සය වසක් තිස්සේ නොමළවුන් හඹා එන නොනිමි භීෂණය

බීබීසී ලෝක සේවයේ හිටපු ශ්‍රී ලංකා වාර්තාකාරිනී ෆ්‍රාන්සස් හැරිසන් විසින් The Walk of Shame මැයෙන් ලියන ලද මෙම ලිපිය මුලින් පළවුයේ Colombo Mirror වෙබ් අඩවියෙහි ය. යුද්ධයෙන් දිවි ගළවාගත්තවුන්ගේ සාක්‍ෂි ප්‍රකාශ සම්පිණ්ඩනය කරමින් ඇය ලියූ Still Counting the Dead කෘතිය 2012දී ලන්ඩනයේ පෝර්තෝ බෙල්ලෝ ප්‍රකාශකයන් විසින් පළ කරන ලදී.

පරිවර්තනය: සනත් බාලසූරිය


දොරගුලූ ඇරුණු විට ඇය කාමරයෙන් පිටතට වේගයෙන් බඩගාගෙන ගියේ සිය යට ඇඳුම ද කාමරයේ අමතක කරදමමිනි. ඇයට සමච්චල් කරමින් ද, පරිභව කරමින් ද ශ‍්‍රී ලංකා සොල්දාදුවෝ පිටතට වී බලා සිටියහ. හිස නවාගෙන, අවුල් කෙහෙරලින් සිටි ඇයට ඇඳුමේ බොත්තම් පියවාගැනීමටවත් නොහැකි තරම් විය. දූෂණය කිරීමට අමතරව සිරුරේ පිළිස්සූ හා කැපූ තැන්වලින් ගලා ආ ලෙයින් ඇගේ ඇඳුම් පෙඟී තිබිණි. ආපසු කඳවුරට යාම නින්දාවකි. එහි තමන් හා සිටින සෙසු දෙමළ ජනයා සිදු වී ඇත්තේ කුමක්දැ’යි ක්‍ෂණයෙන් වටහා ගත්තත්, කිසිවකුත් ඒ ගැන කතා නොකළහ. ඔවුන්ට කළ හැකි වූයේ, කිරි පෙවීමට හැකි තරමට ඇය සන්සුන් වනතුරු ඇගේ හාමත් ළදරුවාට දිය පෙවීම පමණෙකි.

ඇය ඉවතට ඇදගෙන ගිය සොල්දාදුවෝ ඇයට වද දුන් අතර, කෑ ගැසීම නො නැවැත්වුවහොත් හා විරුද්ධ වීමට තැත් දැරුවහොත් දරුවන් මරා දමන බවට තර්ජනය කළහ. සිදුවන්නට යන්නේ කුමක්දැ’යි ඇය දැන සිටියා ය. පෙරේදා ද තරුණියකට ඒ දේම සිදුවූ අයුරු ඇය දැක තිබිණි. ඇය දූෂණය වීමට නොපැමිණෙන්නේ නම් ඇය වෙනුවට ඇගේ තරුණ දියණිය රැගෙන යන බවට තවත් මවකට තර්ජනය කර තිබිණි. යුද්ධය පැවැති සමයේ දී ඔවුහු සිය දුබල දරුවන් බේරාගනු වස්, සහජාසයෙන්ම ඉගිලෙන ලෝහ කැබලිවලට සිය සිරුර පළිහක් කළහ. දැන්, සාම කාලයේදී, තමන් අපහරණයට ලක්වන බව දැන දැනත්,  සිය දරුවන් බේරාගැනීම සඳහා ඔවුන්ට යන්නට සිදුවී තිබේ.

ජංගම දුරකථන

පසෙකට වී බලා සිටියවුන් ඒ ගැන කතාකරන්නේ නැත. ඒ වින්දිතයන් කෙරෙහි ඇති ගෞරවයක් හේතුවෙන් නොව,  තමන් එය නැවැත්වීම සඳහා කිසිවක් නොකළ, අඩුම තරමින් දුර්වල විරෝධයක් හෝ නොපෑ නිශ්ක්‍රීය නිරීක්‍ෂකයන් ලෙස බලා සිටීමේ වරදකාරී හැඟීමෙනි. අවිගත් සොල්දාදුවන් රැකවල් ලා සිටිය දී ඔවුන්ට කළහැකි දෙයක් තිබුණේද නැත.

එතෙකුදු වුවත් අපරාධකරුවෝ, ලිංගික හිංසනය සිය ජංගම දුරකතනවලින් වීඩියෝ කරමින්, නිරුවත් කළ වින්දිතයන් ඡායාරූපයට නඟමින් තමන්ගේ අපරාධ පිළිබඳ කිසිදු ලජ්ජාවකින් තොරව හැසිරෙති. මේ අපරාධයන් වෙනුවෙන් තමන් කිසි දා නීතියට හසු නොවන බව ඔවුන්ට විශ්වාස අතර, ඊටත් වඩා සමස්ත ප‍්‍රජාවම සාමූහික ලජ්ජාවට හා නින්දාවට පත් කිරීමට ඔවුන්ට අවශ්‍ය ය. එක්තරා ආකාරයකින් ඔවුහු තනි පුද්ගලයන් මෙන්ම, දෙමළ මාතෘභූමිය ද දූෂණය කරමින් සිටිති.

ක්‍රෑරත්වය හා දයාව

ඇත්ත වශයෙන්ම එය සිදුවූයේ හුදෙක් කාන්තාවන්ට පමණක් නොවේ. පශ්චාත් යුද ශී‍්‍ර ලංකාවේ පුරුෂයන්ට එරෙහිව සිදුකළ ලිංගික අපහරණයන්ගේ ප‍්‍රමාණය, යුද අපරාධ විමර්ෂකයන් කම්පනයට පත්කරනු ලැබ තිබේ. වින්දිතයෝ බොහෝ විට වැඩිහිටියන්ට වඩා ගැටවර වියේ ළමයින් සේ පෙනෙන බයාදු, දුර්වල කෙසඟ තරුණයෝ ය. ඇතැම්හු ඔවුන්ගේ ළා බාල වියේ පටන් රඳවා තබාගනිමින් බොහෝ අවස්ථාවන්හි දී  මෙසේ අපහරණයට ලක්කර තිබේ. කිසිදා සිය පවුලේ උදවිය සමග කියන්නට නොහැකි කෲර ලිංගික වදහිංසා පිළිබඳ මහත් අමාරුවෙන් ඔවුහු විස්තර කරති.

එක් තරුණයෙක් සුදු වෑන් රියකින් පැහැර ගැණුනි. සති ගණනක ලිංගික හා ශාරීරික අපහරණයන්ට පාත්‍ර වීමෙන් අනතුරුව, ඔහු වදහිංසාවට ලක්කරමින් තිබූ හමුදා කඳවුරෙන් අල්ලස් ගෙවා මුදවාගැනීමට සමත් වූ ඔහුගේ පියා ඉන්දියාව බලා පිටත්වීමට බෝට්ටුවකට නංවනු වස් ඔහු වහාම මන්නාරම ප්‍රදේශයේ සැඟවීමට කැටුව ගියේය. පියා ඔසුසලකින් මිලට ගත් කිසියම් ක‍්‍රීම් වර්ගයක් සිය පුත‍්‍රයාගේ තුවාල මත තවරා ඒවා පිරිසිදු කළේ, සිය මාහැඟි වස්තුව වූ දරුවා ආරක්ෂා කරගැනීමට තමන් අසමත් වීම ගැන වැලපෙමිනි. වේදනාවෙන් වැතිර සිටි පුත‍්‍රයා, පියාට ලිංගික අපහරණයන් ගැන නොකීවේ, මුළු බියකරු සත්‍යයෙන් තමන් ආදරය කළ තම පියා ආරක්‍ෂා කිරීමට ඔහුට අවශ්‍ය වූ බැවිනි. එය අතිමහත් කෲරත්වයකින් හා නපුරකින් පසු ආ ඉමහත් දයාන්විත අවස්ථාවක් වූ නමුත්, පියා හා දරුවා අතර කිසි දා බිඳහෙලීමට ඔවුන් අසමත් වන සදාකාලික බාධකයක් ද ඉදිව තිබුණි. ඉක්මණින්ම, ඔහු භාෂාව පවා නොදත් විදෙස් රටක හදුකලා වූ අතර, නිවසට දුරකතනයෙන් හෝ කතාකිරීමට ඔහු බියවන්නේ පවුලේ අයට කරදර වෙතැයි සිතන බැවිනි. මහද්වීප හරහා පවා තව තවත් බාධක නැඟිණ. ඔබ විසින් විපතේ හෙලනු ඇත්තේ අන්  කිසිවකුත් නොව, ඔබේම පවුලේ උදවිය ය. ඔවුන්ගේ මා පිය - පුත‍්‍ර සම්බන්ධය පවා වධකයෝ සිඳදමා ඇත්තාහ.

කප්පම් මුදලකට හුවමාරු කරගනු පිණිස තමන් පාළු කැලෑබද ප‍්‍රදේශයක දමා ගිය සිදුවීමක් වධහිංසාවලින් දිවි බේරාගත් තවෙකෙක් විස්තර කළේ ය. ඔහුගේ මාමා අදාළ පුද්ගලයන්ට මුදල් බෑගයක් භාර දුන්නේය. වාහනයේ ඉදිරිපස පහන් ආධාරයෙන් ඔහුගේ තුවාලවල තත්ත්වය පිරික්සා බැලීමට මාමාට ඉඩලබා දෙනු සඳහා පමණක් අතරමඟ නවතිමින් ඔවුහු ආරක්‍ෂිත නිවසක් කරා පලාගියහ. ඔහු යහතින්දැ’යි බැලීමට තිබුණු කාලය එපමණකි. කිසිවෙකුත් වෛද්‍යවරයකු හමුවීමට නොයති. එය එතරම් ම භයානක ය. රත් කළ යකඩයෙන් පිට පුරා හංවඩු ගසන ලද පුද්ගලයෝ ආරක්ෂාව සොයා ගුවන් ගතවෙද්දී පැය ගණන් ගුවන් යානා අසුනේ වාඩි වී සිටීම කොතරම් වේදනාකර වීදැ’යි විස්තර කරති. ඔවුන්ට සිය අසුනේ හේත්තු වී සිටීමට බැරි ය.

යළිත් රැඳවුමට

ශ‍්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර හයකට පසුත්, මෙබඳු වින්දිතයන් මේ දක්වාත් පිටරටවලින් මතුවනු ඇතැයි මට සිතාගන්නට බැරිවිය. 2009 යුද්ධය අවසානයේ දී දිවිබේරාගත්තවුන්ගේ කතා ඇතුළත් පොතක් මාලියූ කල, තමන්ට එහි අඩංගු වූ බිහිසුණු දේ කියවීමට මහත් පරිශ‍්‍රමයක් දරන්නට සිදුවූ බවත්, වරකට එක් පරිච්ඡේදයකට වඩා කියවාගන්නට නොහැකි වූ බවත් බොහෝ දෙනෙක් කීහ. එය යුද්ධය පිළිබඳ සැහැල්ලූ විස්තර කථනයක් පමණක් බව දැන් මම දනිමි. මා 2011 දී සම්මුඛ සාකච්ඡාවන්ට බඳුන්කළ එම පුද්ගලයෝ සන්සන්ධනාත්මකව  බලතොත් ඉක්මනින් බේරී ආවුන් ය. දැන් සිටින අයවලුන් මාස ගණනක් අවතැන්වීමෙන්, වියෝග වේදනාවෙන්, තුවාල ලැබීමෙන්, සාගින්නෙන් සහ මානසික ක්‍ෂතියෙන් පමණක් නොව, වසර ගණනාවක් 'පුනරුත්ථාපන කඳවුරුවල' රඳවා තබා ගැනීමෙන්, වධ බන්ධනයන්ගෙන් හා ලිංගික අපහරණයන්ගෙන් පීඩා වින්දෝ වෙති.  ඒ සියල්ලටත් වැඩියෙන් 'පුනරුත්ථාපනය කිරීමෙන්'අනතුරුව යළිත් වතාවක් රඳවා තබාගැනීමේ, වධදීමේ හා ලිංගික දූෂණයේ චක‍්‍රය ඇරැඹීම සඳහා සුදු වෑන්වලින් පැහැරගනු ලැබූවන් ය. ඔවුන්ගේ වධවේදනාවන් සැබවින්ම වචනයෙන් විස්තර කිරීම උගහට ය.

රටින් පිටවන ඔවුන්ගෙන් ඇතමකු නිදහසේ එළියට අඩියක් තියන්නට පවා ඉඩක් නොලබා ගුවන් තොටින් කෙලින් ම යැවෙන්නේ අදාළ ‍රටෙහි රැඳවුම් මධ්‍යස්ථානවලට ය. නැවතත් සිරගත වීමට සිදුවීම ක්‍ෂතියකි. නපුරු අතීතාවලෝකනයන්ගෙන් පීඩාවිඳින ඔවුහු මහ රෑ ඇවදිව මොරදෙන්නේ තමන් යළිත් ශ‍්‍රී ලංකාවේ වධ කුටියක සිටින්නේ යැයි සිතාගෙන ය. බොහෝ දෙනෙක් සිය බිරියන් හා දරුවන් වන්නියේ දමා ආ පුරුෂයෝ වෙති. හමුදාවන්ගෙන් සිය පවුල්වලට තර්ජන එල්ල වෙතැයි කණස්සල්ලෙන්ද, සිය අයදුම්පත ප‍්‍රතික්‍ෂේප වී වැඩිදුර ‘පුනරුත්ථාපනයට’ ආපසු ලංකාවට යැවෙනු ඇතිදැ’යි බියෙන්ද නිරන්තර පීඩා විඳිමින් ඔවුහු සිය සරණාගත ඉල්ලීම සැළකීමට භාජනය වනතුරු අතීරණයේ දිවි ගෙවති.

ජාතික ගීය හා ප්‍රතිසන්ධානය

ලංකාවේ දමා ආ පවුල් සාමාජිකයින්ට එරෙහි පළිගැනීම් හා තර්ජනයන් බෙහෙවින් සුලබ ය. තමන් සොයාගැනීමට නොහැකි වීම නිසා සිය බිරිය රඳවා තබාගෙන සමූහ අතවරයට ලක්කළේ කෙසේදැ’යි එක් පුද්ගලයෙක් විස්තර කළේ ය. ආපසු ගෙදර ගිය ඔහු, ඇගේ ඉරුණු ඇඳුම්, ළැමෙහි වූ සපා කෑම් හා සීරීම් සලකුණු දුටුවේ ය. ඔහු ඇය රෝහලට ගෙන ගිය අතර, ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කැරිණි. ඒ පළමු දවසින් පසු ඔහුත් බිරියත් ඒ ගැන යළි කිසි දා කතා නොකළහ. ඔවුන් ගේ විවාහ ජීවිතය මැද තවත් බාධකයක් ඉදිවිණි.

මිනිස් සබඳතාවලට මේ සියලූ හානි සිදුවෙද්දීත්, ආදරණීය මිනිසුන් ගේ උපකාරය ඇතිව ලිංගික අපහරණයේ පෞද්ගලික ක්‍ෂතියත්, සමාජ  කැළලත් පරදවා නැඟී සිටි ශක්තිමත් දෙමළ ස්ත‍්‍රීහු ද බොහෝ වෙති. මෑතක දී විවාහ වී දරුවන් ද ලැබූ කිහිප දෙනෙක් මම දනිමි. සිය වධකයන් පරාජය කිරීමට ඇති හොඳම විදිය නැවතත් සතුටින් ජීවත් වීමට උත්සාහ කිරීමයැ’යි ඔවුහු තීරණය කර ඇත්තාහ. ඊට අසාමාන්‍ය පුද්ගල ධෛර්යයක් වුවමනා නමුත්, එමඟින් සමාවදීම හෝ සංහිඳියාව අදහස් කරන බවට මායාවක් තබාගත යුතු නැත. මේ තත්ත්වයේ සිටින කිසිවෙක්, තමන් මානසිකව හා කායිකව සහමුලින් වැනසීමට උත්සාහ දැරූ නමුත් තවමත් එසේ කළේ යැයි පිළිගැනීමට මැළිවන්නන් කෙරෙහි ද්වේෂයක් හා වෛරයක් සිතෙහි දරා නොසිටිතැයි සිතාගැනීමට අපහසු ය.

ප‍්‍රතිසන්ධානය යනු, ඔබ ජාතික ගීය ගායනා කරන්නට භාවිත කරන්නේ කුමන භාෂාවදැයි යන්නට වඩා බෙහෙවින් එහා ගිය එකක් විය යුතු ය.☐

ෆ්‍රාන්සස් හැරිසන්


© JDS