිලෙසකින් වත් අවතක්සේරු නොකළ යුතු ය.

අපි වධ හිංසාවලට ගොදුරු වුවන් පිළිබඳ මහත් සේ කතා කරන්නෙමු. නමුත් මෑතකදී විවාපත්ව දරු සම්පත් ද ලැබූ තරුණ දෙමළ කාන්තාවක් පිළිබඳව මම  සිහිපත් කරමි. වෛරය තුළ නොගිළී යමින්, ඔවුන් ඉවසා දරා සිටි ම්ලේච්ඡත්වයේ සුනමියෙන් අංශු මාත්‍රයක්  ඔබේ දෑස් මානයේ දිස් වන තෙක්‍ ඇයගේ කිසිදු විශේෂත්වයක් නැතැයි ඔබ සිතනු ඇත. සිහියට නඟා ගත නොහැකි තරම් පිරිමින්ගේ අතවරයට ලක්වෙමින්, අඳුරු කුටි වල නිරුවත්ව තැබෙමින්, ගිනියම් යකඩ දඬුවලින් පිළිස්සෙමින් මාස ගණනාවක් රඳවා තබන ලද අයෙක්!  සුන්දර බුද්ධිමත් ගැහැණුන්ට නොව, බොහෝ මිනිසුන් සතුන්ට පවා මීට යහපත්ව සළකනු ලබයි. සමාජ අපවාදයත්, ලැජ්ජාවත්, අපරාධය සඟවා ගැනීමට කෙරෙන බලපෑමත්, මානසික ව්‍යාකූලත්වය  මෙන්ම  ශාරීරික වේදනාවන් මැඬ ජය ගැනීම සහ යළිත් සොම්නස ලඟා  කරගැනීමටත්,  නැවතත් ආදරය කිරීමට විශ්වාසය ගොඩනඟා ගැනීමට තරම්  නිර්භය වීමටත් ඔවුහු සමත්ව ඇත්තාහ. එය සැබවින් මිනිසුන් ගේ පුද්ගලික ජිවිත විනාශයට ඇද දමන, මෙවැනි අපරාධ සිදු කරන පාපතර පිරිමින්ට මෙන්ම සුළුතරයක් වූ ගැහැණුන්ට ද එදිරිව ඔවුන් අත් පත් කරගන්නා ජයග්‍රහණයකි.

ප්‍රචණ්ඩකාරී අතීතය මකා දැමීම

වධ හිංසා වලට ලක් වී දිවි ගලවා ගත්තවුන්  මුණ ගැසීමට මා මුලින්ම පටන් ගත් විට,  වෛද්‍යවරියක් ඇයගේ කලින්  සිටි රෝගියෙකුගේ කතාන්දරයක් මා සමඟ පැවසුවාය.  ආරක්‍ෂක අංශයේ රැඳවුම් භාරයේ සිටියදී, නැවත නැවත සිදුවුණු දූෂණය වීම් වලින්  දිවි ගලවා ගත්තියක වු ඇය, බරපතල ආකාරයෙන් මානසික කම්පනයකට ගොදුරුවුවද ඇයට යහපත් දමිළ පුරුෂයකු මුණ ගැසී, ඔහු හා විවාපත් වී දරුවන්ද ලැබුවාය.  වසර ගණනාවකට පසුව, ඔවුන් දැන් සතුටින් ජීවත් වුවද  එම කාන්තාව තවමත් වරින් එම වෛද්‍යවරිය හමු වීමට පැමිණෙන්නේ, අමුතු ආකාරයේ  වේදනා, කැක්කුම් - වෛද්‍ය  විද්‍යාවේ පැහැදිලි කිරීම් නොමැති  රෝග ලක්‍ෂණ - පිළිබඳ  මැසිවිලි නඟමිනි.  ඒ වනාහි ඇයගේ අතීතය ඇයව ලුහුබඳින ආකාරයයි.

එවන් කුරිරු, ප්‍රචණ්ඩකාරී යමක් ‍කෙසේ නම් සහමුලින්ම මකා දමන්නද? එවන් වධ වේදනාවන් ගෙන් වැඩිමනත් කොටසක් මතකයෙන් මකා දැමීමට කිසියම් මනුෂ්‍යයෙකුට හැකිනම්, සහතික වශයෙන්ම එය අප ප්‍රණාමය පුද කළ යුතු, ඇදහිය නොහැකි තරම් ජයග්‍රහණයකි. රැඳවුම් භාරයේ සිටියදී කළ අතවරයකින් සිදු වූ පිළිසිඳ ගැනීමකින් දරුවකු ලැබු  දමිළ කාන්තාවක් පිළිබඳ මම සිහිපත් කරමි. ඔව්, එය අත් අඩංගුවේදී සිදුකළ අතවරයකි. එම දරුවා  ආශිර්වාදයක් ලෙසත්, නව ඇරඹුමක්  සහ ආදර‍යෙන් රැක ගතයුතු සම්පතක් ලෙසත් සළකන්නට ජීවිතයේ එක්තරා මොහොතක දී ඇයට හැකි විය. ඇය විනාශයේ අභිමුඛයටම ගොස් එය වැළඳගෙන, අනතුරුව එය  සිය ජීවිතයේ සාධනීය යමක් බවට පත් කරගත්තාය. ඇය සැබැවින්ම, හදිසි තැතිගැන්මට හා දුර්මුඛ තත්වයට පත් වු අවස්ථාවන්ට  මුහුණ දුන්නද ඇයව සන්සුන් කිරීමට කිසියම් නාඳුනන මිනිසුන් දෙදෙනෙක් යම් කාර්යක් කර තිබුණි.

විටෙක ඔබ කිසියම් පුද්ග‍ලයෙකු වධ හිංසා වලට ලක් වී දිවි ගලවා ගත්තකු ලෙස දනියි. ඇයගේ කතාවට සවන් දී  ඇයට කිසිවක් තිළිණ නොකර සිටීමෙන් සිත සන්සුන් කර ගැනීමට   නොහැකි වූ මාගේ මිතුරික ප්‍රදානය කළ කිසියම් මුදල් ප්‍රමාණයක්  යවන ලද හුදකලා වු දෙමළ මව, එක් නිදසුනකි.  සුදු වෑන් මඟින් සිදු කෙරුණු පැහැර ගැනීමකින් සහ ලිංගික හිංසනයෙන්  දිවි ගලවා ගත්තියක වු  ඇය, මාගේ මිතුරියට කෘතවේදී සටහනක් ලියමින්,  ඇය රැඳවුම්භාරයේ සිටියදී, ඇයට සිය දරුවාව නැවත දැකිමට හෝ  දිවි ගලවා ගත හැකි වේ යැයි විශ්වාස ‍නොකළ අවස්ථා එමට වුයේ යැයි  සඳහන් කොට තිබුණාය. ඇයට ලැබුණු මුදල් එංගලන්තයේදී  ඇයගේ දියණියට අවශ්‍ය කෙරෙන මේස් සහ උණුසුම් ඇඳුම් මිලදී ගැනීමට වැය කරනු ඇති අතර යම් දිනෙක තමන්ට උදව් කළ ආකාරයෙන් සෙසු අයටද උදව් කිරීමට තරම් හැකි තත්ත්වයකට  තමන් ළඟාවනු ඇතැයි ඇය අපේක්ෂා කරන්නීය. සෙසු අයට උදව් කිරීමට තරම් ඇය  බලා‍පොරොත්තු සහගත වීම වනාහී  සුවපත් වීමට අදාළ ප්‍රබල දැක්මක් කියා පාන්නකි.

විශ්වාසය අත්පත් කරගැනීම

බිඳ වැටුණු මනුෂ්‍යයෙකු  නැවත ගොඬ නැඟීම පහසු කාරණයකැයි හැඟවීමට මම උත්සුක නොවුවද දැවැන්ත පරිශ්‍රමයකින් පසු එය අර්ධ වශයෙන් හෝ කළ හැකි බව සිහි තබා ගැනීම වැදගත් ය. තවමත් අඳුරු නිමේෂයන් තුළ සැරිසරන, එහෙත් තම අනාගතය පිළිබඳ  සැළසුම් කිරීම අරඹා පුහුණු පාඨමාලාකට ඇතුළත් වී තම අනාගත වෘත්තීය පිළිබඳ සිහින දකින  වධ හිංසා වලට ලක් වී දිවි ගලවා ගත් තරුණයෙක් මට සිහිපත් වේ.

පසුගිය ගිම්හාන සෘතුවේ ඔහු තනිව, ගිලන්ව, බලා‍පොරොත්තු සුන් වු තත්වයට පත් වි සිටියේය. වධ හිංසා වලට ලක් වී දිවි ගලවා ගත්තකුට උණ රෝගය වැළදීම කෙතරම් දුෂ්කර අත්දැකීමක් ද යන්න පිළිබඳ පැහැදිලි වැටහීමක් මට තිබුණේ නැත.  ඔහුට බරපතල ලෙස  නින්ද අවශ්‍යව තිබුණ නමුත් ඔහු  නින්දට වන්  සෑම මොහොතකම බියකරු සිහින දකිමින් ඔහු  පීඩා වින්දේය.

ඔහු රැකවරණ ලබමින් රැදී සිටි මධ්‍යස්ථානයේ  ගත කල පළමු දිනයේ, එම ස්ථානයේ හටගත් ගින්නක් හේතුවෙන්, කිසිවකු ඔහුගේ කුටියේ දොරට මහ හඬින් තඩි බා තිබේ. එම හදිසි බාධා කිරීම මෙන්ම,  ගින්නක් පිළිබඳ අනතුරු හැඟවීමේ නාදය විසින් ඔහුව සිය සයනය මතම ගල් ගැසුණු තත්වයකට පත් කරනු ලැබ ඇති අතර, එම ස්ථානයේ සිටි වෙනකෙකුට ඔහු තවමත් කාමරයේ රැඳී සිටින බව හදිසියේම සිහිපත් වී, ඔහු වෙත පැමිණ දුමාරය අතරින් ඔහුව ‍බේරා ගන්නා තුරුම ඔහු උඩු මහලේ ඒ ආකාරයෙන්ම රැඳි සිට ඇත. වධ හිංසාවලට හා  ලිංගික අතරවරයන්ට ගොදුරුවීමෙන් පසුව පවා ජීවිතය දරා සිටි ඔහුට ලන්ඩනයේ නිවසක ගින්නට හසු වී මිය යන්නට සිදු වී නම් කෙතරම් සරදකම්කාරීද? ඔහුට අයිති අල්පමාත්‍ර අඩුවැඩිය ටික පවා ඔහුට අහිමි වු බව ඔහු මා සමඟ පවසා සිටියේය. මම කඩිමුඩියේ  ඇඳුම් පෙට්ටියක් ද ඔහුගේ අලුත් කාමරයට  අවශ්‍ය කළමණා ද අසුරා ගෙන, මා මෑතකදී කියවා අවසන් කළ එතරම් ‍‍ශෝකාකූල නොවූ, පොතක් ද එයට එක් කළෙමි. The one hundred year old man who climbed out of the window මැයෙන් වූ එම නව කතාව, ජීවිතයේ අන් කිසිවකට වඩා ඔහු ආශාවෙන් මුසපත් කරන ලද අතර  පිටතට ගොස් ප්‍රාදේශීය පුස්තකාලය සොයාගැනීමටද එය ඔහුව පොළඹවන ලදි. නමුත් ඔහු තවමත් නිදා ගන්නේ කිසියම් ආලෝකයක් සහිතව බවද,  ඔහු දැන් අඳුරට දැඩි බියක් දක්වන අතර  නැවතත් යමක් සිදු වුවහොත්  කෑ ගැසීමට හෝ තමන්ට හැකි නොවනු ඇතැයි ද ඔහු මා සමඟ පැවසීය. මම ඔහුට හදිසි අවශ්‍යතාවකදී අනතුරු අඟවන උපකරණයක් ඇමසන් වෙබ් අඩවියෙන් මිලදී ගෙන දුන්නෙමි. ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබුණි. අනතුරුව අස්වැසිල්ලක් ලෙස හෝ  ඒවා තව තවත් අයටද ලබා දීමට මම ක්‍රියා කළෙමි - ඔවුන්ගේ සංත්‍රාසය හා සංතාපයට හඬක් ලබා දෙන ඉලෙක්ටෝනික මෙවලමක්!

අනාගතය පිළිබඳ කිසියම් දැක්මක් සපයන පුද්ගලයන් මුණගැසීමෙන් මෙම තරුණයා ප්‍රතිලාභ ලබා ති‍බේ. ඔහුට සිය නිවසට ආරාධනා කරනු ලබන දෙමළ සැලසුම් ශිල්පියෙකුද, ඔහුට නිරන්තර දුරකතන ඇමතුම් දෙන ප්‍රකට ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිකයකු ද සහ ඔහුට කාරුණික ලෙස සළකන දමිළ පවුලක්ද ආදී පිරිස් හේතුවෙන් ඔහුට කිසියම් ඵල ප්‍රයෝජන අත් වී ඇත.  ප්‍රධාන වශයෙන්ම තවම නොවිසිඳී ඇති ඔහුගේ දේශපාලන රැකවරණ ඉල්ලී‍මේ  නඩු විභාගය මුල්කො‍ටගෙන තව දුරටත් තැති ගැන්මෙන් ගත කළ අවස්ථා බොහෝ වුවද ඔහු නැවතත් ජීවිතය පිළිබඳ විශ්වාසය ඇති කර ගෙන තිබේ.  ඒ කරා යන මාවතේ, යෝගී ව්‍යායාම්, භාවනා කිරීම් හා  උපදේශන සහයද බොහෝ වීය.

වෛරයෙන් බැහැර වීම

යම් හෙයකින් ඒ මා වුණි නම්, ලෝකය පිළිබඳ කෝපයෙන් හා දොම්නසින් මා ගිලන් වන්නට ඉඩ  තිබිණැයි මම සිතමි. ඒ බොහෝවිට, අපරාධකරුවන් නිදැල්ලේ පසුවන සහ ඉන් බහුතරයක් දෙනා තමන් කළ අපරාධ වෙනුවෙන් කිසිදින වන්දියක් නොගෙවීමට ඉඩ ඇති තත්ත්වයක් තුළ ය.  අපරාධ සිදු වී යැයි පිළි නොගනීමෙන් සත්‍යය වසන් කරන කිලිටි දුමාරය විසින් තවදුරටත් සාධාරණත්වයක් නොමැති වීමේ තත්ත්වය වඩ වඩාත් තීව්‍ර ක‍රනු ලැබේ. මම ශ්‍රී ලංකාවේ, වද බන්ධනයන්ට හසුව දිවි ගළවා ගත්තවුන් පිළිබඳ ලියන සෑම වාරයක් පාසාම, රට තුළ ජීවත්වන කිසිවකු ඒ කෙරෙහි අවඥා සහගත ප්‍රකාශයක් කරයි. එය කොතරම් අවරසික කමක්දැයි ඔවුන් තේරුම් නොගන්නවා විය හැකි ය. ‍‍ගොදුරු බවට පත් වුවන් දමිළ ජනතාව ය. නමුත් සිංහල හා මුස්ලිම් ජනයා ද ඒ අතර වෙති. ගොදුරු බවට පත් වුවන් පුරුෂයන් ය. නමුත් ඒ අතර කාන්තාවන් හා දරුවෝද  වෙති.  නමුත් ප්‍රධාන වශයෙන්ම ඔවුන් සිය‍ල්ලෝම මනුෂ්‍යයෝ වෙති.

අසාමාන්‍යක් වුවද,  නිරීක්‍ෂණයට හසු නොවන එකම ‍දෙය නම්, වධ බන්ධනයට හසුව දිවි ගළවා ගත්තවුන් තුළ පැන නැ‍ඟෙන පළි ගැනීමේ ආශාවයි. සැබෑ ලෙසම එය මට වටහා ගැනීමට දුෂ්කර කාරණයකි. විශේෂයෙන්ම, පිළිකුල් සහගත, කුරිරුකම් පිළිබඳ කියැවෙන කතාන්දරවලට සවන් දෙන විට එකිනෙකාට එතරම් සැහැසිකම් කිරීම පිළිබඳ මට ‍කෝප නොගෙන සිටිය නොහැකි ය. එසේ නමුදු  වධ බන්ධනයට හසුව දිවි ගලවා ගත්තවුන් වෛරයෙන් අදහස් ප්‍රකාශ කරනු මා කිසි දිනෙක අසා නොමැත. ඒ ඔවුන්, ඔවුන්ගේ මනුෂත්වය අහිමි කොට ගෙන නැති නිසා ය. සිය වධකයන් අභිබවා ඔවුන් සැබවින්ම ජය ලබන්නේ එලෙස ය.☐

සේයා රුව: ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගැනීමෙන් පසු වධ හිංසාවන්ට පාත්‍ර වූ දෙමළ ජාතික YG (අන්වර්ථ නාමයකි) 2012 ඔක්තෝබරයේ ලන්ඩනයේ දී. (විල් බැක්ස්ටර් / willbaxter.photoshelter.com)

ෆ්‍රාන්සස් හැරිසන්


© JDS