ගන්ධබ්බ ආපදානය: සෙල්වනායගම්ගේ පෙරළා පැමිණීම

සීතාම්බරපි‍ල්ලෛ සෙල්වනායගම් පුදුකුඩියිරුප්පුවේ විසූ පස් දරු පියෙකි. ගොවිතැන්බත් කොට සිය දරු පවුල රස්සා කළ ඔහු වන්නියේ අවසන් මිනිස් සංහාරය කූටප්‍රාප්තියට ළඟා වන්නට පෙරාතුව අතුරුදහන් වූවන් අතරට එක් විය. ඒ 2009 අවුරුද්දේ මුල් භායේදී ය. නමුත් පස් අවුරුද්දක් ඇවෑමෙන්, ඔහු සිය දූ දරුවන් සොයා පෙරළා පැමිණ තිබේ. ඒ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවක අහම්බෙන් පළ වූ සේයාරුවක වේශයෙනි. ඇතැම්විට ඔහු විසින් හෙළිකරනුයේ අතුරුදහන් දස දහස් සංඛ්‍යාත ජනයා‍ අතුරින් ඇතැමෙක් මුහුණ දී ඇති බියකරු ඉරණමින් අංශ්‍ර මාත්‍රයක් විය හැක. Colombo Mirror වෙබ් අඩවියට 'ජෙරා' විසින් ලියන ලද மாற்றத்தின் பின்னும் தொடரும் மறைந்தவர்களைத் தேடும் அவலம் ලිපිය සිංහලට නගා පළ කරන්නට අප කල්පනා කළේ, ඒ අංශු මාත්‍රික සත්‍යය පවා යුද විජයග්‍රහණයේ උත්කර්ශයෙන් තවමත් වසන්ව ඇති හෙයිනි.

පරිවර්තනය: අතුල විතානගේ සහ එස්.රාජ්කුමාර්


රෑ මැදියම ය. අසල්වැසි නිවෙස්වලින් නැගෙන රතිඤ්ඤා හඬ එළඹෙමින් ඇති ගොවියාගේ අවුරුද්ද - 'තෛපොංගල්' - පිළිබඳ මතකය අවදි කරයි. උද්‍යෝගීමත් ජනයා සූර්ය දෙවියන් බලාපොරොත්තුවෙන් සිටිත්. මගේ නෙත් යොමුව ඇත්තේ මගේ ෆේස් බූක් පිටුව වෙත ය. ඒ අතර වාරයේ මගේ අවධානය බිඳ දමමින් ජංගම දුරකතනයට ඇමතුමකි. ඒ 0777 05...... අංකයෙනි. 'පොංගල්  සුභ පැතුම් දැන්ම පටන් ගෙනැ'යි මම මුමුණමි.

“ මම මාලනී" එහා කෙළවරින් යෞවන හඬකි.  "මාව මතකද? ”

“මොන මාල නී .....ද? ”  වචන ඇද - පැද කියන අතරේම, කොහේ හෝ අසා පුරුදු ඒ කට හඬ කාගේදැයි සිහියට නගා ගන්න‍ට මම උත්සාහ කරමි.

“ආ.. ඉස්කෝලේ මාත් එක්ක ඉගෙන ගත්තු මාලනී ද?” මගේ උත්සහාය ව්‍යර්ථ නොවිණි.

“ඔව්” තනි වචනයක පිළිතුරකි. ඉක්බිති ඇය නිහඬ වූවාය. කලකින් නෑසූ මගේ පාසැල් වියේ මිතුරියකගේ හඬ!

ළමා වියේ මිතුරන් දෙදෙනෙක් දිගු කලක් ඇවෑමෙන් මුණගැසුණු විට දැනෙන ප්‍රමුදිත උද්‍යෝගය මා තුළ ද උපන්නා සේය.

"මේ...ඔයා නේද මාලනී? මෙච්චර කල්  කොහෙද හිටියේ?  දැන් කොහෙද ඉන්නේ? මොකද කරන්නේ?  කසාද බැඳලද ? අපිත්  එක්ක ඉගෙනගත්තු........කොහොමද? මෙයා කොහොමද....?" පාලනයකින් තොරව විසිරෙන ප්‍රශ්න වර්ෂාවකි. මගේ උද්යෝගීමත් හඬ රතිඤ්ඤා හඬ පරයා නැගෙයි. නමුත් ඇය මගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිටියේ දිගු කාලෙකින් පසු කතාබහට ලැබුණු සතුටත්, හෝරා කිහිපයකින් උදාවන පොංගල් උත්සවය හේතුවෙන් මතුව එන සතුටත් ගැන කිසිදු හැඟීමකින් තොරව මෙනි‍.

ළමා විය වෙනස් කාලයකි‍. මුළු ගමෙන්ම දවස් කීපයක් තිස්සේ  තෛපොංගල් උත්සවය සමරුවේ ඇගේ නිවසේ ය. කුඩා අවධියේ සිටම මම ඇය හොඳින් දනිමි. ඇගේ අප්පා වූ සෙල්වනායගම්, ගමේ සිටි කඩිසරම ගොවියෙකි. ඔහු, කමිසය ගලවා මුර මඩුවේ එල්ලා උදැල්ල ද රැගෙන කුඹුරට බැස්සේ නම් පරම්පරා ගණනාවක්ම  වුව කල් පවතින නියර ඇළ වේලි බඳින්නට සමත් යෝධ සවිබල ගොවියෙකැයි ගම්මුන් කීය. ගොවිතැනේදී  කිසිම තරුණයෙකුට ඔහු සමග කරට කර වැඩ කරන්න බැරි බව බොහෝ දෙනා ආඩම්බරයෙන් කියති. ඔහු ඒ සා සවි ශක්තිය තිබූ ගොවියෙකි.

මම ඇගේ පවුලේ අතීතය මතක් කරද්දී ඇය හඬා වැටුනාය.

“ඇයි මාලනී මොනවද වුණේ?”

“අප්පා  නැති වුණා" ඇය දිගටම හඬා වැටුණාය. "මේ ගැන ඔයාට කිව්වොත් ඔයා මීඩියා වල ලියලා අප්පා හොයාගන්න පුළුවන් කියල මට යාලුවෙක් කිව්වා. ඒකයි මම කෝල් කළේ.”

“අඬන්න එපා, මම උදේම එන්නම්,”  මම ඇය අස්වසාලීමි.

සිත සනසනු පිණිස, කිසිදු වැඩකට නැති වදනක් කියා සංවාදය කෙළවර කළ ද උදේ පාන්දර  5.30 ට මුලතිව් යන බසය කෙසේ හෝ අල්ලා ගන්නට මට හැකි විය.

“පුදුකුඩුඉරිප්පු  යන්න ඕනේ නැහැ. කයිවේලි වලින් බැහැලා, තිම්බිලි පැත්තට යන පාරේ ඇතුළට පයින් එන්න ඕනේ,”  ඇය කීවේ සිය ලිපිනය කියා අවසන් කරන්නටත් මත්තෙනි.

“එතකොට ඔයාලගේ මහ ගෙදර..?”

“ඒක  විකිණුවා!”

දවස උදා වූයේ ලොව පුරා දෙමළ ජනයාට සුවිශේෂ වූ තෛපොංගල් උත්සවය ද කැඳවා එමිනි. නියමිත ස්ථානයට බස් රිය ළඟා වනවිට උදා හෝරා ඉක්ම යමින් තිබිණ.

බස් රියෙන් බැසගත් මා වැලි පාරක් ඔස්සේ ඉදිරියට පා නැගුවෙමි. මාර්ගය දෙපස නිවෙස් හි විසූ‍වෝ තෛපොංගල් උත්සවය සමරති. අලුතින් ඉදි කෙරෙන නිවාස  වැඩබිම් වලද යුහුසුළුව වැඩ කරන මිනිසුන් ය . මා දැන් ඇවිද යන මාර්ගය, මේ ප්‍රදේශය විමුක්ති කොටි පාලනය යටතේ පැවති කාලයේ  පුදුකුඩිඉරිප්පු පිහිටි ඔවුන්ගේ කඳවුරුවලට පහසුවෙන් ළඟා විය හැකි කෙටි මාර්ගයක් ලෙස ප්‍රකට ය. කොටි සංවිධානයට අයත් විවාහ මංගල්‍ය උත්සව ශාලාවක් මාර්ගය කෙළවරේ තිබුණු නිසා එකල බොහෝවිට එහි පැවතියේ උත්සව සිරියකි. එහෙත් බිය සන්ත්‍රාසයේ ඕනෑ තරම් විය. කවර හෝ මොහොතක එල්ල විය හැකි ගුවන් ප්‍රහාර වලට බියෙන් ඔබමොබ යනෙ'න මිනිසුන්ගෙන්ද එකළ මෙහි අඩුවක් නොවිණ.

යුද්ධයෙන් පසු ඉතිරිව නටබුන් වූ ගේ දොර - කඩපිල් යුද්ධයේ විනාශය කියාපාන්නාක් මෙනි.මේ නටබුන් අතරින් ඇවිද ගිය වෙහෙසකර ගමනකින් පසු කෙසේ හෝ මා ඇගේ නිවෙසට සේන්දු වුනෙමි. ඒ වනවිටත් මා අවම වශයෙන් කිලෝමීටර් හයක්වත් ගෙවා දමා තිබුණාට සැක නැත.

දැන් මා සිටින්නේ ඇගේ නිවස ඉදරිපිට ය. මොහොතකට ඔබේ මතකය අවදි කොට ඔබ පොතක කියවූ හෝ සිනමාවේ දී දුටු, අන්ත අසරණ දුගීභාවය පිළිබඳ දසුනක් මෙනෙහි කරන්න! මගේ පාසැල් මිතුරියගේ නිවස වූ කලී ඒ දිළිඳු බව මනා සේ කියා පාන දුක්බර නිදසුනකි. ඇගේ මව හා  වැඩිමහල් සොයුරාත්,  බාල සොයුරිය හා සොයුරාත් සියල්ලෝම එක්වනම මා වටකරගත්හ.

“එයා අතුරුදන් වුණේ පච්චපුල්මොට්ටෙයි වලදී යි. ආනන්දපුරම් ප්‍රදේශයේ දී තමයි එයා යුද්දෙට මැදි වුණේ. හරිම අහිංසක බයාදු මනුස්සයෙක්. පොඩි වෙඩි ශබ්දයක් ඇහුනත් බංකරයට දුවනවා. ෂෙල් වෙඩි දිගටම ගහපු නිසා හොඳටම බය වුණා . කොහෙද යන්නේ කියල හිතාගන්න වත් බැරි වුණා. බැඳපු මගේ අනිත් ලොකු දුවත් එක්ක හමුදාව ඉන්න පැත්තට යනවා කියල එයා පිටත් වුණා. මම අනිත් ළමයි එක්ක මාත්තලන් වල කොටුවුණා."

මම මුනිවතින් අසා සිටිමි.

'මගදි හම්බවුණු කාගෙන් හරි, මේ දිගටම ගහන ෂෙල් වෙඩි වැටෙන්නේ කොහාටද කියල එයා අහල තියෙනවා. ඒ කෙනා කියල තියෙනවා ඔයාලගෙ ගෙදර කට්ටිය ඉන්න පැත්තට තමයි වැටෙන්නේ කියලා. ඒ අතරතුර ට්‍රැක්ටරයකින් ආපු හමුදාවේ කට්ටිය එයාව ට්‍රැක්ටරයේ දාගෙන අරන් ගිහින්. එයාගේ අයිඩෙන්ටි කාර්ඩ් එකයි, මුද්දයි, ෂර්ට් එකයි ගලවලා දුවට දීලා හමුදාව අරන් ගිහින්.”

ඇය වටකරගෙන සිටි ළමයින් නිහඬවම මවගේ කථාව සිටියේ ඇස පියක් හෝ නොහෙලමිනි. ඒ සෑම මුහුණකම,  අවසන් යුද්ධයේ අත්දුටු සිතාගත නොහෙන සැහැසිකම් මතකයට එන විට හටගන්නා  අඳුරු පීඩාව සිත්තම්ව තිබුණි. අසා සිටිනු හැර අන් කිසිවකු කතා නොකළහ.

“එදා ඉඳන් අප්පව හොයා ගෙන නොගිය තැනක් නැහැ. පුල්මොට්ටෙයි වලට ගියා. කන්තලේ ගියා. මඩකලපු ගියා. කොළඹ තියෙන හැම හිර ගෙදරකටම ගිහින් බැලුවා. ඒ එක තැනකවත් අප්පා හිටියේ නැහැ. ඒත් අතුරුදන්වූ අයගේ නම් ලැයිස්තුවේ  අප්පාගේ නමත් ඇවිල්ලා තිබුණා. රතු කුරුසේ , මානව හිමිකම් සංවිධාන , ජනාධිපති කොමිසම කියන හැම තැනකටම නම් ලැයිස්තුව භාර දීලා  අප්පව හොයල දෙන්න කිව්වා, හැමෝම හොයල දෙන්නම් කිව්වා, ඉන්නවා නම් කියන්නම් කීවා,” ඒ දැඩි නිහැඬියාව බින්දේ මාලනී විසිනි.

“අනේ පුතේ, මේ විදිහට හොයලා හොයලාම අපිට දැන් වෙහෙසයි. ඒ, කිසිම උත්තරයක් නැති හින්දා. ඊ ළඟට මොනවද කරන්නේ කියල හිතාගන්න බැරිව අපි අසරණයි. ළමයින්ගේ කෑම බීම පිරිමහගන්නයි - එයාව හොයාගන්නයි හැමදේටම තියෙන්නේ මේ ලොකු දරුවා වැඩකරලා හොයන කීය හරි තමයි,” කියන්නට ගිය දේ නිමා කරන්නටත් මත්තෙන් ඒ අම්මාගේ ඇසින් කදුළු කැට වැටෙන්නට විණ. ඊළඟ නිමේෂයේදී මවගේ කදුළු  දරුවන්ගේ දෑස් ද කඳුළින් තෙත් කෙරුණි.

කිසිවක් කර කියා ගත නොහී මගේ සිතිවිලි ද ගල් ගැසුනාක් මෙනි. මේ වැනි මොහොතක ඊළඟට ඇසිය යුත්තේ කුමක්ද? කිව යුත්තේ කෙබඳු සැනසිලි වදනක්ද?

“වැදගත්ම සිද්ධිය වුණේ ජනාධිපතිවරණය දවස්වල," හැඟුම්බර ඒ මොහොත බිඳ දමන්නට සිතාදෝ ඇගේ වැඩිමහල් පුත්‍රයා සිය හඬ අවදි කළේය.

"එදා ඡන්ද ප්‍රචාරක වැඩ කරපු දවසක්. මහින්දගේ කට්ටිය හැම තැනම දැන්වීම් පත්‍රිකා බෙදාහරිමින් හිටියා. මම ගත්තේ නැහැ. අත් හැරලා ගෙදර ආවා. අපේ බාප්පා පාරේ යනකොට ඒ ඡන්ද ප්‍රචාරක පත්‍රිකාවක අප්පාගේ ෆොටෝ එක තියෙනවා දැකල තියෙනවා. එහෙන් මෙහෙන් ඉරිලා තිබුණු පත්‍රිකාවක් එකතු කරලා බලනකොට ඒ ෆොටෝ එක අප්පා ගොවිපලක පැළවලට වතුර ඉහමින් ඉන්න එකක්. පස්සේ හැමතැනම ඇවිදලා බෙදපු පත්‍රිකා බලන කොට ඒ අපේ අප්පාමයි. කොහේ හරි ගොවිපොළක අප්පාව  තියාගෙන වැඩ ගන්නවා. අප්පා සාමාන්‍යයෙන් වැඩ කරන කොට කමිස අඳින්නේ නැහැ.”

ඔහු කතාව අවසන් කිරීමට මත්තෙන්ම මව, එකතු කරගත් දැන්වීම් පත්‍රිකාද,  ඊට පෙර ගත් ඡායාරුප සියල්ලක්මත් රැගෙන විත් පෙන්නුවාය. "මේ ෆොටෝ එකෙත් එහෙමයි. බලන්න මේ එයාගේ කැරලි ගැහුණු කොණ්ඩෙමයි.”

“ෆොටෝ සංසන්දනය කරද්දී කිසිම වෙනසක් නැහැ. අවුරුදු පහක් ඇතුළෙදි වයස එක්ක ඇතිවුණු වෙනස නම් අප්පාගෙන් පේනවා,” මාලනීගෙන්  සේයාරූ ගැන පෙරළා‍ විස්තරයකි.

“අපි මේවා අරන් රතු කුරුසේට ගියා, මානව හිමිකම් කොමිසමට ගියා, ඒගොල්ලෝ කියනවා මේ දැන්වීම් මුද්‍රණය කරපු තැන් කොහෙද කියල හොයලා දෙන්නලු. අපිට පුලුවන්ද මහින්ද රාජපක්‍ෂගේ දැන්වීම් මුද්‍රණය කරපු තැන් හොයල දෙන්න? මේ පැත්තේ මේ දැන්වීම් බෙදපු කෙනා ඡන්ද පරාජයෙන් පස්සේ ගෙවල් දොරවල් අත්හැරලා ගිහින්. මේ දැන්වීම් පත්‍රිකාවල ඉන්න අයත් ලොකු දේශපාලකයෝ. අපි කොහොමද ඒ අය ගාවට යන්නේ?"  ප්‍රශ්නාර්ථයක් සමගින් කතාබහ හමාර කළේ ඇගේ වැඩිමහල් පුතුයි.

ඉක්බිති නිහැඬියාවකි. මගෙන් ලැබෙන පිළිතුර කෙරෙහි අපේක්‍ෂාවෙන් සියල්ලෝ බලා සිටිති. එත් මට කළ හැක්කේ කුමක්ද? 

"මම ලියන්නම්. බලමු,”  මම ඔවුන්ගෙන් සමුගන්නට සැරසුනෙමි. පවුලේ සියල්ලෝම මා ඇරලවන්නට මිදුල කෙළවර තෙක්ම ආහ. මාලනීගෙ මව තවත් පියවර කිහිපයක් ඉදිරියට ආවාය.

“පොඩි දුව කැම්පස් තේරිලා, ඒත් යන්න සල්ලි නැහැ. මාව  ඇයි කැම්පස් යන්න තේරුණේ, වෙන කාට හරි ඒක ලැබෙන්න තිබුනේ කියලා පොඩි දුව දිගටම අඬනවා.  පුතේ... කොහොම හරි එයාව අපිට හොයලා දෙන්න," කිසිදු හව්හරණක් නොමැතිව අසරණ වූ ඒ අම්මාට සැනසිලිදායක වදනක් කීමට නොහැකිව මම අසරණ වීමි.

ගල් බොරළු විසිරුණු ගුරු පැහැ මග දිගේ ආපසු එමින් සිටියදී, මාලනීගේ සොයුරාද මා පසු පස ආවේය.

"අප්පව කොහොම හරි හොයල දෙන්න අයියා,"  ඔහුටද පිළිතුරක් මා සතුව නොමැත.

මා කියන්නේ කුමක්ද? කිව හැක්කේ කුමක්ද? ඔබ මෙවැනි තත්වයකට පත් වී නම් ඔබ කුමක් කියනු ඇතිද?

සිය සන්තකයේ සුරැකි ඡායාරූප රැගෙන අතුරුදන්වුවන් සොයා ගිය අයට දැන් සිදුව ඇත්තේ ඡන්ද දැන්වීම් පත්‍රිකා රැගෙන අතුරුදන්වුවන් සොයා යන්නට ය. එසේ මැකී ගියවුන් නැවත සිය දරු පවුල් සොයා එන දිනයක් ළඟ එත්දැයි මම නොදනිමි. ඇතිවී තිබෙන 'යහපාලන යුගයේ' කවර හෝ අයුරකින් පිහිටවන්නැයි කියා කවුරුන් හෝ අබියස දණින් වැටී බැගෑපත් වනු හැරෙන්නට ඔවුන් කුමක් කරන්නද?☐

©  JDS

වෙනත් ලිපි
ජනාධිපතිවරණය:
මුලතිවූ ඡන්දයේ රහස සොයා ගියෙමි