කොමිසම් පුරාණය: සන්සෝනි කොමිසමේ සිට ප්‍රේමදාස යුගය දක්වා

මෙම ලිපියේ පළමු කොටස: ජනාධිපති කොමිෂන් සභාවන් පිළිබඳ පසු විපරමක්

සැබවින්ම ශ්‍රී ලංකාවෙහි  ‍ජනාධිපති  පරීක්‍ෂණ  කොමිෂන්  සභා ඉතිහාසය වනාහී නොසළකා හැරීම් සහ සිත් රිදවීම් ආයනගත කිරීමේ ඉතිහාසයකි. දශක කිහිපයක් පුරා, ආණ්ඩු  කිහිපයක් යටතේ එසේම ජනාධිපතිවරුන් පස් දෙනෙක් විසින් වරින් වර ස්ථාපිත කර‍න ලද විශේෂ ජනාධිපති  පරීක්‍ෂණ කොමිෂන් සභාවන් හි ලද  ප්‍රගතීන් හෝ නොඑසේනම් අපේක්‍ෂිත අරමුණු කවරේදැයි  යම් අයෙක් විසින් විමසනු ලදහොත් ලබා දීමට ඇති පිළිතුර වන්නේ එකී කොමිෂන් සියල්ලම හුදෙක් නාම මාත්‍රික, කිසිදු නෛතික බලයක් නොතිබුණු දේශපාලන ඇස් බැන්ඳුම් පමණක් වන බව ය.

පවතින රජයේ දේශපාලනමය බල ව්‍යාපෘතීන්ට සරිලන පරිදි සකස් කෙරෙන  සහ  අර්ථ දැක්වෙන නීති පද්ධතියක් සහිතව ක්‍රියාවට නැංවෙන ජනාධිපති කොමිෂන් සභාවන් මේ තාක්  සෑම විටම ක්‍රියාකොට ඇත්තේ තමන් වෙත නාමිකව හෝ පැවරී ඇති බලය උපයෝගි කොට ගෙන වින්දිත පාර්ශවයන්ට යුක්තිය ඉටුකරලීමට නොව, දේශපාලන බල අධිකාරිත්වය  තුටු පහටු කිරිමේ අරමුණු සහ ඉලක්කයන් සහිතව ය. එසේම මේ සෑම කොමිසමක්ම  නීතියේ මුලික මුලධර්මයක්  වන වගකීමට බැඳී සිටීම හෙවත් වගවීම (accountability) පිළිබඳව සිතා මතාම අතහැරදමනු ලැබ ඇත්තේ ය.

ඉතිහාසය සහ නෛතික පසුබිම

පරීක්‍ෂණ කොමිෂන් සභාවන් සඳහා නෛතික බලය සහ රැකවරණය සැලසෙනුයේ 1948 අංක 17 දරණ කොමිසන් සභා පනත මගිනි. නමුත් එකී පනතට අනුව කොමිෂන් සභාවන් සඳහා  වඩා වැඩි  කාර්යයක් පැවරී  ඇත්තේ යම් සාපරාධී ක්‍රියාවන්, ජනවර්ගයන් ඉලක්ක කොට ගෙන සිදුකෙරෙන්නා වු බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් හෝ සිවිල් හා දේශපාලන හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව සොයා බැලීමට නොව, රාජ්‍ය පරිපාලනමය සේවාවන්හි නියුක්ත සාමාජිකයන්ගේ විෂමාචාර ක්‍රියාවන් පිළිබඳව තොරතුරු සොයා බැලීම හෝ විමර්ශනයන් සිදුකිරිම සඳහා ය (1948 අංක 17  දරණ පරීක්‍ෂණ කොමිෂන් සභා පනතේ 2 ( 1) වගන්තිය). මේ නිසාම පරීක්‍ෂණ  කොමිෂන් සභා පත්කරනු ලබන්නා වු ජනාධිපතිවරයාට, විමර්ශනය කළ යුතු ගැටළු හෝ සිදුවීම් පසෙකලා ස්වකීය අභිමතය සහ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීමට හැකිවන්නේ ය. මෙකී  පනතට අනුව කොමිෂන් සභාවල කාර්ය පටිපාටීන් කවරක්දැයි නිගමනය කිරීම, සමාජිකයන් පත්කිරීම හෝ ඉවත් කිරීම, නව සමාජිකයන් නම් කිරීම, පිහිටුවන ලද ඕනෑම කොමිසමක් ස්වකීය අභිමතය පරිදි අහෝසි කිරීම, කොමිෂන් සභාවන් හි සභාපතිවරයාගෙන් එහි සමාජිකයන්ගෙන් හෝ නොවිමසා එහි ලේකම්වරයා වෙත උපදෙස් හෝ නියෝග පැනවීම  ආදි විධායකයේ මුක්තිය මත කටයුතු කිරිමේ අභිමතානුසාරි බලයක් සහිත ය. තවද මෙකී පනතට අනුව යම් කිසි කොමිසමක වාර්තාවන් හෝ නිර්දේශයන් ප්‍රසිද්ධ කිරීම හෝ නොකිරීමද ජනාධිපතිවරයා සතු අභිමතානුසාරි බලයකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති කොමිසන් සභාවන්හි ඉතිහාසය  දශක කිහිපයක් ඈතට දිව යන්නෙකි.  අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව විසින් 1963 වසරේ ජූනි 28 දින අංක එන්.101/163 යටතේ ස්ථාපිත කරනු ලැබු එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක කොමිසම ශ්‍රී ලංකාවේ පළමු කොමිසම ලෙස සැළකිය හැකිය. අදාළ  කොමිසමේ කාර්යභාරය වුයේ අගමැති බණ්ඩාරනායක ඝාතනය පිළිබඳ තොරතුරු සොයා බැලීමයි. එවක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු  ටී.සැමු‍වෙල් ප්‍රනාන්දු කොමිසමේ සභාපති ලෙසත්, එක්සත් අරාබි  එමිර් රාජ්‍යයේ  විනිසුරු අඩෙල් යුනිස් සහ ඝානා රාජ්‍යයේ අභියාචනාධිකරණ විනිසුරු ජී.ඒ මිල්ස් ඔඩි යන  අය සෙසු සමාජිකයන් වශයෙනුත් පත්කරනු ලැබීය.

නමුත් මානව හිමිකම් , සිවිල් හා දේශපාලන අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳව තොරතුරු සොයා බැලීමට පත්කළ පළමු කොමිසම ලෙස හැඳින්විය හැකි වන්නේ 1977 වර්ෂයේ ඇති වු ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට ජේ .ආර්. ජයවර්ධන විසින්  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්.සී සන්සෝනි ගේ ප්‍රධානත්වයෙන් 1977 නොවැම්බර් 09 දා අංක N 143/177 යටතේ  පත්කරන ලද සන්සෝනි කොමිසමයි. ඒ  1977 වසරෙදි  හයෙන් පහක බලයක් සහිතව  බලයට පත් වූ ජේ.ආර්.ජයවර්ධනගේ නව ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහ සහිතව මුදාහල දමිළ විරෝධී ක්‍රියාවන්  පිළිබඳව සොයා බැලීමට යැයි පවසමිනි. රාජ්‍ය අනුග්‍රහ ලත් ආයුධ සන්නද්ධ මැර පිරිස් විසින්  යාපනය -කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අනුරාධපුරය දුම්රිය ස්ථානයේදී බලහත්කාරයෙන් නතර කිරීමෙන් පසුව එහි සිටි ‍දෙමළ ජාතික මගීන්ට ප්‍රහාරයන් එල්ල කළ අතර එයින් පැය කිහිපයක් ගතවෙත්ම  සංවිධානාත්මක පිරිස් විසින් දමිළ ජනතාව වාසය කරන ලද ප්‍රදේශ කිහිපයකටම ප්‍රහාර එල්ල කරනු ලැබූහ. විශේෂයෙන්ම ත්‍රිකුණාමළය, වවුනියාව, රත්මලාන, බදුල්ල, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දමිළ ජාතික ජනතාව වැඩි වශයෙන් ප්‍රහාරයන්ට ගොදුරු වු බව ඇතැම් වාර්තා පෙන්නා දෙයි.

ස්වකීය ජයග්‍රහණය එක්සත් ජාතික පාක්‍ෂිකයනට අවැසි පරිදි සැමරීම සඳහා පොලිස් සහ ආරක්‍ෂක අංශයන්ට සතියක කාලයක් නිවාඩු ලබා දෙන බවට ජනාධිපතිවරයා කියා සිටියේ යැයි  මතයක් එකල ලාංකීය සමාජය තුළ සංවාදයට බඳුන් විය. කෙසේ වෙතත් '77 දමිළ විරෝධී  ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට බලපෑ හේතු සොයා බැලීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් පත්කරන ලද සන්සෝනි කොමිසමේ වාර්තාවට අනුව ප්‍රහාරයන් හේතුවෙන් 300 ට අධික දමිළ ජාතිකයන් පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලැබීය. එසේම ප්‍රහාරකයන් විසින් පිහි, ගිනි අවි ආදි ආයුධ යොදාගෙන ඇති බවත් බොහෝ දෙනෙක් මියගොස් ඇත්තේ කැපුම් කෙටුම් තුවාල සහ පිළිස්සීම්වලින් බවත් සන්සෝනි කොමිසම ස්වකීය වාර්තාවේ දක්වා ඇත. එසේම ප්‍රහාරය පිළිබඳ වගකීම රජයේ ආරක්‍ෂක අංශයන් සහ පොලිසිය විසින් භාරගත යුතුව ඇතැයි  කොමිසමේ සඳහන් වෙතැයි ඒ පිළිබඳව වාර්තා කරන ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය සඳහන් කරයි. නමුත් අදාළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් පිළිබඳව තොරතුරු වාර්තා කරන රාජ්‍ය නොවන සංවිධානයන්ට අනුව ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1500 ට අධික ය.

කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී‍මෙන් අනතුරුව සිදුවූයේ කොමිසම විසින් නිර්දේශ කරණු ලබන දෑ ක්‍රියාත්මක කරනු වෙනුවට ජනාධිපතිවරයා විසින් ඔහුගේ අභිමතය පරිදි  ආරක්ෂක අංශයන් සහ පොලිසිය අදාළ චෝදනාවන්ගෙන් නිදහස් කරලීමයි.

“මෙම කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරනු වෙනුවට රජය නව නීති සම්පාදනය කරමින් රජයේ හමුදාවන්හි අවකල්  ක්‍රියාවන් වසන් කරන ලදී. කොමිෂන් සභාවේ සැසි වාරයන් දේශපාලන බලපෑම් මගින් අවහිර වු බවට වාර්තා පළ වු‍යේය. එම වාර්තාවන් මගින් දමිළ දේශපාලන නායකත්වයට එරෙහි ව සිදුකරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් වරද පවරන ලද අතර, වැදගත් ඇසින් දුටු සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි මගින් ප්‍රහාරයන් පිළිබඳ රජයේ මැදිහත් වීම සහතික කෙරිණ.කොමිසමේ සභාපති සන්සෝනි මහතා සිය වාර්තාව මගින් පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ ගැටුම් වැළැක්වීමට පොලිසිය අසමත් වු ආකාරයත් , ඇතැම් පොලිස්  නිලධාරීන්  දමිළයන්ට එරෙහිව ප්‍රචණ්ඩ  ක්‍රියාවන්ට අනුබල දුන් ආකාරයත් සඳහන් කරයි. එම වාර්තාව මගින් දමිළ වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. වාර්තාවෙන් හඳුනාගත් අපරධකරැවනට නඩු පැවරීමක් සිදුවුයේ නැත. (AI: Twenty Years of  make Believe  sri  lanka‘s commission’s of inqury)

“එපමණක් නොව මේ සියල්ල වෙනුවට  දේශපාලන සහ විධායකයේ  මුක්තිය යොදාගනිමින්  විවිධ අණ පනත් සහ රෙගුලාසි යොදා ගනිමින් අපරාධකරැවන්ට  නෛතික රැකවරණය  සැළසිමට උත්සුක විය.“ 1982 දි පාර්ලිමේන්තුව විසින් 1982 අංක 20 දරණ දඬුවමින් නිදහස් කිරීමේ පනත සම්මත කරමින් රජයේ සේවකයෙකු හෝ නියෝජිතයෙකු තමන් විසින් කරන ලද ඕනෑම ක්‍රියාවකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වන ලද අතර, නෛතික හෝ වෙනත් සත්භාවයකින් නීතිය සහ සාමය ආරක්ෂා කිරීම පිණිස 1977 අගෝස්තු 01 සිට 31 දක්වා කාලය අතර තුර කරන ලද ක්‍රියා නිදහස් කරන ලදී. මෙම පණත 1988 දෙසැම්බර් මස නැවත සංශෝධනය කරමින් දඬුවමින් නිදහස් කිරිමේ කාල පරිච්ඡේදය 1988 දෙසැම්බර් 16 දින දක්වා දීර්ඝ කරන ලදී". (දඬුවමින් නිදහස් වීමේ (සංශෝධිත ) පනත අංක 60 .1988 / ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධාන වාර්තාව)

රැවටීම, වංචාව සහ නොසළකා හැරීම් ඇරඹෙනුයේ එලෙසිනි. පුරවැසියන්ගේ  සිවිල් හා දේශපාලන අයිතීන් පමණක් නොව, ජීවත් වීමේ අයිතිය පවා උදුරාගනු ලබන පාලකයන් රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස නීතිය අවභාවිතයේ යොදනු ලබන්නේ එලෙසිනි. 

පළිගැනීමේ වීරත්වය  සහ කොක්කඩිචෝලෛ කොමිසම

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් විසින්  උතුරු නැගෙනහිර දමිළ ජනතාව ඉලක්ක කොට මුදාහරිනු ලබන ප්‍රහාරයන් හේතුවෙන්  80 - 90 දශකයන් හි සිදුවන මනුෂ්‍ය ඝාතනයන්ගේ සංඛ්‍යාව දිනෙන්  දින ඉහළ යන අතර ඇතැම් මනුෂ්‍ය  ඝාතනයන් ආරක්‍ෂක හමුදා සමාජිකයන්ගේ අභිමතය පරිදි සිදුවන්නට ඉඩහැර බලා සිටීමට ඉහළ නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් උත්සුක විය. උතුරු නැගෙනහිර ඇතැම් දමිළ ගම්මාන වලට හිටිඅඩියේ කඩා පැන මිනිසුන් ඝාතනය කරන්නට හෝ වධහිංසාවන්ට ලක්කරන්නට ආරක්‍ෂක හමුදාවන්ට  කිසිදු බාධාවක් හෝ තහංචියක් නොවීය. දෙමළ කැරළිකරුවන් විසින් කොතැනක හෝ සිදුකරන ප්‍රහාරයක් හේතුවෙන් මියයන සෙබළුන් වෙනුවෙන්  ගම්මාන පිටින් මරණයට කැපවන්නට, වධහිංසාවන්ට ගොදුරුවන්නට මිනිසුන්ට සිදුවන්නේය. 

1991 ජුනි මස 12 වන දින මඩකළපු දිස්ත්‍රික්කයේ මහිලාඩිතිරු, මදියයි කාඩු, මුන්නක්කාඩු  යන ගම්මාන තුනෙහි මිනිසුන්ට අත්වන්නේද එවන් ඉරණමකි. එදින දහවල් කාලයේදි කොක්කඩිචෝලෛ මාර්ගයෙදි  දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ කැරළිකරුවන් විසින් අටවන ලද බිම් බෝම්බයකට හසුව  මියයන ශ්‍රී ලංකා රජයේ  හමුදා  සෙබළුන් දෙදෙනෙකුගේ මරණය වෙනුවෙන් වන්දිය ලබා ගැනීමට ඉහත ගම්මානවලට කඩාවදින රජයේ හමුදා  සෙබළුන් ගම්වැසියන් 67 දෙනෙකුන් මරා දමනු ලබන්නේය. එසේම තවත් පුද්ගලයන් 56 දෙනෙකුන් අතුරුදහන් කෙරෙන්නේය. සිදුවීමෙන් දින කිහිපයකට පසු, 1991 ජුනී 18 වන දින, එවක සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් කොමිසමක් පත්කරන ලද කොක්කඩිචෝලේ සංහාරය පිළිබඳ කොමිසමේ සාමාජිකයන් ලෙස ඔස්වල්ඩ් ස්ටැන්ලි මෙන්ඩිස්, සිවනාදන් සෙල්ලයියා හා ආචාර්ය අබ්දුල් මජීඩ්  යන අය  කටයුතු කළහ.

“අදාළ ප්‍රහාරය සඳහා හමුදා සෙබළුන් වගකිවයුතු බවත්, ඔවුන්ට සිවිල් සහ අපරාධ නීතිය යටතේ චෝදනා ගොනු කළ යුතු බවත් නිර්දේශ කරනු ලැබීය. නමුත් යුද හමුදාව කියා සිටියේ හමුදා නීතියට අනුව ඔවුන් සම්බන්ධයෙන් පරික්‍ෂණයක් සිදුකරන බවයි. (sri lanka’s commission of inqury  1963-2002 -The Low and  Society Trust / Krishali pinto Jayawardana)

එහෙත් කවර චෝදනාවක් එල්ල කෙරුණ ද අවසානයේ සිදුවු කිසිවක් නොමැත. ලැබුණා වු යුක්තියක් ද නැත.

උතුරු නැගෙනහිර තත්ත්වය එසේ වන අතරවාරයේ  රටේ සෙසු  ප්‍රදේශයන්හි මානව හිමිකම් තත්ත්වයද  ඉතා දරුණු ලෙස පිරිහී තිබිණ. විශේෂයෙන්ම  '80 දශකයේ අගභාගයේ සහ 90 දශකයේ මුල් අවදියෙහි ඇති වුණු තරුණ කැරැල්ල හා බැඳුණු ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් අහිමිවුණ ජීවිත ප්‍රමාණය අති මහත් ය. ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද සන්නද්ධ කැරැල්ල හා එය මර්දනය කිරීම උදෙසා එවක පැවති ආණ්ඩුව විසින් මුදාහල රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හේතු කොට ගෙන දහස් ගණනක් ඝාතනය වු අතර ඊට වැඩි ප්‍රමාණයක් ජනයා අතුරුදහන් කිරීම් ද සිදුවිය. 1991 පමණ  වන විට ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳ පැමිණිළි 15,000 ට අධික සංඛ්‍යාවක්  එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලැබී තිබුණි. එයට සමගාමීව  ඒ වනවිටත් ශ්‍රී ලංකාව සතුව තිබූ මානව හිමිකම් පිළිබඳ අපකීර්තිමත් වාර්තාව තවදුරටත් තහවුරු කිරීම මෙම අවධිය විසින් තම්පූර්ණ කරන ලදී. පිරිහෙන මානව හිමිකම් තත්ත්වයෙහි වර්ධනයක් ඇති නොවන්නේ නම් තවදුරටත් ශ්‍රී ලංකාවට ආධාර නොදෙන බව, 1990 වර්ෂයේ ඔක්තෝබර් මස පැරීසියේ පවත්වන්නට යෙදුන ශ්‍රී ලංකාවට ආධාර දෙන රටවල විසින් තීරණය කිරීමෙන් පසු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයන් සහ ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරකම් විවේචනය කරන්නන් සමග යම් කිසි එකඟතාවයකට  පැමිණිමට ප්‍රේමදාස රජය උත්සහ දැරීය. සැබවින්ම එහිදී සිදුවුයේ  සිදු වු අපරාධයන් සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවක් විවේචකයන්ට පෙන්නුම් කරමින් එසේ නොකර සිටීමය. 1991 ජනවාරි මස 31 දිනට පෙර සිදුවු අතුරුදහන් කිරීම් පිළිබඳව සොයාබැලීම සහ වගකීමෙන් ආරක්‍ෂා කිරීමේ පනත අහෝසි කිරීමද ප්‍රේමදාස රජය ප්‍රතික්‍ෂේප කරන ලදී.

පුද්ගල අතුරුදහන් කිරිම් පිළිබඳ පළමු කොමිසම

කෙසේ වුවද, 1991 වසරේ දී, එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ‘බලහත්කාරයෙන් ඉවත් කිරීම (Presidential Commission of Inquiry in to Involuntary Removals of Persons 1991,1992,1993) නමින් ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳ  පළමු කොමිසම පිහිටුවනු ලබන්නේ මේ පසුබමි යටතේය. ගැසට් අංක 644/27 යටතේ 91 ජනවාරි 11 වන දින පිහිටුවන ලද මෙම කොමිසමේ විෂය පථයෙන් 1991  ට පෙර ශ්‍රී ලංකාවේ සිදුවු පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳ සොයා බැලීම් කටයුතු ඉවත් කොට තිබුණි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව බලයට පැමිණෙන ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා විසින් යළිත් වතාවක් පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳ කොමිසන් තුනක් 1993 අගෝසතු මස 23 ගැසට් අංක 784/1 යටතේ පිහිටුවනු ලැබීය. නමුත් පෙර පිහිටුවන ලද කොමිෂන් සභා විසින් හඳුනාගත් අපරාධයන්ට පවා යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව අසමත් විය. ඇත්තෙන්ම සිදුවුයේ අසමත් වීම නොව, දේශපාලන බලය යොදමින් එවන් අපරාධයන් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සහ අපරාධකරුවන් හඳුනා ගැනීම හිතාමතාම වළකාලීමයි. නොඑසේනම් ඒ සඳහා ඇති කෙරෙන්නාවු ඉඩකඩ ඇහිරීමයි. වරදකරුවන් නීතිය හමුවට පැමිණවීමක් කිසිවිටක සිදු නොවීය. නීතිය ඉදිරියට පැමිණ වුවන්ද, බලපෑම් හේතුකොටගෙන  ඉතාම කෙටි කලකින් නිදහස් කර යැවිණ. නැතිනම් කළ වරදට නොගැළපෙන ලිහිල් දඬුවමක් ලබාදී ලිපිගොනුව වසා දැමීමට බලධාරීන් ක්‍රියා කළහ. කිසිදු අවස්ථාවක පුර්ණ විමර්ශනයක් හෝ අපරාධයන්ට සැබැ ලෙසම වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීමක් සිදු නොවීය.

"නීතීඥ විජේදාස ලියනාරච්චි ඝාතනයට අදාළ පොලිස් නිලධාරීන් වරදකරුවන් කරන ලද්දේ කුමන්ත්‍රණය කිරීම හා අනවසර ලෙස සිරකර තැබීම යන චෝදනාවන්ට පමණක් වන අතර 1991 දි ඔවුන්ට නියම කරන ලද්දේ අත් හිටවු සිර දඬුවම් ය. මෙම සිද්ධිය බටලන්ද කොමිසම හමුවේ යළිත් මතුවු අතර නීතීඥ විජේදාස ලියානාරච්චි ට රහසිගත ස්ථානයකදී මියයන තෙක් වධහිංසා පමුණුවා ඇති බවට හෙළිදරව් විය. ඇඹිලිපිටිය සිසු ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට කුමන්ත්‍රණය කිරීම, ඝාතනය කිරීමේ අරමුණින් පැහැරගෙන යාම, අනවසර ලෙස අත් අඩංගුවේ තබා ගැනීම යන චෝදනා සඳහා වසර 10 ක සිර දඬවම් නියම කරන ලදී. නමුත් මෙම අපරාධයන් දෙකෙහිම ඉහළ නිලධාරීන් අදාළ චෝදනාවන්ගෙන් නිදහස් විය. ඇඹිලිපිටිය සිසු ඝාතනයට අදාළ අභියාචනය 2002 ලබාදුන් අතර එහිදී විදුහල්පතිවරයා සහ හමුදාභටයන් සිව් දෙනා ගේ දඬුවම් එලෙසම තබන ලදී. එහෙත් සෙවනගල යුධ හමුදා කඳවුරේ හි ඉහළම නිලධාරියා වුද, සිසුන් ඝාතනයට පෙර කඳවුරේ රඳවාගෙන තැබීමට අනුමැතිය දුන්නා වුද බ්‍රිගේඩියර් පැරී ලියනගේ මෙම සිදුවීමට  සෘජුවම සම්බන්ධ බවට සාක්‍ෂි ප්‍රමාණවත් නැතැයි කියමින් නිදහස් කරන ලදී. ඉහළ මට්ටමේ පරීක්ෂණවලදී හෙළිදරව් වු පරිදි බ්‍රිගේඩියර් ලියනගේගේ සාවද්‍යතාවය අඩුවැඩි වශයෙන් ඔහු යටතේ සිටි සියළුම නිලධාරීන්ට ආරෝපණය කළ හැකිව තිබුණි." (ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍ර අංක 506/99 SCM 25.11.99 PER ඒ.ආර්. බී. අමරසිංහ) කිෂාලි පින්ටෝ ජයවර්ධන /අයිතිවාසිකම් ඉලක්ක කිරීම අපරාධ නීතියෙහි වගවීම සහතික කිරීම පිණිස අත්‍යාවශ්‍ය ප්‍රති-සංශෝධන / සන්ඩේ ටයිම්ස් - 2007 මැයි 20.☐

(මතු සම්බන්ධයි.)

කිත්සිරි විජේසිංහ


©  JDS