මැයි 18: මුල්ලිවයික්කාල් වෙරළ ඉම සසළ කළ වි‌යෝග සන්ධ්‍යාව

ඉකුත් දා මුල්ලිවයික්කාල්හි පැවති මළවුන් ස්මරණය කිරීමේ අන්තර් ආගමික මෙහෙය පිළිබඳව මෙම ලිපිය සම්පාදනය කළ එළිල් රාජේන්ද්‍රම් පියනම, ජෙසුයිට් සරණාගත සේවයේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරයා ලෙස ක්‍රියා කරයි. දෙමළ සිවිල් සමාජ සංසදයේ සම ප්‍රකාශක වශයෙන්ද කටයුතු කරන හෙතෙම, ශ්‍රී ලංකාවේත්, ඉන්දියාවේත් සරණාගත ජනයා අතරෙහි කාලාන්තරයක් තිස්සේ කටයුතු කොට තිබේ. ඔහු, ’ඉන්දියාවේ ශ්‍රී ලාංකීය යුද අනාථයන්’ පිළිබඳ වාර්තා චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමෙහි ලා ද දායක විය.

සේයා රූ : ලක්‍ෂ්මන් වර්ණකුලසූරිය


2009 මැයි 18 වැනිදාව ස්මරණය කරනු පිණිස ආගමික මෙහෙයක් සංවිධානය කිරීම, බියෙන් සහ ආතතියෙන් පිරුණු අවිනිශ්චිත අවසානයක් සහිත සංත්‍රාසජනක කතාන්දරයක් අත් දකිනවාක් වැනි විය. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන වීමෙන් ගත වූ හය වසරක කාලය තුළ දී පළමුවරට සංවිධානය කෙරුණු ඒ වර්ගයේ කටයුත්තකට සහභාගීවීමට තරම් කිසිවෙකු හෝ නිර්භීත වනු ඇතිදැයි යන්න පිළිබඳව අවසාන මොහොත දක්වාම මා තුළ සහතිකයක් නොවීය.

ආගමික මෙහෙය සංවිධානය කිරීමේ වගකීම මා වෙත පැවරී තිබුණු හෙයින්, පූර්ව සූදානම් පිරික්සා බලනු වස් දින තුනකට කලින් මම මුල්ලිවයික්කාල් දෙව් මැදුරට ගියෙමි. ඒ යන අතරමග මා දුටුවේ වැඩෙමින් තිබෙන ආතතියයි: දෙමළ සිවිල් වැසියන් දහ දහස් ගණනින් - මන්නාරමේ රදගුරුතුමන්ට අනුව සත් මාසයක් ඇතුළත 146,679ක් තරම් සංඛ්‍යාවක් - ඝාතනය කළ මුල්ලිවයික්කාල් දක්වා දිවෙන මාර්ගය ඔස්සේ පොලිස් භටයන් යොදවා තිබුණි.

සිංහල බසින් ආරක්‍ෂාව

සැමරුම් දිනය ළඟා වත්ම ආවේක්‍ෂණ කටයුතු සහ පොලිස් බලය තරකිරීම් වැඩි වනු ඇතැයි ජනතාව කල්පනා කරන බව පසක් කොටගත් මම, දිනකට කලින් දෙව් මැදුරට ළඟා වීමට සැළසුම් කළෙමි. සිංහල බස හැසිරවීමේ හැකියාව සම්බන්ධයෙන් මට තිබූ අවිශ්වාසය හේතුවෙන්, මා එහි ගියේ ආරක්‍ෂක අංශව සමග කටයුතු කළමනාකරණය කරගැනීමට උපකාරී වනු ඇතැයි සිතූ සිංහල පූජක මිතුරෙකුද සමගිනි. අපගේ ගැළවුම පිණිස සිංහල බස උගෙනීමට අපට සිදුව ඇත්තේ, දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජකාරීයෙහි නිරත සිංහල නිලධාරීන් අප සමග අදහස් හුවමාරු කරගනු පිණිස දෙමළ බස උගනිතැයි අපේක්‍ෂා නොකළ හැකි බැවිනි.

අපගේ වාහන අදාළ ස්ථානයේ නවතා ඇතැයි දැනගත් වහාම, පොලිස් සහ හමුදා ඔත්තු සේවා නිලධාරීහු තමන් අවධානයෙන් පසුවන බව අපට එත්තු ගැන්වීමට වහ වහා උත්සුක වූහ. සන්ධ්‍යාවේ අප නික්ම යන විට එහි සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සිව් දෙනෙක් අපගේ ඡායාරූප ගත්හ. පූජකයෙකු වූවද, අංක තහඩු රහිත සුදු වෑන්වලින් සිදු කැරෙන පැහැරගැනීම් පිළිබඳ ඉතිහාසය හේතුවෙන් ඔවුන් ඡායාරූප ගැනීම පිළිබඳව මම තැති ගෙන සිටියෙමි.

දෙමළ ජාතික ජනතා පෙරමුණ එම දවසේම  මුල්ලිවයික්කාල්හි සංවිධානය කළ සැමරුම් දිනය සාමය කඩවීමට හේතුවනු ඇතැයි කයමින් අධිකරණය නියෝගයක් මගින් තහනම් කරන ලදී. මැයි 18 වැනිදා ස්ත්‍රී සංවිධානයක් විසින් සැළසුම් කළ වැඩ සටහනක් ද එවැනිම උසාවි නියමයකින් තහනම් කෙරුණි.

බුද්ධි අංශ

එක්තරා පවුලක් මා හමුවීමට පැමිණ සිටියේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රදේශයේ ජනයා හමුවීමට ගොස් එවැනි වැඩ සටහන්වලට සහභාගී නොවන මෙන් උපදෙස් දී ඇති හෙයින්, අපගේ ආගමික මෙහෙයට ද සහභාගී වීමට මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කිසිවෙක් නිර්භීත නොවනු ඇතැයි දන්වා සිටින්නට ය.

මැයි 18 වැනිදා උදෑසන මට දුරකථන ඇමතුමක් දුන් දෙව්මැදුරට යාබදව වෙසෙන ජනයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් අසාමාන්‍ය ලෙස යොදවා තිබීමෙන් තැති ගෙන එම ස්ථානයට පැමිණෙන මෙන් මාගෙන් ඉල්ලා සිටියහ. සිංහල පූජක මිතුරාට ද අප හා එන මෙන් ඉල්ලා සිටීමට මට සිදු විය. මීසම් භාර පූජකවරයා පැමිණි විට, ඔහු සංවිධානය කරන්නේ කුමක්දැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙක් විමසා සිටියේය. උදෑසන සිට පූජා මෙහෙය නිමා වූ සන්ධ්‍යාව තෙක් දවස මුළුල්ලේම, ප්‍රත්‍යන්තයේ ගසක් යට වාඩි වූ සිවිල් හැඳගත් දෙදෙනෙකු සියළු ක්‍රියාකාරකම් පිළිබඳ සටහන් ගනිමින් ඔවුන්ගේ ඉහළ නිලධාරීන් වෙත තොරතුරු වාර්තා කළහ.

ප්‍රදේශයේ ජනයාගේ ධෛර්යය පිළිබඳ මම ඉමහත් සේ අගය කොට සළකමි. සැබෑ ලෙසම බියපත්ව සිටියදීත්, ආරක්‍ෂක අංශයන්හි ආවේක්‍ෂණ සහ නිරීක්‍ෂණයන් නොතකා මෙහෙය සංවිධානය කරනු වස් ඔවුහු මට උපකාර කළහ. ආගමික පූජකවරයෙකු වීත් මට මුහුණදීමට සිදු වූ තත්ත්වයන් සළකා බැලූ විට, ඔවුන්ගේ අරගලය පිළිබඳ මට සිතාගත හැකි ය.

සුවිශාල අවිනිශ්චිතතාවක් එදින පුරා පැවතුණි. ඇත්ත වශයෙන්ම, එය සිතා මතා නිර්මාණය කරනු ලැබ තිබුණේ ව්‍යාකූලත්වයක් ඇති කිරීම මගින් දේව මෙහෙයට සහභාගී වන්නන්ගේ ප්‍රමාණය අඩු කරනු පිණිස ය. මා දන්නා තරමින්, දෙව මෙහෙය පැවැත්වෙන්නේද, නැතිද යන්න පිළිබඳ වියවුල් සහගත පණිවුඩ ලැබීමෙන් බියට පත්  මුලතිවු සහ කෝකිලායි ජනයා ඊට සහභාගී නොවූහ.

බස් හිමියන්ට තර්ජන

තවත් මීසමක් භාර පූජකයෙකු දුරකථන ඇමතුමක් මාර්ගයෙන් දන්වා සිටියේ, එම ප්‍රදේශයේ ශෝක වන්නන් දේව මෙහෙයට රැගෙන යාමට අවශ්‍ය බස් රථ සැපයීමට එකඟව සිටි බස් හිමියෙකුට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකින් අදාළ කටයුත්තට බස් රථ යෙදවීමෙන් වළකින ලෙසත්, නොඑසේනම් අනාගත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම්වන ලෙසත් එල්ල වූ තර්ජන හේතුවෙන් බස් රථ සැපයීම ඔහු විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බවයි. එම මීසම් භාර පූජක තැන,  වෙනත් බස් හිමියන් සත් දෙනෙක් වෙත යොමු වූ නමුත්, ඉහත ආකාරයේ නිර්නාමික ඇමතුම් හේතුවෙන් ඊට දායක වීම ඔවුන් ද  ප්‍රතික්‍ෂේප කර තිබුණි. විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් සංවිධානය කිරීමේ වගකීම මා වෙත පැවරුණු නමුත්, බස් හිමියන්ට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් පිළිබඳ ආරංචිය හාත්පස පැතිරගොස් තිබූ හෙයින් ජනයා සහභාගී වීමට මැලි වූහ.

එදිනට නියමිතව තිබූ වෙනත් වැඩ සටහන්වලට මෙන් අපගේ ආගමික මෙහෙයටද අවහිර එල්ල වනු ඇතිදැයි දෙගිඩියාවෙන් අවසාන මොහොත තෙක්ම අප පසු වූයේ ආතතියෙනි. නමුත් ප්‍රත්‍යන්ත ගම් දනව්වලින්, පන් සියයකට වැඩි ජනයා මෙහෙයට සහභාගී වූ  අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා සිය මළවුන් වෙනුවෙන් ශෝක වන ස්ත්‍රීන් වූහ.  මා සිතන අන්දමට, ඔවුනට ශෝකයෙන් හඬා වැළපීමට අවකාශයක් සැපයුණු පළමු අවස්ථාව මෙයයි. අහිමි වූවන් සිහි කොට මව්වරුන් සහ දරුවන් වැළපෙන දසුන හද පාරවන සංවේගජනක එකක් විය. රැස්ව සිටි සියල්ලෝ කඳුළු වැගිරූහ. ළමා නිවාසයක දිවි ගෙවන දැරියන් පිරිසක්  මරණයට පත් සිය දෙමාපියන් ස්මරණය කරමින් වැළපෙන විට මගේ කඳුළු වළකා ගැනීමට මම පොර බැදීමි.

එඩිතර ජන පිරිසක්

අනාරාධිතව පැමිණ සිටි ආරක්‍ෂක අංශ විසින්, ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂාවට කවර හෝ තර්ජනයක් වීමට ඉඩක් නොමැති දුකින් පීඩිත ස්ත්‍රීන්ගෙන් වැඩි වශයෙන් සමන්විත වූ සහභාගීකයන්ගේ ඡායාරූප ගන්නා ලදී. තමන්ගේ ඡායාරූප ගන්නා සිවිල් හැඳගත් බුද්ධි අංශ නිලධාරීන් පෙරළා ඡායාරූපයට නැඟීමට ජනයා නොබියව ක්‍රියා කරනු පළමු වතාවට මම දුටුවෙමි. මෙහෙය අවසානයේ දී, එහි සිටි විදේශිකයන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කළ පොලිසිය, ඔවුන් ඊට සහභාගී වීමට හේතු විමසා සිටියේය.

සෑම වසරකම මෙන් මේ වසරේද ආණ්ඩුව විසින් ‘රණවිරු සැමරුම් දිනය’ වෙනුවෙන් දකුණේ හමුදා පෙළපාලි සංවිධානය කර තිබුණි. එහෙත්, උතුරේ දී  දීර්ඝ සය වසක නිහඬ විඳවීමකින් පසු යුද කලාපයේ ඇතැම් දෙමළ ජනයා නිහඬතාව බිඳ ප්‍රසිද්ධියේ සිය මළවුන් සැමරූ පළමු අවස්ථාව මෙය විය. ඔවුන් එසේ කරන ලද්දේ ආරක්‍ෂක අංශවල අපේක්‍ෂාවන්ට පටහැනිව යමිනි. ස්වකීය මළවුන් වෙනුවෙන් ශෝක වීමට නිර්භීත වීම අවශ්‍ය නොවන අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවෙන් එම ජනයා විසින් පෙන්නුම් කළ එඩිතරභාවය පිළිබඳ මගේ ආචාරය පළ කිරීමට මම කැමැත්තෙමි.☐

එළිල් රාජේන්ද්‍රම් පියනම


© JDS