ආඥාවට එරෙහිව ප්‍රඥාව: දෙවෙනි කොරෝනා රැල්ල මැඩලිය හැක්කේ කෙසේද?

සුගිය දා උදෑසන ‘ස්වර්ණවාහිණී පත්තරේ’වැඩ සටහනේ පෙනී සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, මේ වන විට නව කොරෝනා පොකුරින් රට පුරා අසාදිතයන් බවට පත්වූවන් 1899 ක් රෝහල් ගත කර ඇති බවයි. ඒ මෙම ඔක්තෝම්බර් 04 දා සිට 17 දා දක්වා දින 13 ක් ගත වෙද්දී ය. ඔහු පෙන්වා දුන්නේ මේ තතු යටතේ වුවත් මුලු රටම වසා දැමීමට කොරෝනා කාර්ය සාධක බලකායේ අදහසක් නොමැති බව ය. කමිටුව අදහස් කරන්නේ ලොව ගෙන යන ‘නව සාමාන්‍යකරණය කිරීම’ යන ප්‍රතිපත්තිය පරිදි රට ලොක් ඩවුන් කිරීම නොව, ආසාදනය වීමෙන් වැළකී සිටීමේ ක්‍රියාමාර්ගයන් භාවිතයට ලීම බවය. කමිටුව නියෝජනය කරන වෛද්‍ය අංශවලත් මතය එයම බව ඔහු එහිදී කීවේ ය.

එසේ ආසාදනය වීමෙන් වැලකීම මුල්කර සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් 2020 ඔක්තෝම්බර් 15 දාතමින් නිකුත් කර ඇති
අති විශේෂ ගැසට් පත්‍රයේ පරමාර්ථය වනුයේ රටවැසියන්ට දඩුවම් කිරීම නොව, එම ‘නව සාමාන්‍යකරණය කිරීමේ’ ක්‍රියාමාර්ගයන් ගැනීමේ අනිවාර්යතාවය දැඩිව අවධාරණය කිරීම බවද ඔහු වැඩිදුරටත්පෙන්වා දුන්නේ ය. (මේ ඔහුගේ වචන නොව, ඔහු ගේ පැහැදිලි කිරීම මා තේරුම් ගත් ආකාරයට සංක්‍ෂිප්ත කිරීමකි. එහි අඩුවක් තිබේ නම් සංශෝධනය කළ හැකිය.)

එහි දී ඔහු ගැසට් නිවේදනයේ ඇතුළත් මූලික කරුණ 04 සැකෙවින් ඉදිරිපත් කළේය.

1. ප්‍රසිද්ධ ස්ථානවල සැරිසැරීමේ දී අවශ්‍යයෙන්ම මුහුණු ආවරණ පැළඳීම.

2. තමන් හා අනෙකා අතර මීටරයක පරතරය පවත්වා ගැනීම.

3. පරිශ්‍රයකට ඇතුල්වන සැමගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම හා බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇති අවම ශරීර උෂ්ණත්වයට වැඩි කිසිවකු පරිශ්‍රයට ඇතුල් කර නොගැනීම.

4. පරිශ්‍රයකට ඇතුල්වීමට එන සැමගේ අත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා තිබීම, යනු එම කරුණු හතරයි.

මෙහි දී පොලිස් මධ්‍ය ප්‍රකාශක තවදුරටත් පැහැදිලි කර සිටියේ, මෙහි එන පළමු කරුණු දෙක පිලිබද වගකීම පුරවැසියන්ට පැවරෙන අතර, 3 හා 4 වන කරුණු දෙක ආයතන බලධාරීන් විසින් සැපිරිය යුතු බව ය.

ඒ අතර ගැසට් නිවේදනය නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටි නි‍යෝග කඩ කරන්නන්ට දෙන දඬුවම් ගැන එම ගැසට් නිවේදනයේ සඳහන් නොවේ. ගැසට් නිවේදනයේ අවසාන 4a පිටුවේ තුන් කාලකටත් වඩා ඉඩ ඇති බැවින්, දඬුවම් පිළිබඳ වගන්ති ඇතුළත් කිරීමට ඉඩ මදි වූවාය යි සිතීමට ද බැරිය. එසේ නම් දඩුවම් මොනවා දැයි ඇයගේ මුවින් පිටවීමෙන් පසු ඒවා පනතක් ලෙස සැලකෙන බව ද අප සිතිය යුත්තේ?

ගැසට්ටුවේ වෙනස්කොට සැළකීමේ ස්වභාවය

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ පැහැදිලි කිරීමේ දී මෙන්ම, ගැසට් නිවේදනයේ දී ද වසංගතය මැඬලීම සම්බන්ධයෙන් රජයේ විවිධ අංශවල බලධාරීන් ගත යුතු ක්‍රියාමාර්ග හා එම ක්‍රියාමාර්ග ගැනීමේ දී අනුගමනය කරන මානුෂික ප්‍රමිතීන් කිසිත් සඳහන් වී නැත. ඒ අනුව ජනතාව තමන් කළ යුතු දේ විනා, වෙන දේ ගැන දැනුවත් වීමක් අවශ්‍ය නැතැයි අමත්‍යවරිය සලකන සෙයකි. ඉන් පෙනෙන්නේ මේ ගැසට් නිවේදනය ප්‍රජාවගේ කරපිට පැටවූ බරක් බව ය. එහි බොහෝ අවධාරණයන් වටින්නේ ය. නමුත් මේ අසමතුලිත භාවය නිසා එම වටිනාකම හීන වී, ප්‍රශ්නය මහජනයාගේම කරපිට පටවා ඇති ලෙසක් දිස් වේ.

නමුත් මේ අසමතුලිතතාවය සමස්ත ප්‍රජාවටම බලපාන ප්‍රශ්නයක් නොවේ. එනිසා මෙයින් දරුණු වෙනස් ලෙස සැලකීමේ ස්වාභාවයක්ද මතුවෙයි.

ඉහල මධ්‍යම පංතික හා ධනපති ප්‍රජාවට මේ කිසිවක් බල නොපානු ඇත. ඔවුන් පොදු ප්‍රවාහනය යොදා නොගනී. පෝලිම්වලට නොගොස් බඩු ලැයිස්තුව ඔන්ලයින් ඇනවුම් කිරීමෙන්, ඔවුනට ගෙදරටම සුපර් මාකට්වලින් අවශ්‍ය දෑ සපයා ගත හැකිය. ඔවුන් හා මේ වෙළඳසැල් අතර මෙන්ම, ඔවුන්ගේ බැංකු ගනුදෙනු සිදුවන්නේ ද විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමවලට ය. ඒ නිසා ඔය කියන කරුණු දෙකෙන් එකක්වත් ඔවුන්ට අදාළ නොවේ. සාප්පුවකට ගියත් ඩෙබිට් කාඩ්/ක්‍රෙඩිට් කාඩ් භාවිතා කළ හැකිය. ඒ අනුව මුදල් නෝට්ටු හෝ කාසි මගින් වෛරසය සම්ප්‍රේෂණය වීමේ අනතුරද පැන නොනගී. ඔවුන් තම සේවා ස්ථානවල සිටින්නේ වීදුරු හෝ පොලිතීන්වලින් ආවරණය වී ය. එබැවින් මේ අයකුගේ සිරුරට වෛරසය පැමිණියොත් ඒ ‘පූරුවේ කරුමයකටම’ ය. ඒ ගැන නම් වගවීමට කිසිම වගකිවයුත්තකු බැඳී නැත. ඒ ‘කරුමක්කාරයන්ව’ කොරොන්ටයින් වීමට කඳවුරු කරා ගෙන යෑම ද මේ ලිපිය ලියන මොහොත වනවිට අවශ්‍ය නොවේ. ඔවුන්ගේ මන්දිරවල නැතිනම් පුද්ගලික රෝහල්වල දී ඒවා කරගත හැකි ය. සියල්ලටම වඩා විවිධ හේතු මත ඔවුන් මත ආරෝපනය වී ඇති ප්‍රභූත්වයේ සැළකිල්ල ද මෙහි දී විවිධ ලෙසින් ප්‍රයෝජනවත් වේ.

එසේ නම් මේ ආසාදනය වීමේ හෝ ආසාදනය සම්ප්‍රේෂණය කිරීමේ වගකීම්වලින් බැඳෙන්නේ කවුරුන්ද? සමහර පහළ මධ්‍යම පාංතිකයන්, කම්කරුවන්, ගොවියන් ඇතුළු සාමාන්‍ය ජනතාව ය. ඔවුන්ගේ වැදගත්කමක් මේ පාලකයන්ට ඇත්තේ ශ්‍රමිකයන් ලෙස පමණි. එවැන්නවුන්ට පුද්ගලයන් වශයෙන් ගරුත්වයක් ඇතැයි මොවුන් කිසිදා සිතා නැත; සිතන්නේ ද නැත. ඔවුන් පිළිබඳ පාලක ආකල්පය මෙබඳු එකකි: 'ඔවුහු රැවටීමටත් අවමානයටත් සුදුස්සෝ ය. වසංගත වාහකයන් වන්නේත් සෞඛ්‍යාරක්ෂිත බවෙන් තොරව, තද බද වූ ප්‍රදේශවල, නිවෙස්වල, නවාතැන්වල ගාල් වී සිටින ඔවුන්ය. ඔවුන්ට හොදින් කථා කළාට තේරෙන්නේ ද නැත. එවිට ගෝනි නැතිව කරේ නගී. එබැවින් තේරෙන භාෂාව වන රෞද්‍ර ප්‍රකාශන බියගැන්වීම යොදා ගත යුතු ය. උන්ගේ ප්‍රමාණයක් විනාශ වී ගියත් තව අය උපදිනු ඇත. මේ සියලු තතු යටතේ උන් සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ මෙන්න මේ මානුෂික ප්‍රමිතීන් අනුව යයි, මේ වටිනා කියන ගැසට් පත්‍රවල සඳහන් කරනු කුමටනිකන් බෙහෙත් දී, කන්න බොන්න දී, නිරෝධායනය කරද්දී තව මොන ගරු කටයුතු සැළකීම්ද?

ආසාදිතයන් හා ආශ්‍රිතයන් සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමේ දී මානුෂික හා ගරුත්වය රැකෙන පරිදි ක්‍රියාකිරීම පිළිබඳ ප්‍රමිතියක් ගැන ප්‍රශ්නයක් මතු වන්නේ, කෝවිඩ් 19 ව්‍යාප්තියේ පොදුවේ පවතින මේ පංති ස්වාභාවය නිසා ය.

‘නව සාමාන්‍යකරණය කිරීමේ’ ක්‍රියාමාර්ගය

කෝවිඩ් 19 වසංගතයේ මූලාරම්භයේ සිටම ඉවසිලිවන්ත කරුණු දක්වන්නකු ලෙස කවුරුත් දන්නා කියන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ මේ පැහැදිලි කිරීම අනුව කිසිදු අවුලක්, තර්ජනයක් හෝ ගර්ජනයක් නැත. කළ යුත්තේ තමන්ට පැවරෙන මේ කුඩා වගකීම සපුරාලීමට කල්පනාකාරී වීම පමණි. එවිට ‘නව සාමාන්‍යකරණය කිරීමේ’ ක්‍රියාමාර්ගය සාර්ථක වේ. වසංගතය යට යයි.

නමුත් තත්ත්වය එතරම් සරල යයි අපට නොපෙනේ. තවත් ගැටලු ගණනාවක් තිබේ.

මේ මස මුල දී ඇඟලුම් සේවිකාවක් ආසාදිත බව හදුනා ගැනීමෙන් ආරම්භ වූ මේ නව කොරෝනා ආසාදිත රැල්ල, දිනෙන් දින අඛණ්ඩව වර්ධනය වෙමින් යන නිසා විවාදිත ප්‍රශ්න දෙකක් වෙත විශේෂයෙන් නෙත් යොමු කළ යුතු ව ඇත්තේ ය.

පළමුවැන්න, මේ ආසාදිතයන් ස්වේච්ඡාවෙන් සෞඛ්‍ය අංශ වෙත අනාවරණය වීමට දැක් වූ මැලිකම යි (සැබැවින්ම ගැසට් නිවෙදනයේ සැබෑ පසුබිම එම තත්ත්වය බව අපි සිතමු).

දෙවැන්න, ගතවූ ආසාදන යුගයටත් වඩා මෙවර සෞඛ්‍ය බලධාරීන්ගේ පුරෝගාමීත්වය පසුබාමින්, සන්නද්ධ හමුදා භට පිරිස්වල ක්‍රියාකාරීත්වය ඉස්මත්තට පැමිණීම යි.

මේ ඇඟලුම් සේවකයන්ට වහාම ළඟම පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙස අවසාන නිවේදන නිකුත් කෙරිණි. ඒ වෙනුවට ළඟම සිටින ආරෝග්‍ය ශාලාවට වාර්තා කරන ලෙස නොකීවේ ඇයි? එසේ වාර්තා කළ කල්හි, අදාළ පරීක්ෂණද කර අවශ්‍ය යොමු කිරීම් කිරීම කළ හැකි අතර ‘බිය’ මතු නොවීමෙන් කව්රුත් ඉදිරිපත් වීමට මැලිකමක් මතු නොවේ.

ඒ වෙනුවට ‘වාර්තා නොකළොත් බලා ගනිමු’ පන්නයේ අවධාරණයන් ද අනියමින් නමුත් කෙරිනි. මේ ‘නව සාමාන්‍යකරණය කිරීමේ’ පිළිවෙත සමඟ සංත්‍රාසය ක්‍රියාවට දැමීම ගැලපෙන්නේ කෙසේද?

මීට අමතරව, තුන්වනුව රෝගය පාලනය කිරීමේ දී වැදගත්වන කොරොන්ටයින් ක්‍රියාමාර්ගයන් මෙවර නොපැහැදිලි තත්ත්වයක පැවතීම ය.

මෙසේ ආරක්ෂක අංශ තමන් උගත් ශිල්පක්‍රම අනුව, පෘතුල විමර්ෂණයන් මගින් සබඳතා ගවේෂණයේ ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකරමින්, මෙම කම්කරුවන් සොයාගත් අතර, පීසීආර් පරීක්ෂණයන් පෙන්නුම් කළේ ඔවුන් අසාදිතයන් බවය. ඔවුහු, මේ ලියන මොහොත වනවිට, දිස්ත්‍රික් 25 න් 21ක තවත් ආසාදිතයන් සොයා ගෙන ඇත්තාහ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසා තිබුනේ “අපගේ මූලෝපායය පෙර වතාව හා සමානයි. ඒ වනාහී, හඳුනාගැනීම, හුදකලාව තැබීම හා හමුවන ආසාදිතයන්ට ක්ෂණික ප්‍රතිකාර ලබාදීම යි. මෙවර අපිට මැදිවයසේ හා වැඩිහිටි ආසාදිතයන් වැඩියෙන් මුනගැසුනා”යි යනුවෙනි.

වෙළඳ කලාපයේ කොරෝනා මෙහෙයුම්

අපි, මේ මතුපිටින් සිදුකෙරෙන දෙයෙහි අභ්‍යන්තරයේ ඇති සංවේගජනකව තත්ත්වයන් ගැන දැන් යොම විය යුතු වෙමු.

ඒ ප්‍රශ්න ප්‍රසිද්ධ ජනමාධ්‍ය මගින් සාකච්ඡාවට භාජනය නොකෙරේ. ඒ මේ ජනමාධ්‍යවල ආකල්පයත් අප ඉහත පෙන්වා දුන් පංතිමය වෙනස් කොට සැළකීම් පදනම් කොට ඇති නිසා යයි අපි සිතමු. ජනමාධ්‍ය යම් යම් දුක් ගැනවිලි ඉදිරිපත් කරයි. ඒ, මංමාවත්-පාලම් නැතිකම, ගෙවල් නැතිකම, පාසල්වල අඩුපාඩු ආදී වශයෙනි. නමුත් මනුෂ්‍ය ගෞරවයට හානි වන අයුරින් හැසිරීම, අසමානව සැළකීම, ගැරහීම හා අවමානයට පාත්‍ර කිරීම යනාදී කරුණු සාකච්ඡාවට නොගැනේ. මේ අත්දැකීමට මුහුණ දුන් කම්කරු කාන්තාවන්ගේ හඬවල් මේ දිනවල වෘත්තීය සමිති හා මානව හිමිකම් සංවිධාන මගින් පමණක් ඉදිරිපත් වී තිබේ.

දැන් අපි ඔවුන්ගේ කතාවට මදක් ඇහුන්කම් දිය යුතු ය. එහි දී මතක තබාගත යුතු වන්නේ, අද බැරෑරුම් වසංගතයකට මුහුණ දී සිටින මේ ඇඟලුම් කර්මාන්තයේ 37,000 ක් වන කම්කරු කාන්තාවන් මාස කිහිපයකට පෙරදී, දෙමාසයක ඇඳිරි නීති කාලයකට මුහුණ දී රැකියා, වැටුප් අහිමිව මහත් පීඩා විඳි අය බවයි. ලංකාවේ ප්‍රමුඛතම විදෙස් විනිමය අදායම් මාර්ගයක් වන්නේත් ඔවුන්ගේ ශ්‍රමය බව කසිසේත් අමතක නොකළ යුතුය. මේ කරුණු අමතක නොකළ යුතු මුත්, අද ඔවුන් මුහුණ දී සිටින්නේ අමතක කර තිබීමේ කම්පාවටය.

අපි දැන් අප මූලික ලෙස මතු කිරීමට යන, කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේ නිරත බලධරයන් ගේ ‘මෙහෙයුම්’ පිළිබඳව ප්‍රමිතියක් නැති කමේ ප්‍රශ්නයට යළි එමු. එහි දී දැනට ඇති විවිධ වාර්තා අතුරින් මරිසා ද සිල්වා විසින් ඉදිරිපත් කර ඇති සංයුක්ත වාර්තාවක එන කොරන්ටයින් ‘අත් අඩංගුවට පත්’ කටුනායක ඇගලුම් සේවිකාවන් පිරිසකගේ ප්‍රකාශ කිහිපයක් පදනම් කර ගැනීමට ලියුම්කරු අපේක්ෂා කරයි. කොරන්ටයින් ‘අත්අඩංගුවට පත්’ යන යෙදුමට විරෝධයක් ඇති විය හැකි මුත්, මේ සිද්ධිවාචකය ඒ කම්කරු කාන්තාවන්ගේ මුවින් පිටවන අයුරු දකින කල, එම යෙදුම නිවැරදි බව පෙනෙනු ඇත.

ඒ ඔක්තෝබර් 11 වන දින (ඉරිදා) යි. එදින රාත්‍රී 10.30 ට පමණ කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සේවකයින් 45 දෙනෙකු (කාන්තාවන් 25 ක්, ගර්භනී කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු ඇතුළුව) හමුදාව විසින් බස් රථයකින් නංවා ගෙන කළුතර පිහිටි තාවකාලික නිරෝධායන පහසුකම් සපයන ස්ථානයක් වෙත ගෙන ගොස් තිබේ.

අත්දැකීම 01: “අපේ දේවල් එකට එකතු කරගෙන බස් එකට නගින්න අපිට දුන්නේ තත්පර ගානක්. ඇඳුම් පැක් කරගන්නවත් අපිට වෙලාවක් දුන් නෑ. අඩුම තරමේ පනාවක් දාගන්න වෙලාවක් දුන් නෑ. පැනලා යන්න හදන්න එපා, පැත්තම වටලලා තියෙන්නේ කියලා හමුදාව අපිට කිව්වා” යි එසේ ගෙන ගිය එක් කාන්තාවක් පවසා ඇත.

මේ අස්වාභාවික කඩිමුඩියත්, බලහත්කාරයත් ඇති කළ සංත්‍රාසය නිසා තමන් තුළ ඇති වූ හැඟීම තවත් කම්කරු කාන්තාවක් පල කර ඇත්තේ මෙසේ ය: “ඒ කට්ටිය (හමුදාව) අපට සැලකුවේ හිරකාරයෝ වගේ. හරියට අපි ජාතික අපරාධයක් කළා වගේ”.

ඒ අතර තමන් වේයන්ගොඩට ගෙනයන බව පවසන ලද මුත්, රැගෙන ගොස් තිබනේ කළුතර ප්‍රදේශයේ හුදකලා ස්ථානයකට බවත්, එය දුරකථන සංඥා පවා ඉතා අඩු තැනක් බවත් ඔවුන් පවසා ඇත.

අත්දැකීම 02: ඒ රැයේම 12.30 ට පමණ ඇවරිවත්තේ දී තවත් සේවකයින් 53 (කාන්තාවන් 35 ක් සහ දරුවෙකු ඇතුළුව) ක් නිදි ඇඳෙන් බස්සවා රථයකට නංව‍ෙගෙන ඉහත කී කළුතර ස්ථානයට ගෙන ගොස් ඇත.

“රෑ මැද්දේ හමුදාව ඇවිත් අපිට අපේ උවමනා බඩු පැක් කරගෙන බස් එකට නගින්න විනාඩි 10 ක් දුන්නා.” මේ කඩිමුඩිය ගැන නම් හමුදා භටයන් එවේලේ තම දුක් ගැනවිල්ල මෙසේ කියූ බව කම්කරු කාන්තාව පවසා තිබේ. “අපි නිදි නැතුව දිගටම වැඩ කරලා මහන්සි වෙලා ඉන්නේ, ඒ නිසා එයාලට පරක්කු කරන්න එපා කියලා හමුදාව අපිට කිව්වා”.

ඇයට තමන් නිරෝගීව සිටින බව පෙන්වීමටවත් අවස්ථාවක් ලැබී නැත. “මගේ පීසීආර් පරික්ෂාව නෙගටිව් කියලා මට රිපෝර්ට් එක හරියටම ආවේ මේකට දවස් දෙකකට කලින්. ඒකවත් කියන්න අවස්ථාවක් දුන්නේ නෑ.”
ඇගේ කම්පාව පැහැදිලි ය.

“කාටවත් කතා කරන්ඩ එයාලා ඉඩක් තිබ්බේ නෑ. බස් එකට දක්කාගෙන ගිහින් අපිව මෙහෙ ගෙනත් දැම්මා” යැයි මේ කියන කලුතර මධ්‍යස්ථානයට ගෙන ආ සේවිකාවක් පවසා තිබේ.

මේ වාහන කටුනායක, සීදූව, මීගමුව සහ අමන්දොලුව යන ප්‍රදේශවලින් තවත් කම්කරුවන් එකතු කර ගෙන කළුතරට ගමන අරඹන විට හිමිදිරියට ද ළඟා වී තිබූ බව සේවිකාවන් පවසා තිබේ.

අත්දැකීම 3: කලුතරට ළඟාවන තෙක් ඔවුන්ට කිසිම ආහාරයක් තබා වතුරවත් ලබා දී නොතිබුණි. එහි ගිය පසු ඔවුන්ට ආහාර ටිකක් ලබා දී තිබුණත් ඒවා ආහාරයට ගත නොහැකි තත්ත්වයේ විය. මෙම ආයතනය පිරිසිදු කර නොතිබූ අතර, උතුරා ගිය වැසිකිළි පිලිකුළ දැනවීය.

දින දෙකක් ගත වන තුරුත් කිසිදු සෞඛ්‍ය වෘත්තිකයෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු හෝ ඔවුන් පරීක්ෂා කිරීමට පැමිණියේ නැත. සිටියේ හමුදාව පමණි. මධ්‍යස්ථානයට රැගෙන ඒමට පෙරත්, පසුත් සේවකයෙකු සම්බන්ධයෙන් පීසීආර් පරීක්ෂණ පවත්වා නැත. “වෛද්‍යවරයකු අප බැලීමට එන බවට කටකතා අපට අසන්නට ලැබුනා”යි අයෙක් පැවසූ නමුත් එවැන්නෙක් 13 දා වන විටත් පැමිණ සිටියේ නැත.

ඒ වන විට කම්කරුවන් 400-500 ක් පමණ දෙනා මෙතුළ සිටින බව කම්කරුවන් විසින් පවසා තිබේ. කාමරයක කම්කරුවන් 6-7 ක් දක්වාත්, ඇතැම් ඒවායේ කම්කරුවන් 3-5 දක්වා ප්‍රමාණයකුත් සිටියි. කම්කරුවන් 30 කට පමණ, ස්නානය කිරීමේ කාමර දෙකක්, වැසිකිළි දෙකක් සහ සින්ක් දෙකක් බැගින් බෙදා තිබේ.

හොඳ ආහාර පොරොන්දු වූ නමුත් මේ වන තෙක් ලබාදුන් ආහාර නුසුදුසු තත්ත්වයේ තිබුණි. එක් අයෙකුට හෝ සමහර කම්කරුවන්ට ආසාදනය වී තිබේ නම්, මෙම තාවකාලික පහසුකමෙහි නිසි ආරක්‍ෂිත ක්‍රියාපටිපාටියක් නොමැති නිසා ඔවුන් සියල්ලන්ටම වේගයෙන් රෝගය ව්‍යාප්ත වනු ඇතැයි කම්කරුවෝ බියෙන් පසුවෙති.

අත්දැකීම 04: “මේ කාමර වල බිම දුවිලි - වැසිකිළි හොඳටම අපිරිසිදුයි. අපිට මේ වගේ ජිවත්වෙලා පුරුදු නෑ. ඒ නිසා අපිම කාමරයි, වැසිලිකිළියි සුද්ධ කළා. අපිට දිගටම මෙහෙම ජිවත් වෙන්න උනොත් මැරෙන්නේ කොරෝනා හැදිලා නෙවෙයි, වෙන ලෙඩක් හැදිලා මේ ජරාවේ ඉදලා.” යි ඔවුන් පවසා තිබේ.

අත්දැකීම 5: “මට හෘදයාබාධයක් ඇතිවෙලා තියෙනවා. සිරවීම් දෙකක් සිදුවුණා. මම ගොඩක් බෙහෙත් බොනවා. මම දැන් මෙහේ ඉන්න නිසා මට කොරෝනා හැදුනොත් මම නම් මරණයෙන් බේරෙන එකක් නැහැ. මේ ස්ථානය බල්ලන්ටවත් සුදුසු නැහැ.” ඒ තව සේවකයෙකුගේ ශෝකාලාපයයි.

'අපිට පුළුවන් අපි ගැන තීන්දු ගන්න'

“අපි ඔක්කොම ස්වයං නිරෝධායනයට ලෑස්ති වෙලා හිටියේ. ළඟ ඇනෙක්ස් එකේ සහෝදරියෝ දෙන්නෙක් කොරෝනා පොසිටිව් කියලා ආරංචි උන නිසා අපි ගෙවල්වලට රුපියල් 20,000/- කට කිට්ටු වෙන්න බඩුත් අරන් ගෙදර නවතින්න හිටියේ, අපි හරිම පරීක්ෂාවෙන් හිටියේ. අර සහෝදරියෝ ඒ දෙන්නට අසනීපයි වගේ දැනිලා තිබ්බ නිසා, මීගමුවේ හොස්පිට්ල් එකකට ගිහින් පුද්ගලිකව ටෙස්ට් කරලා පොසිටිව් කියලා දැන ගත්තට පස්සේ ස්වයං නිරෝධායනය වෙලා තිබ්බා. හරි නම් ආණ්ඩුවට කරන්න තිබ්බේ හැමෝම පරික්ෂා කරලා, පොසිටිව් අය අනෙක් අයගෙන් හුදකලා කරලා, අනික් හැමෝම ස්වයං නිරෝධායනයට යවන එකයි. ඒකට හේතුව, අපිට වෙනම ඇනෙක්ස්, ටොයිලට් පහසුකම් තියෙන නිසා. තමන් ඔක්කොම පාලනය කරගෙන ඉන්න ඕනෑ කියලා ආණ්ඩුව හිතනව ද මන්ද? අපිට සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පාවිච්චි කරන්න කියලා බන කියලා, බස් වලට එක ගොඩේ පටවාගෙන ඇවිත්, මේ සනීපාරක්ෂාවක් නැති, කිසිම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක නිරෝධායනය කරනවා” යැයි කම්කරුවෝ තම කම්පාව පළ කර ඇත්තාහ.

“සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්, නිරෝධායන රෙගුලාසි පිළිපැදීමට අප විරුද්ධ නැහැ. නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. අප සමඟ කටයුතු කිරීමට එවන අය කවුරු උනත් අපට මානුෂිකව හා ගෞරවයෙන් සැලකීමට පුහුණු කරන්න.”

“අපේ මේ ගෑනු අය රෑ මැද පටවාගෙන ගෙනාවා විතරක් නෙවෙයි, අඩුම තරමේ කොහෙටද ගෙනියන්නේ, මොකටද ගෙනියන්නේ කියලවත් කිව්වේ නෑ. අපිට අයිතියක් නැද්ද අපි කොහෙටද ගෙනියන්නේ කියල දැනගන්න? අපිට අයිතියක් නැද්ද අපිට මොකද වෙන්නේ කියලා දැනගන්න? අපි මේ රටේ මහන්සි වෙලා වැඩ කරල ජීවත්වෙන මිනිස්සු මිසක් යාචකයෝ, නෙවෙයි !” යැයි ඔවුහු වේදනාවෙන් පැවසීය.

පිටස්තරයකුගේ අදහස්

මනුෂ්‍යත්වය කම්පා කරවන කථාවන් කෝවිඩ් 19න් ගැලවීමේ ක්‍රියාමාර්ග තුළ ඇති බව මේ තොරතුරු මගින් පෙනෙයි. ඉන් කියන්නේ කොරෝනා පාලනයට මූලික විය යුත්තේ බිය සංත්‍රාසය සමාජ ගැන්වීම නොව, අවබෝධය ඉහල නැංවීම බව ය.

උක්ත කතාන්දරය පෙන්වන්නේ බොහෝ තන්හි ඒ අවබෝධය හොඳාකාරව පවතින බව ය. එවන් තන්හි ස්වේච්ඡාවෙන් නිරෝධායනය වෙමින්, තමන්ට තමන් පිළිබඳ බලාගැනීමට පුළුවන් බව ඔවුන් බොහෝදෙනා පවසති. එසේ නම් කළ යුත්තේ එසේ ස්වේච්ඡාවෙන් නිරෝධායනය වන්නවුන් වෙත කඩා පැන වියවුල් හෑදීම නොව, ක්‍ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරීන්ගේ විමර්ශන ඉහල නංවා, අඩපාඩු සැකසීම හා අවශ්‍ය ඖෂධ ආදිය සම්පාදනයට ක්‍රමික වැඩ පිළිවෙලක් සැකසීමත්, යමකුට සංකූලතා ඇති වුවහොත් ඒ මොහොතේම රෝහල් ගත කිරීමට සැලසුම් සකස්කර දීමත් ය.

හමුදාව යොදවන්නේ ඉදිරිපත් නොවූවන් සොයා ගැනීමට බව කියැවේ. කම්කරු ස්ත්‍රීන් ඉදිරිපත් නොවී සැඟවෙන්නේ ඇයි? ඒ හමුදාවට හෝ පොලිසියට භාර වීමෙන් පසු කුමකින් කුමක් වේදැයි පැහැදිලි නැති නිසා ය. රෝගයට වඩා තමා රැගෙන ගිය පසුවන්නේ කුමක්දැයි පැහැදිලි නැතිකම ඇති කරන්නේ බිය ඉක්මවූ සංත්‍රාසයකි.

අනෙක් ප්‍රශ්නය මෙයයි: නිදන්ගත රෝග තිබෙන අයට මේ නිරෝධායන කඳවුරු තුළ දී අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය පහසුකම් ලැබේ ද? ඒවා සැපයීමට නොහැකි නම් එක්කෝ මේ නිදන්ගත රෝග ඇති ආසාදිත යයි ස්ථීර නොවූ අය, තමන් සිටි තැන්වලම නිරෝධායනය කිරීමට සැලැස්මක් නැතිද? නිසි ලෙස කොරන්ටයින් වෙනවාද - නැතිද යන්න බැලීමට ස්වේච්ඡා සංවිධාන යොදවා, හමුදා හා පොලිසිවල මැදහත් වීම් එම සංවිධාන තුළට එක් කිරීම මගින් මේ බිය නැති කළ හැකිය. ඔවුන් අසාදිතව සංකූලතා ලක්ෂණ පහළ වුවහොත් ආරෝග්‍ය ශාලා ගත කිරීම සදහා අදාළ පියවර ගැනීම මේ ස්වේච්ඡා සංවිධානවලට කළ හැකි ය.

වෛරසය මර්ධනයේ දී හමුදා ප්‍රමුඛත්වය නිසා පැතිර යන බිය සංත්‍රාසය හේතුවෙන්, තමන්ට වෛරසය අසාදනය වී නැතැයි සිතනවුන් තබා, ආසාදනය වී ඇතැයි සැළකෙන අය පවා ඉදිරිපත් වීමට බියවීම බලවත් බාධාවකි.

ඒ නිසා සෞඛ්‍ය නිලධාරීන්ගේ මෙහෙය වීම යටතේ සෞඛ්‍ය අංශයට හිඟ පිරිස් ප්‍රමාණයන් සැපයීම ඉලක්ක කර, සිවිල් ඇඳුමින් යුත් හමුදා පොලිසි යෙදවීමේ පිළිවෙතක් මගින්, මේ සැම නොබියව ඉදිරිපත් වීමට පසුබිම නිර්මාණය කළ හැකි ය. මොනයම් හෝ සැකයකට පත්ව බියෙන් සැඟවී ඉන්නවාට වඩා, අදාළ සෞඛ්‍ය අංශවලට තමන්ගේ ඉරණම භාර දීමෙන් සැනසුම ලැබෙන බව, ජනමාධ්‍ය මගින් සාමාන්‍ය ප්‍රජාවට පැහැදිලි කර දිය යුතු ය. දෙන ලද මොහොතක දී තම දිවි පැවැත්මට අත්‍යාවශ්‍ය දේවල් ලබාගැනීමට පසුබට වන්නේ කවුද? ඒ ප්‍රශ්නය තදින් උක්ත වාර්තාව ආශ්‍රිතවත් සංයුක්තව මතු කෙරී තිබේ.

ජනමාධ්‍ය තුළින් පැහැදිලි විය යුතු වැදගත්ම අංශ තුනක් 

1. අ.) මේ කඳවුරු තුළ ඇති අවම පහසුකම් මොනවාද? එහිදී කන-බොන, අඳින - පළඳින දේට වඩා වැදගත් වන්නේ නිරෝධායන දින 14 ක් නැතිනම්, ඉන්පසු ආසාදිතයෙක් බව ඔප්පු වී නම් රෝහල් ගතව සුවවන තෙක් හෝ නැතිනම් මරණය තෙක් නොදන්නා කාලයක් ගත කිරීමට සිදුවන අයට තමන්ගේ ප්‍රියයන් හා සම්බන්ධතා පැවැත්වීමට ඇති පහසුකම් මොනවාදැයි පැහැදිලි ව තිබීමයි. එසේ නොවීම බරපතල ලෙස සන්ත්‍රාසය දනවන තවත් හේතුවකි. ඔවුන්ට දුරකතන භාවිතයට පහසුකම් තිබේද? තමන්ගේ සෙලියුලර් දුරකථනයේ බැටරිය යළි ආරෝපිත කරගැනීමේ පහසුකම් තිබේද? ඊමේල් සඳහා රවුටර් හෝ වෙනත් පහසුකම් තිබේ ද?

ආ.) ජාතික හා ජාත්‍යන්තර අසාදිතයන්ගේ ගණන් මිනුම් හා කොරෝනා ඇඳිරි නීතියේ තත්ත්වය ගැනත්, එය කඩකරන්නන්ට විඳින්නට වන දඬුවම් ගැනත් කියන ප්‍රවෘත්ති වැදගත්කමක් ගනියි. නිරෝධායන සිරකඳවුරු නොවන බවට හැඟී, බිය අත්හැරෙන්නේ එවිට ය.

ඇ.) තම ප්‍රියයන් මේ කඳවුරු හෝ ආරෝග්‍යශාලාවලදී භෞතිකව මුනගැසීමට ඉඩ ලැබේදැයි සිහිබුද්ධියෙන් යුත් කිසිවකු සිතනු නැත. මන්ද එය තම ප්‍රියයන්ට පවා අනතුරු දායක විය හැකි බැවිනි. අවශ්‍ය වන්නේ සම්බන්ධතාවය පැවැත්වීමට තිබෙන පෙර කී විවිධ විකල්පවලින් එකක් හෝ දෙකක් සඳහා සරිලන පහසුකම් තිබීම ය‍.

ඈ.) මේවායේ ගත කරන කාලය තුලදී පරිහරණය සඳහා පොත් කිහිපයක් ළඟ තබා ගැනීමට හැකිද? කැමති යමක් ලියන්නට අවශ්‍ය පෑන් සහ කඩදාසි තබා ගත හැකිද? එදිනෙදා පුවත්පතක් මුදල් ගෙවා ලබා ගත හැකිද? අවශ්‍ය වෙතොත් ලැප්ටොප් පරිඝනකයක් පාවිච්චියට පහසුකම් සලසා තිබේද?

(ඉ.) එසේ තම තමන්ට හැකි පමණින්, තමන්ගේ සුුපුරුදු සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට පහසුකම් තබා ගැනීමට ඉඩ සැලසීමෙන්, සිරකුටියක ගාල් කිරීමේන් ඇතිවන මානසික කම්පනයෙන් මේ කොරෝනා ආසාධිතයන් මුදවා ගත යුතු ය.

2. අදාළ නිරෝධායන කඳවුරේ රැඳවියන්ගේ ප්‍රියයන්ට, ඕනෑම මොහොතක දී අදාළ බලයලත් නිලධාරියකුට දුරකථන මගින් කතා කර තමන්ගේ රෝගියාගේ තොරතුරු ලබා ගැනීමට පහසුකම් සලසනු ලබන්නේද? එසේ ඕනෑම වේලාවක බැරිනම්, එවැනි පණිවිඩ ලබාගත හැකි ස්ථීර කාල වේලාවන් මේ ප්‍රියයන් වෙත ලබා දීමට කටයුතු කරන්නේ ද?

3. නිරෝධායන කඳවුරු කරා ගෙන එන්නවුන්ගේ නිදන්ගත රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රියා කරනුයේ කෙසේද? ඒවාට අවශ්‍ය දැනට පාවිච්චි කරන ඖෂධ ළඟ තබා ගනිමින්, නිසි පරිදි පාවිච්චි කිරීමට ඉඩ සලසනවාද? එම බෙහෙත් වර්ග අතර නිතිපතා ගතයුතු එන්නත් තිබේ නම්, ඒවා එන්නත් කිරීමට හැකි අයෙක් මේ කඳවුරුවල සිටිනවාද? බෙහෙත් හිඟවන විට, තම ප්‍රියයන් ලවා ඒවා කඳවුරේ පරිපාලනය වෙත සැපයීම මගින් තමන්ට ලබාගැනීමට අවකාශ තිබෙනවාද? නැතිනම් නිදන්ගත රෝග තිබෙන අයට අත්‍යාවශ්‍ය වටටෝරු ඖෂධ සැපයීම හා වෛද්‍ය පහසුකම් සැළසීම මේ නිරෝධායන මධ්‍යන්ථානවලින් ලැබේද? ඒවා සැපයීමට නොහැකි නම් එක්කෝ මේ නිදන්ගත රෝග ඇති, ආසාදිත යැයි ස්ථීර නොවූ අය තමන් සිටි තැන්වලම නිරෝධායනය කිරීමට සැලැස්මක් නැතිද?*

උක්ත දක්වා ඇති මරීසා ද සිල්වාගේ වාර්තාවෙන් හා වෘත්තීය සමිති හා ස්වේච්ඡා සංවිධාන නිකුත් කර ඇති වාර්තාවලින් මතුවන මේ මානුෂික ප්‍රශ්නවලට අඩුතරමින් අප යෝජනා කර ඇති පිළිතුරුවත් පවතීදැයි පැහැදිලි කර දෙන මෙන් ද, නොඑසේ නම්, ඒවා ඇති කිරීම වෙනුවෙන් වගකිවයුත්තන්ට බල කරන ලෙස වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විශේෂයෙන්ම ‍සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මානව හිතවාදීන්ගෙන් අප පුරවැසියන් වශයෙන් ඉල්ලා සිටිය යුතු වේ.☐

*ඔක්තෝබර් 26 වැනිදා වනවිට රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් ආසාදන අනුපාතය සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් තම නිවෙස්වලම නිරෝධායනය වීමය අවකාශ සළසන බව යුද හමුදාපතිවරයා පවසා තිබේ.

රනත් කුමාරසිංහ


© JDS