කොමිසම් පුරාණය: ජනාධිපති කොමිෂන් සභාවන් පිළිබඳ පසු විපරමක්

රීක්ෂණ කොමිසන් සභා වු කලී සිරුර කි‍ළිපොලා යන සිදුවීම් මාලාවකට හිටි අඩියේ  දක්වන ප්‍රතිචාරයන් වන අතර, අදාළ නීති ක්‍රියාත්මක කිරීමේ බලධාරින් විසින් ගනු ලබන බල සහිත පියවරයන්ට ආදේශකයක් ද නොවිය යුතුය. එසේම එය ඉදිරි දැක්මක් සහිත හා වඩාත් පුළුල්  මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ බල සහිත ව්‍යුහයකට ආදේශකයක්ද නොවිය යුතුයැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ලුයිස් ආබර් 2007 ඔක්තෝබරයේදී ඇගේ පස් දින ශ්‍රී ලංකා සංචාරය අවසාන කරමින් ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය විසින් 2009 වර්ෂයේ 'Twenty years of make Believe Srilanka’s commission of inquiry' මැයෙන් ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාවේ කොමිෂන් සභා පිළිබඳ විවේචනාත්මක වාර්තාවට අනුව 'බරපතල මානව හිමිකම් උල්ලංඝණයන්  පිළිබඳ  සොයා බලනු වස් ශ්‍රී ලංකාවේ බලයට පත්වන ආණ්ඩු විසින් පත් කරනු ලබන්නා වු ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවන් යනු ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් වශයෙන් ක්‍රියා කරන්නක් නොව, බොහෝ විට ස්වකීය දේශපාලන සතුරන්ට එරෙහිව අවියක් ලෙස භාවිතා කෙරෙන්නෙකි. නැතිනම්  ‍මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම් සම්බන්ධව රජය වෙත එල්ල වන ඉතා ප්‍රබල චෝදනාවන් හා විවේචනයන් වෙනතකට හැරවීමේ  උපායක් වශයෙන් භාවිතාවේ යොදන්වන්නෙකි.'

සැබවින්ම ශ්‍රී ලංකාවේ පරික්ෂණ කොමිෂන් සභාවන් යනු තවදුරටත් අපරාධ  සාධාරණීකරණය කරනා , අධිකාරි බලය ඇති රාජ්‍ය පක්‍ෂපාතී චූදිතයන් ආරක්ෂා කරනා අතර වින්දිතයනට තවදුරටත් යුක්තිය ඉටුකර ගැනිම පිළිබඳව ඇති කෙරෙන්නා වු අපේක්ෂාවන් නිර්දය ලෙස බිඳහෙලනා එකකි. එය මානව හිමිකම් උල්ලංඝණය කිරිම් පිළිබඳව ජාතික සහ ජාත්‍යන්තර චෝදනාවන්ට ලක් වන්නා වු රජයන්  විසින්ම ස්ථාපිත කරනු  ලබන්නකි. විධිමත් ජාතික හෝ ජාත්‍යන්තර මූලධර්මයන්ට පටහැනි, ඒ සම්බන්ධව පිළිගත් කිසිදු සම්මත ප්‍රමිතියකින් හෝ විනිවිද භාවයකින් තොරව ක්‍රියාත්මක කෙරෙන්නෙකි. යුක්තිය ඉල්ලා හඞ නඟන්නන් වෙහෙසට සහ බියට පත්කොට නිහඞ කරවන්නෙකි. රැකවරණය ලැබිය යුතු වින්දිතයන් වෙනුවට  අපරාධයන්ට වගකිව යුතු පාර්ශවයන් රැකගැනීමේ අවශ්‍යතාව සඳහා නීතිය වංචනික ලෙස යොදාගැනීමේ අරමුණින් සැළසුම් කෙරෙන්නෙකි.

එනිසාම පොදු  ව්‍යවහාරික නෛතික පද්ධතියෙන් පරිබාහිරව විධායකයේ මුක්තිය මත පිහිටමින් ස්ථාපිත කෙරෙන්නා වු සහ බලගැන්වෙන්නා  වු ශ්‍රී ලංකාවේ ජනාධිපති කොමිෂන් සභාවන් යනු, වි‍ධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ  මැදිහත්විම සහ මෙහෙයවීම මත  පුරවැසියනට එරෙහිව මුදාහැරෙන්නා වු ප්‍රචණ්ඩත්වයේ සහ හිමිකම්  උල්ලංඝණයන් නැවත නැවතත් වෙනස් මුහුණුවරක් සහිතව ක්‍රියාවට නැංවෙන්නෙකි.

කොමිෂන් සභාවන් ඉදිරියේ  යුක්තිය ඉල්ලා හඞ නඟන්නා වු සෑම විටකම මිනිසුන් පීඩාවට සහ බියට පත්කොට එයින් පලවා හරිනු ලබන්නේ ය. අතුරුදහන් කෙරූ, පැහැරගෙන යනු ලැබු හෝ මරා දමනු ලැබු තම දූ පුතුන් ,සහෝදර සහෝදරියන් ,ස්වාමිපුරුෂයන්, මා පියන් , ඥාතීන් සොයමින් කොමිසමක්, කොමිසමක් ගානේ ගාටන්නා වු මිනිසුන් එකී සෑම කොමිසමක් වෙතම පැමිණෙනුයේ අසීමිත අපේක්‍ෂා ගොන්නක් සමඟිනි. අතුරුදහන් කෙරූ, මරා දැමු හෝ පැහැරගෙන ගියා වු තම දු පුතුන් , ස්වාමී පුරුෂයන්  පිළිබඳ ශේෂව ඇති අවසන් මතකයන් සමඟින් ගුලිකොට ගත් කඩදාසි ගොන්නක් හෝ ඡායාරූපයක් රැගෙන කොමිසන් සභාවන් ඉදිරියේ පෙනී සිටිනා අසරණයන්ට  අවසානයේ අත් විඳින්නට සිදුවන්නේ නිර්දය නොසළකාහැරිම්, සිත් පාරවාගැනීම් සහ අවසානයේ මරණ බිය ගෙන දෙන බිය වැද්දීම් හැරැණු කොට වෙන කවරක්ද?

පුතුන් දෙදෙනාම  අහිමි වු පියෙක්

පොන්නතුරෙයි යෝගරාජා ගේ පුතුන් දෙදෙනාම 2006 වර්ෂයේදි  මරා දමනු ලබන්නේය.ඔහුගේ බාල පුතු යෝගේෂ්වරම් හේමචන්න්ද්‍රන්  2006 ජනවාරි 02 වන දින ත්‍රීකුණාමලයේදි ඝාතනය කරන ලද සිසුන් පස්දෙනාගෙන් එක් අයෙකි.  වැඩිමහල් පුතු වන යෝගරාජා කෝඩීෂ්වරම් එම වර්ෂයේම අගෝස්තු මස  මුතුර් හිදි ඝාතනය කෙරෙන සහන සේවක කණ්ඩායමේ අයෙකි. මෙම ඝාතනයන් ද්විත්වයටම චෝදනා එල්ල කෙරුනේ ශ්‍රී  ලංකා රජයේ ආරක්ෂක හමුදාවන් වෙත ය. කෙසේ වෙතත් බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව  සොයා බලනු වස්  2006 සැප්තැම්බර් මස පිහිටුවන ලද නිශ්ශංක උදුලාගම  ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබා දීම සඳහා පොන්නතුරෙයි යෝගරාජා හට කැඳවිමක් ලැබුණු අතර ඒ අනුව තම පුතුන් දෙදෙනා ගේ ඝාතනයන් පිළිබඳව ඔහු විසින් සාක්ෂි ලබාදෙන ලදි .තම බාල පුතුගේ ඝාතනයෙන් පසු , රජයේ ආරක්ෂක හමුදා සමාජිකයන් යැයි කියා ගන්නා පිරිස් විසින් දිගින් දිගටම මරණිය තර්ජන එල්ල කරණු ලැබු බවත්, එයට පෙර සොයුරාගේ මරණය පිළිබඳව පැමිණිලි කොට හෝ අධිකරණය ඉදිරියේ සාක්‍ෂි ලබා දීමක් සිදුකරනු ලැබුවහොත්, පවුලේ සියල්ලන්වම මරා  දමන බවට ඔවුන් තමන්ට තර්ජනය කළ බවත් සිය පුතු පැවසී යැයි පොන්නතුරෙයි යෝගරාජා කොමිසම හමුවේ කියා සිටියේය.

"..ඇක්ෂන් අගේන්ස්ට් හන්ගර් (ACF)  හී සේවය කළ මගේ වැඩිමල්  පුතුට වි‍ශේෂ කාර්ය බලකාය විසින් දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබා දී තිබුණා . තමන්ගේ ජීවිතයටත් අනතුරක් වෙයි කියලා බයක් එයාට තිබුණා. උසාවියේදි කට පියාගෙන හිටියේ නැත්නම් එයාලා අපිවත් මාරා දමාවි  යැයි පුතා මට කිව්වා. හය මාසයකට පස්සේ වැඩිමහල් පුතු කොඩීෂ්වරම්වද මරා දැමුවා" යි ඔහු කියයි.

සිය පුතුන් දෙදෙනාගේ මරණින් පසු පොන්නතුරෙයි යෝගරාජාට ජීවිතාරක්ෂාව පතා  ශ්‍රී ලංකාවෙන්  පලා යන්නට සිදුවිය .‘‘ මං උපන් රටේ ස්වාධීනව ප්‍රකාශයක් කරන්න මට ඉඩක් නැහැ. මාව බියට පත් කරලා තිබෙනවා. මගේ අනෙක් දරුවන්ට බයයි මගේ පුතුන් දෙදෙනාව මරපු අය මාවත් මරා දමාවි කියා . එනිසා නිදහසේ ප්‍රකාශයක් කරන්න මට බැහැ. මම අද  ප්‍රකාශ කළ දෙයම එදත් කරන්න මට උවමනාව තිබුණා . එත් මගේ දරුවෝ ඒකට මට ඉඩ දුන්නේ නැහැ, මගේ ජිවිතයටත් අනතුරක් වෙයි කියලා බයට.(විසි වසරක මායාව: ශ්‍රී ලංකාවේ පරීක්‍ෂණ කොමිසන් සභා /ක්‍ෂමා ජාත්‍යන්තරය)

2006 ජනවාරි 02 දින රාත්‍රියේදී  පුතු සොයමින් දැඩි වේදනාවේන් සහ උමතුවෙන් තැන තැන ගිය ගමනත්, එයින් පැයකට පමණ පසු වෙඩි පහරින් සිදුරු වී ගිය පුතුගේ සිරුර ඇස ගැටුන සැටිත් හෙතෙම සිය සාක්ෂියේදි කියා ඇත. එසේම නිළධාරින්ගේ විෂමාචාර සහ නොහික්මුණ ක්‍රියාවන්, පොලීසියෙන් එල්ල වන තර්ජනයන් පිළිබඳව ද ඔහු සාක්ෂි සහිතව කරුණු දක්වා තිබේ. එහෙත් සිදුවු දෙයක් කිසිදු ප්‍රතිඵලයක් නැත. ලැබුනා වු යුක්තියක්  නොමැත.අවම වශයෙන් තම පුතුන් දෙදෙනා මරා දමන ලද පොළෝවේදී  ඔවුන් පිළිබඳ මතකය සමරන්නට හෝ මේ  මිනිසාට ඉඩක් නොදෙන ලදි . ඉතිරිව සිටි පවුලේ සමාජිකයන්ගේ දිවි රැකගනු වස් රහසිගතව උපන් රටින් පලා ගොස් අනාථයන් ලෙස දිවි ගෙවන්නට පොන්නතුරෙයි යෝගරාජා හට සිදුවන්නේය.

ඒ හා සමාන බොහෝ ඛේදජනක සිදුවිම් ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවන් හි බලය සහ ව්‍යාජ ගාම්භීරත්වය පසුපස සැඟවි ඇත්තේය. වගකීමට කිසිවකුත් නොමැති එහෙත් වගකිව යුත්තන් ලේඛණගත කළ හැකි මෙවන් සාහසික අපරාධයන්, කිසිඳු අධිකරණමය බලයක් හෝ නොමැති, හඳුනාගනු ලබන අපරාධකරුවන් පවා දණ්ඩනයට යටත් කරළිමට බලයක් නොමැති අවම වශයෙන් පැවරි ඇති බලය යෙදා ගනිමින් ප්‍රශ්න කිරීමකට හෝ ලක් නොකරන මෙවන් කොමිෂන් සභාවන් මගින් සිදුවන්නේ යළි යළිත් රැවටීම සහ අපරාධකරුවන්ට දේශපාලන මුක්තිය මත රැකවරණය සැළසීම හැර වෙන කවරක්ද?

හිස සුන් මළ සිරුරු

2006 අප්රේරල් මස 26 දින රත්නපුර දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ  පුවක්පිටිය සහ දෙහිඕවිට යන ස්ථානයන් හි තිබි සොයා ගනු ලැබු හිස සුන් මළ කඳන් පහ පිළිබඳව ද  ඇත්තේ මෙයට නොවෙනස් කතාවකි. දෙහිඕවිට වතුයායකදීත්   පුවක්පිටිය මාර්ගයේ මහඔය, එල්ස්ටන් තැන්න රබර්වතු යායේ, වරකාතැන්න නම් ස්ථානයේදීත් තිබි සොයා ගනු ලැබු මෙම මළ සිරුරු වයස අවුරැදු 30 /35 අතර වයසේ අයවළුන්ගේ බවට තහවුරු කෙරුණි. හිස සුන් කොට නිරුවතින් සහ අඩ නිරුවතින් මහමග දමා තිබුණු මෙම සිරුරු කොළඔ ප්‍රදේශයේ ලැගුම්හල්වල සිටි දමිළ ජාතික තරුණයන්ගේ බවට පසුව ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනාගනු ලැබුනි.

මෙම මළ සිරුර දමා තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හමුදා සංකීර්ණයකට ඉතා ආසන්න ප්‍රදේශයක ය. මෙම සිරුරු සොයාගැනිමෙන් පසුව 2006 අප්‍රේල් 28  දින  'ඩේලි මිරර්' පුවත්පත වාර්තා කර තිබුණේ කොළඹ යුද හමුදා මූලස්ථානයට සහ හමුදාපතිවරයා ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා ඊට පෙර සතියේ බ්‍රහස්පතින්දා දින තුළ පමණක් කොළඹ ප්‍රදේශයේ දමිළ තරුණයන් 90 ට වැඩි පිරිසක් හමුදාවන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම ඝාතනයන්ද නිශ්ශංක උදුලාගම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ විෂය පථයට ඇතුළත් වුවකි. එහෙත් සිදුවුයේ ‍මෙම ඝාතනයන්ගෙන් පසුව මියගියවුන්ගේ පවුල්වල සමාජිකයන්ට නොයෙක් බලපෑම් එල්ල වීමයි. ඝාතනයන් සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කරන්නේ නම්, ඔවුන්වද මරා දමන බවට ඇතැමෙකුට තර්ජනය කොට තිබුණි. මිය ගියවුන් එල්ටීටීඊ සමාජිකයන් පිරිසක් බවට දකුණේ සිංහල ජනමාධ්‍ය විසින් වාර්තා කෙරුණු අතර එනිසාම ඔවුනගේ සොහොයුරන් ආදී සමීපතමයන්ට ඔවුන්ගේ රැකියාවන්ගෙන් පවා ඉවත්ව රහසිගත දිවියක් ගෙවන්නට සිදුවිය.

අදාළ ඝාතනයන් සම්බන්ධව කිසිඳු සාධාරණ පරික්ෂණයක් සිදු නොවුණු අතරම රෝහල් මෘත ශරීරාගාරවලින් මළ සිරුරු මුදාහැරිමට පවා නොයෙක් බාධාවන් පැමිණවීය. ආරක්ෂක අංශවලට සම්බන්ධ ඔත්තුකරුවෝ අවමංගල කටයුතු සිදුකරණු ලැබු ආයතන අසළත් හින්දු චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදුකෙරැණු බොරැල්ල සුසාන  භූමිය අසළත් රැකවල්ලාගෙන සිටියහ. මියගියවුන්ගේ දෙමව්පියන්, සමිපතමයන් බොහෝ සේ බියට පත්ව සිටියහ. යුක්තිය ඉටුකර ගැනිම වෙනුවට ඉතිරිව සිටින්නන්ගේ ජිවිත බේරා ගැනිමේ අරමුණින් නිහඬ වන්නට අවසානයේ ඔවුනට බලකරන ලද්දේ මෙකී අවදානම විසිනි.

නමුත් මේ වනාහී වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ට මුහුණ පාන්නට වන බියකරු තත්ත්වයෙන් අංශු මාත්‍රයක් පමණි.

(මතු සම්බන්ධයි)

දෙවෙනි කොටස: සන්සෝනි කොමිසමේ සි‍ට ප්‍රේමදාස යුගය දක්වා

කිත්සිරි විජේසිංහ


© JDS