අවි ප්‍රදර්ශන නිදහස සහ ගිනි තබා ගැනීමේ නිදහස

හා මිනිස් සංහාරයකින් රටට නිදහස දිනාදුන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලැඳුම්ධාරී අටදහසක් දෙනා ගාලු මුවදොර  පිටියේ ‘කල් බලන’ අතරේ යහපාලන ආණ්ඩුව ‘සන්නද්ධ ශ්‍රීයෙන්’  සැමරූ  හැට නමවැනි නිදහස් උළෙල සැබෑ ලෙසම පෙනුණේ, සන්නාහ සන්නද්ධ රථ, අති නවීන ස්වයංක්‍රීය අවි ආයුධ සහිත  මිලිටරි බලය සංකේතීයව ප්‍රදර්ශනය කළ ‘යුද ජය සැමරුමක්’ මෙනි.  රන් කෙසරා පෙරටු කොටගත් සිංහ රෙජිමේන්තුව සමාචාර පෙළපාලියට එක්ව තිබුණේ තමන් පිදුම් ලැබූ ජනපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය ද කැටුව ය.

එසේම අඩි හය දහසේ සහ දස දහසේ සිට වෛවර්ණ රටා අවකාශයේ අඳිමින්, මුහුදට නොවැටී පොකුරු පිටින් ගාලු මුවදොර පිටියටම පාවී ආ පැරෂුට් භටයන් විසින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා අමන්දානන්දය පත්කරන ලදී. අවකාශයේ මැවුණු වෛවර්ණ ඉන්ද්‍රජාලික නිමේෂ මැකී යන්නට නියමිත වූ පරිදිම මැකී ගොස් ඇත. අවසානයේ මෙම  ‘නිල නිදහස් සැමරුම’ ශේෂ කළ එකම සැමරුම් මතකය වූයේ දාර්ශනිකයන් පිරිවරාගෙන සිටින ජනාධිපතිවරයා  මිලිටරිමය සන්ත්‍රාසයේ ගිලෙමින් වුව දැනුවත් ව හෝ නොදැනුවත් ව පැවසූ එක් දාර්ශනික වගන්තියක් පමණි.

ඔහුගේ උද්යෝගීමත් ස්වරයෙන් කී ඒ කතාව මෙබඳු ය.

"මේ තිස් වසරකට ආසන්න යුද්ධයේදී මියගිය සියලුදෙනාම පරාජිතයන් ද? ඒ වගේම ජීවිත රැකගත් සියලු දෙනා ජයග‍්‍රාහකයන් ද?"

දැන් ඉතින් සියලු සිද්ධීන් ඒ දාර්ශනික කතාවට සම්මුඛ ය. ඒ ගැන එපමණකි.

ආණ්ඩුවේ ‘මිලිටරිමය නිදහස’ විසින් උත්පාදවන පීඩාව තමන් මත පැටවී ඇතැයි අවධාරණය කළ උතුරේත් දකුණෙත් පීඩිත පිරිස් මෙම ‘හැට නමය’,  කළු දිනයක් ලෙස නම් කර ‘තමන් භුකිත් විඳින සැබෑ නිදහස’ මේ යැයි පෙන්වීම, ආණ්ඩුව සැමරූ නිදහසේ විලෝමය බව, අධිපති මාධ්‍යයන් විසින් සඟවා තැබුණි; අවශේෂ සිද්ධිදාමයක් ලෙස සළකා බැහැර කෙරුණි.  මනුෂ්‍යත්වය බුර බුරා ඇවිලෙන සමාජ ජාලා අඩවි තුළ වන සිංහලාවකාශයන්හි සිදුවුයේද එම බැහැර කිරීම වර නැඟීම ම පමණකි.

2015 වසරේදී ‘ජාතික ගීය’ දෙම‍ළෙන් ගැයීම පිළිබඳ අන්තර්ජාල සිංහාලාවකාශයේ සුවිශාල ‘හා හෝවක්’ ඇති විය.  ගිය වසරේ දී ‘දන්නෝ බුදුන්ගේ ගීතය’ ඔපෙරා පන්නයෙන් ගැයීමේ විවාදය සමාජ ජාල තුළ බරසාරෙට සිදුකෙරුණි.  ඒත් මෙවර, දෙමළ, කම්කරු, ශිෂ්‍ය මර්ධනය පදනම් කරගත් කළු දිනය’ ගැන  ‘මනුෂ්‍යත්වය’ වර නැඟෙන දකුණේ සයිබර් අවකාශය පවා වැඩි සද්ද බද්ද දැම්මේ නැත. මෙකී කළු නිදහස් දිනය දකුණට පුවත් මැවෙන සුවිශේෂ මාතෘකාවක් නොවන්නට හේතුවක් තිබේ.  ඊට පදනම වැටුණේ, ‘තමන්ගේ නිජබිමේ’ වන ‘තමන්ගේ ඉඩම් අයිතිය’ ඉල්ලා සටන් කරන පීඩිතයන් පිරිසක් තුළිණි.

‘කළු දිනය’ පිළිබඳ අදහස ගෙනෙන ලද්දේ, නිදහස් දිනයේ මිග් යානා, කෆීර් යානා ගුවන් කරණම් ගන්නමින්, කොළඹ අහස අමන්දානන්දයට පත්කළ ගුවන් හමුදාව විසින් ඉඩම් අත්පත් කරගෙන සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිතුරෙයිපත්තු ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශයේ කේපාපුලව් ග්‍රාම නිලධාරී  වසමට  අයත් පිලව්කුඩියිරුප්පු ගම්මානයේ පාරම්පරික පදිංචිකරුවන් වූ දෙමළ ජනතාව ය. 

හත් වසක් තිසේසේ අඛන්ඩව ගුවන් හමුදාව විසින් ‘බලහත්කාරයෙන්’ භුක්ති විඳින සිය ඉඩම් නිදහස් කළ බවට රජයෙන් ලද දැනුම්දීමක් අනුව ජනවාරි 31 වැනිදා තම ඉඩම් කරා ගිය එහි මුල් පදිංචිකරුවන්ට ඉඩම් ලබා දී තිබුණේ නැත. එසේ දැනුම් දී ඇත්තේ දෙසතියකට පමණ පෙර ය. පණිවිඩය වූයේ  පිලව්කුඩියිරිප්පුවේ පවුල් 84 කට අයත් ඉඩම් අක්කර  20 කට වැඩි වපසරියක් මුදාරින්නට කටයුතු කර ඇති බව ය.  ඒ ඉඩම් තමන්ගේ දැයි හඳුනාගන්නට වන සංරක්ෂණ නිලධාරීන් ද එහි යා හැකි බවද පණිවිඩයෙන් කියැවුණි.

නමුත් එහි පැමිණියවුන්ට තමන් යළිත් වරක් රැවටීමකට ලක්ව ඇති බව, වටහා ගන්නට විශාල කාලයක් ගතවූයේ නැත. ඉක්බිති පිලව්කුඩියිරුප්පු වාසීහු එහි වන යුදහමුදා කඳවුර අබියස අඛන්ඩ  සත්‍යග්‍රහය ඇරඹූහ. මේ වන විට ජනතා වාඩි ලෑම් ගුවන් හමුදා කඳවුර අබියසට පැමිණ ඇති අතර සත්‍යග්‍රහය ‘මාරාන්තික උපවාසයක්’ බවට පරිවර්ථනය වූයේ පීඩාවට සමාන්තර වන පරිදි ය. පොලිස් හා ගුවන් ‘පුරවැසි මාධ්‍ය බලකා’ විසින් සිදුකෙරෙන රූ ගත කිරීම මධ්‍යයේ වුව නිර්භයව, මෙම ඉඩම් සටනේ පෙරමුණ ගෙන ඇත්තේ වර නැඟෙන පීඩාව භුකිති විඳින දෙමළ ස්ත්‍රීන් ය.

ඔවුන්ගේ සටන් පාඨ වී තිබුණේ මෙවන් ප්‍රබල වැකි ය.

"වෙන කිසිවක් එපා. අපට අපේ ඉඩම් ලබා දියව්!"

"හමුදාව වහා පිටව යනු!"

"යහපාලන ආණ්ඩුව මේ බොරුව වහා අවසන් කළ යුතුයි!"

වඩා ප්‍රබල වූ ඉන් එහා ගිය සටන් පාඨද ඔවුන් විසින් ලියැවී තිබුණි.

“යුද්ධය නාමයෙන් අපේ ඥාතින්  මරා අල්ලා ගත් අපේ ඉඩම් අපට අපසු නො දෙන්නේ නම් අපිවත් මරා මෙහිම වල දමව්!”

තත්ත්වය තව තවත් මෝරා ඇත.

මා මේ ලියන මොහොත වන එහි වාඩි ලා ගත් ධෛර්ය සම්පන්න දෙමළ ස්ත්‍රීන්, තමන්ගේ ජීවිත කෙරෙහි වඩාත්ම බලා පා ඇති තම ඉඩකඩම් පිළිබඳ ගැටළුවට වගකිවයුතු සියල්ලන් මුනිවත රකින්නේ නම් තම ඉඩකඩම් අභියස ගිනි තබා ගනිමින් තම ඥාති සනුහරය ගිය මඟ යන්නට තමන් ද සූදානම් බව නිවේදනය කර තිබේ. තත්ත්වය එතරම්ම බරපතල වුව නිදහස සැමරූ නිදහස් අවකාශය මාරාන්තික ලෙස නිහඬ ය.

ඒ නිදහස කළු වූ අයුරු ගැන දිග්ගැහෙන කේන්ද්‍රීය කතාව ය.

පිලව්කුඩියිරුප්පු වාසීන් විසින් නම් කෙරී, සමස්ථ උතුරුකරයේම සංකේතාත්මක ප්‍රතිවිරෝධය බවට පත්වූ  නිදහස් ‘කළු දින’ සැමරුම්කරුවන්ගේ පොදු අවධාරණයක් තිබුණි.   පොලිස් බාධාකිරීම් මධ්‍යයේ වුව යාපනයේ  මහපාරට ආ සිවාජිලිංගම් ඇතුළු ක්‍රියාකාරීන් අවධාරණය කළේ උතුරු අර්ධද්වීපය පුරා අඛන්ඩව පවතින දැඩි හමුදාකරණ ක්‍රියාවලිය නතර කළ යුතු බවයි. ගාලු මුවදොර නිදහස සමරන ‘නිල’ මොහොතට සමාන්තරව ත්‍රිවිධ හමුදා ‘කල් බැලීම්’ යාපනයේ දී ද පැවැත්වුණි.  උතුරු මහඇමති විග්නේෂ්වරන්හට මෙම හමුදා පෙළහර පිණිස නිල ඇරියුම ලැබුණද, ඔහු එය වර්ජනය කළේය. සංකේතීයව ගතහොත් ඒ වනාහී යාපනයේම උද්ඝෝෂණ ස්වරූපයෙන් පැවති ‘කළු දින’ සැමරුමට ‘කළු කොඩි’ පෙන්වීමක් මෙනි.  ‘කළු දින’ යාපනේ විරෝධතාවේ වූ සෙසු ඉල්ලීම් වූයේ විසිදහසකට අධික අතුරුදහන්වුවන් පිළිබඳ යුක්ති සහගත හෙළිදරව්වක් කිරීමට අණ්ඩුවට බල කිරීමත්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බල කිරීමත්, සිංහල හමුදා විසින් තවමත් සන්නද්ධ බලයෙන් භුකිත් විඳින දෙමළ ජනතාවට අයත් ඉඩම් නිදහස් කිරීමට බලකිරීමත් යන  කරුණු ය. එක පසෙකින් දෙමළ ජනතාවගේ නිජ බිමේ ‘සන්නද්ධ කල්බැලීම්’ සිදුකරන අතර පොලීසිය මෙම උද්ඝෝෂණය වෙත කඩා පාත් වූයේ එහි නියමුවා වූ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් නමට අධිකරණ වාරණ නියෝගයක් රැගෙන ය. අලුත්ම හමුදා පොලිස් ‘නව මාධ්‍ය’ ප්‍රවනතාවට අනුව ‘නිදහස්’ දවසේදීත් යාපනයේ ‘කළු දින’ උද්ඝෝෂණයට ආ අය රූ ගත කළේ පොලීසියේ ‘පුරවැසි මාධ්‍ය බලකාය’ විසිනි.

උතුරේ ‘නිදහස්’ විරෝධතාවන්ට සමාන්තරව ‘69 වැනි නිල නිදහස් සමරුව’ට එරෙහිව සිය සාමූහික විරෝධය පළ කිරීමට දකුණේ වෘත්තීය සමිති හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඒකාබද්ධව පෙළගැසුණි. ‘කළු සැමරුමක්’ ලෙස ය. දකුණේ ද සිදුවන අඛන්ඩ මර්ධනයට එරෙහිව ය.

කුමාරසිංහ සිරිසේන යනු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බාල සොහොයුරා ය. ශ්‍රී ලංකා ටෙලිකොම් යනු කුමාරසිංහ සිරිසේන සභාපතිත්වය දරන ආයතනය යි. ‘ඇඩ් මාෆියාව’ නිසා ප්‍රධාන මාධ්‍ය මඟින් සඟවන්නට තැත් කළ ද, කම්කරුවන් 1700 දෙනෙකු දින 50කට ආසන්න කාලයක් තිස්සේ අඛන්ඩව වෘත්තීය අරගලයක නිරත වීම සිදුවන්නේ මෙම ටෙලිකොම් වපසරියේ ය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුයුක්ත  ‘මෑන්පවර්’ සේවකයන් තම සේවය ස්ථිර කරගැනීම වෙනුවෙන් කරන අරගලය මර්ධනය කිරීමට අධිකරණය මගින් වාරණ නියෝග නිකුත් කරනු ලැබීමෙන් නොනැවතී වෘත්තීය අරගලය අනියම් තර්ජනයන් මඟින් අඩපන කිරීමක් ලෙස එහි වෘත්තී සමිති නායකයකු පැහැරගනු ලැබීම අධිපති මාධ්‍යයන්ට මඟ හැරුණු සංසිද්ධියක් විය. ‘ටෙලිකොම් ඇඩ්’ නිසා ‘සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ’ උප සභාපති සුජීව මංගල  පැහැරගෙන යාම මඟ හැරුණු මෙකී ප්‍රධාන මාධ්‍යය විසින් , ඔහු, ඉංගිරියේ නඹපාන පාලම මත දී හමුවුණු ප්‍රවෘත්තිය පළ කරන ලද්දේ, දෑස් බැඳ දමන ලද සුජීව මංගල රැගත් ජීප් රිය ඉංගිරිය නඹපාන පාලම මතට පැමිණෙන්නටත් පළමුව ප්‍රවෘත්තිය ලැබුණු තරම් හදිස්සියකිනි. දේශපාලනය න්‍යාය පත්‍රයක් නැතැයි පැවසෙන ප්‍රධාන මාධ්‍යයන්ගේ මාධ්‍ය දේශපාලනය මෙයාකාර ය.

දකුණේ "කළු නිදහස් දින" සැමරීමට තවත් ප්‍රමුඛ හේතුවක් වූයේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රශ්නයයි. මෙම අරගලයට අදාළ උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් අධිකරණය හරහා ශිෂ්‍යයන්ට එරෙහිව ද වාරණ නියෝග පනවනු ලැබීමෙන් නොනැවතී  එම වාරණ නියෝග කඩකර උද්ඝෝෂණය කළා යැයි ශිෂ්‍ය නායකයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම,  ‘අලුත් වෛද්‍යවරු’ සතු ‘අලුත් ප්‍රතිකාර ක්‍රම’ පිළිබඳ ව්‍යංගය දනවයි.

ඉදින්, අලුත් ‘දෙමුහුන්’ ආණ්ඩුව ‘ඉපැරණි ඇස් අලුත් වටයකින් පෑරිමට’ අලුතින් කඳුළු ගෑස් ගෙනැවිත් ඇත. කඳුළු ගෑස් ගැසීමට පූර්ණ නිදහස ඇත්තේ ආණ්ඩුවට ය. කඳුළු ගෑස් කෑමේ බිඳලිය නොහැකි නිදහස ශිෂ්‍යන් හා කම්කරුවන් ඇතුළු සකල පීඩිත උද්ඝෝෂකයන් සතුව පවතී.

ශිෂ්‍ය සහ කම්කරු අරගල මර්ධනය පිණිස වාරණයන් නිකුත් කිරීමේ නිදහස ධනේෂ්වර අධිකරණය සතු ය. වාරණ නියෝග විසින් අර්ථකතන කෙරෙන ‘නීති විරෝධීකම්’ මත පදනම් වෙමින් රිමාන්ඩ් බත් කෑමේ පරම  නිදහස ශිෂ්‍යයා, කම්කරුවා ඇතුළු සකල පීඩිතයා සතු ය.

ශිෂ්‍යයන් හෝ කම්කරුවන් සහ ‘දෙමළුන්’ පැහැරගෙන යාමේ නිදහසද, වධහිංසා කිරීමේ හෝ අතුරුදන්කිරීමේ මෙන්ම, ඔවුන් බිය වද්දා කැමති තැනකින් පාරට තල්ලු කර දැමීමේ නිදහස ද, තවමත් ‘ආණ්ඩුව නොදන්නා’ සන්නද්ධ කල්ලි සතු ය. නමුත්, පැහැර ගත් වාහන කළු ද - සුදුදැයි වාද කිරීමේ පරම නිදහස, අන්තර්ජාලය තුළ විප්ලවවාදීන් මුහුණට මුහුණ හමුවන සමාජ ජාලා අවකාශය තුළ තවමත් නිරුපද්‍රිතව පවතී.

දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩකඩම්වල ‘මෙය යුද හමුදාව සතු ඉඩමකි’ යනුවෙන් පුවරු සවිකර ගන්නට නිදහස තවමත් හමුදාව සතු ය. ඉදින් පීඩිත දෙමළ ජනතාව වෙත ඉතිරිව ඇත්තේ තම තමන්ගේ ඉඩකඩම් අබියස ගිනි තබාගෙන මිය යාමේ නිදහස පමණි.☐ 

මංජුල වෙඩිවර්ධන


© JDS