හමුදාවේ නව පත්කිරීම් හේතුවෙන් අභ්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණ ගැන සැකයක්

ව ආණ්ඩුව යටතේ යුද හමුදාව තුළ පසුගියදා සිදුකෙරුණු තනතුරු මාරුව අනුව වගකීම් පැවරැණු නිළධාරීන් බොහෝ දෙනෙක් යුද අපරාධ චෝදනා එල්ලව ඇති අවසාන යුද මෙහෙයුම්වලට නායකත්වය සැපයූවන් වීම හේතුවෙන් එම චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදුකරන බවට රජය දී ඇති ප්‍රතිඥාව ගැන බලවත් සැක මතුව තිබේ. මේ වනවිට ජිනීවා නුවර ආරම්භව ඇති  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ පිළිබඳ විමර්ශන වාර්තාව මේ වසරේ සැප්තම්බරය දක්වා කල් දැමීමට ඒකසත් ජාතීන් විසින් තීරණය කරන ලද්දේ අපක්‍ෂපාතී අභ්‍යන්තර පරීක්‍ෂණයක් පිළිබඳ රජය විසින් දෙන ලද පොරොන්දුව හේතුවෙනි.

ෆොන්සේකාගේ නිර්දේශ ඉවතට

හමුදාව තුළ නව වෙනස්කම් සිදු කිරීම  සම්බන්ධයෙන් ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා, ඔහුට හිතවත් නිලධාරීන් කිහිපදෙනකු වැදගත් තනතුරු සඳහා නම් කිරීමට කටයුතු කළ නමුත් ඔහුගේ නිර්දේශ මත පත්කරනු ලැබූ ඇතැම් නිලධාරීන් යළිත් වතාවක් මාරු කිරීමට කටයුතු යොදා ඇත්තේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නිර්දේශයන්ට අනුව ය.

ජෙනරාල්  ෆොන්සේකාට හිතවත් නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන යුධ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරයට පත් කැරුණද, යළි ඉන් ඉවත්කොට පාබල හමුදා අධ්‍යක්‍ෂ ධූරයට පත් කරනු ලැබ තිබේ. ඊට හේතු වශයෙන් දක්වා ඇත්තේ, ඔහු කොළඹ ආඥාපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ පුද්ගල පැහැරගැනීම්, අතුදහන් කිරීම්, මරාදැමීම් හා කප්පම් ගැනීම් ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා ඇති බැවින්, ඊට බලපෑමක් ඇති නොවනු පිණිස මෙම මාරුව සිදුකළ බවය.

නව පත්වීම් යටතේ  නව මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න යළි කැඳවනු ලැබ ඇති අතර වන්නි ආඥාපති ලෙස පත් කරනු ලැබූ මේජර් ජෙනරාල්  අමල් කරුණාසේකර යළි හමුදා මුලස්ථානයට අනුයුක්ත කරමින්, මේජර් ජෙනරාල්  බොනිපස් පෙරේරා වන්නි ආඥාපති ධූරයට පත් කිරීමටද ආණ්ඩුව කටයුතු කර තිබේ.

අණදීමේ වගකීම

සාමාන්‍යයෙන් යුද අපරාධ විමර්ශනයේදී ජාත්‍යන්තරව පිළිගත් පටිපාටිය වන්නේ ආඥා ව්‍යුහය අනුව අණදීමේ වගකීම බෙදී යන ආකාරය පරීක්‍ෂා කොට බැලීමයි. ඒ අනුව යුද්ධයක දී සාමාන්‍ය සෙබළුන් විසින් සිදුකරනු ලබන යම් සාපරාධී ක්‍රියාවක් වෙතොත් ඒ පිළිබඳ වගකීමෙන් ඉහළ නිළධාරීන් නිදොස් කිරීමට හැකියාවක් නොපවතී.

නව පත්වීම් ලද නිලධාරීන්ගේ පසුබිම පහතින් දැක් වේ.

ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා - යුද හමුදාපති


කොළඹ රාජකීය විදුහලේ උගෙන 1980 දී කැඩේට් නිලධාරියකු ලෙස ඉන්ජිනේරු බලකායට බැඳී 1981 දී දෙවැනි ලුතිනන් තනතුරේ අධිකාරී ලැබුවේය. මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි යුද හමුදා ආරක්ෂක නිවසක් ලෙස හදුන්වනු ලැබූ නිවස 2000 වසරේ වැටලීමෙන් අනතුරුව එය යුද හමුදා නීතියට අනුකූලව පවත්වාගෙන යන ලද්දක්දැයි සොයාබැලීමට පත්කරන ලද කමිටුවේ ලේකම් ලෙස කටයුතු කළ අතර, 2004 වසරේ කර්නල් කපිල රත්නායකට එරෙහි යුද හමුදා පරීක්ෂණ මණ්ඩලයේ ලේකම්වරයා වශයෙන්ද කටයුතු කළේය. 2003 - 2004 කාලයේ බ්‍රිගේඩියර්වරයකු වශයෙන් කිලිනොච්චියේ බලසේනාධිපති ලෙස කටයුතු කළ අතර ජෙනරාල් ෆොන්සේකා හමුදාපති ලෙස පත් වූ පසු ඉදිරි නඩත්තු ප්‍රදේශ භාර නිලධාරියා ලෙස කිලිෙනාච්චියට මාරුකර යැවිණි. යුද්ධය අවසානයේ උතුරේ සිට පැමිණි ජනයා හමුදා භාරයට ගෙන කදවුරුවලට යැවීමේ කටයුතු සිදු කළේය. ෆොන්සේකා හමුදාවෙන් ඉවත් වූ පසු මේජර් ජෙනරාල්  තනතුරට උසස්වීම් ලැබීය. ෆොන්සේකාට එරෙහිව යුද අධිකරණයේදී රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් සාක්‍ෂි ලබා දුන් ප්‍රමුඛතමයෙකි. 2009 අගෝස්තු මාසයේදී JDS සංවිධානය චැනල් ෆෝ රූපවාහිනිය වෙත ලබාදුන් ඝාතන වීඩියෝව පිළිබඳ සෙවීමට උගත් පාඩම් හා ප්‍රති සන්‍ධාන කොමිසමේ (LLRC) උපදෙස් අනුව එවකට යුද හමුදාපති ජගත් ජයසූරිය විසින් පත්කරන ලද කමිටුවේ ප්‍රධානියා ය. යුද හමුදාව එවැනි කිසිදු යුද අපරාධයකට සම්බන්ධ නැති බවත්, යුද මෙහෙයුම්වලින් කිසිදු සිවිල් වැසියෙකු මිය නොගිය බවත් නිගමනය කළ වාර්තාව සම්පාදනය කරන ලද්දේ මෙම කමිටුව විසිනි. එමෙන්ම, සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණි LTTE නායකයින් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදා මෙහෙයුම් ප්‍රධානීන්ට එල්ලව ඇති චෝදනාවන්ගේ සත්‍යාසත්‍යතාය පිළිබඳ සොයා බැලීමට පත්කරන ලද කමිටුවේ ප්‍රධානත්වය දරණ ලද්දේ ද ඔහු විසිනි. අදාළ කමිටුවේ අවසාන වාර්තාව 2013 පෙබරවාරවාරියේ දී භාරදීමට නියමිතව තිබුණද එය මේ දක්වාත් භාරදී නොමැත. ජ්‍යෙෂ්ඨත්වයෙන් මොහුට පහළින් සිටි දයා රත්නායක හමුදාපති වශයෙන් පත්කැරුණු පසු මොහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත්කරන ලදී. අනතුරුව රුසියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්කර යවනු ලැබිණි.

මේජර් ජෙනරාල් මහේෂ් වීරතුංග සේනානායක - යුද ලේකම්


කොළෙඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි. 1981 යුධ හමුදා ඉංජිනේරු බලකායට බැඳුණු මොහු අසුව දශකයේ අග ඇරඹි 'විශේෂ බලකායේ' අණ දෙන්නා ලෙසත් එහි බලසේනාධිපති ලෙසත් කටයුතුකර ඇත. විශේෂ බලකාය යටතේ පැවැති දුර දිග විහිදුම් බලකාය ද ඔහු යටතේ පැවතිණි. ජෙනරල් සරත් ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් සිටියදී සැළසුම් හා පර්යේෂණ අධ්‍යක්‍ෂ ‍ජෙනරාල් ලෙස කටයුතු කළේය. යුද සමයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස යුද හමුදා මූලාස්ථානයේ රාජකාරි කළේය. ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, පකිස්ථානය සහ නෙදර්ලන්තය යන රටවල පුහුණුව ලබා ඇත. හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සමීපතමයෙකි. එනිසාම 2010 වසරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගන්වනු ලැබිණි. පසුව ඩුබායි එමිරේට්ස් ගුවන් සමාගමේ රැකියාවකට යොමුවිය. මැතිවරණයෙන් පසු දිවයිනට පැමිණි මොහු යළි හමුදා සේවයට ඒකකර ගැණිනි.

බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන - පාබල හමුදා අධ්‍යක්‍ෂ


සිංහ රෙජිමේන්තුව නියෝජනය කරන මොහු සිංහ රජිමේන්තු මූලස්ථාන සේනා විධායක ලෙස ද, කොළඹ බල සේනා ආඥාපති ලෙස ද කටයුතු කර ඇත. ජෙනරල් සරත් ෆොන්සේකාගේ සමීපතමයෙක් වන මොහු ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව මගින් අත්අඩංගුවට ගෙන මාස 6ක පමණ කාලයක් රඳවා තබාගන්නා ලදී. සරත් ෆොන්සේකා හමුදාපති සමයේ මොහු යුධ හමුදාපති මෙහෙයුම් පිළිබඳ නිලධාරියා ලෙසද කටයුතු කරමින්  59 වැනි සේනාංකය සමග මුලතිව් හි අවසන් ජන සංහාරයන්ට දායකවුවෙකි. පසුගිය කාලයේ විදේශගතව සිට මැතිවරණයෙන් පසු ආපසු රටට පැමිණ යළි හමුදා සේවයට එක් විය.

මේජර් ජෙනරාල් අරුණ පෙරේරා - කාර්ය මණ්ඩල අධ්‍යක්‍ෂක ජෙනරාල්


යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය නියෝජනය කරන මොහු කලක් යුද හමුදා මුලස්ථානයේ පොදු සේවා අධ්‍යක්ෂ ජෙනරාල්  ලෙස කටයුතු කර ඇත. හමුදාවේ දියකාවා අභ්‍යාස (Excercise Cormorant Strike) සංවිධානය කිරීමේදී ප්‍රධාන දායකත්වයක් සපයා තිබේ. යුද සමයේ සන්නාහ සන්නද්ධ බලකායේ ආඥාපති ලෙස යාපනයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී ඇත.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න - යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්


1983 කළු ජූලියේදී දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සහභාගී වීම නිසා විසුරුවා හළ රජරට රයිෆල් බලකායට මුලින් සම්බන්ධ සිටි ඔහු පසුව ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසවන්ත නිලධාරියෙක් ලෙස දිගු කලක් රාජකාරි කළේය. 1983 පටන් උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරිවල යෙදී සිටියේය. 6වැනි ගජබා රෙජිමේන්තුවට ද අණ දෙන්නා වශයෙන් කටයුතු කර තිබේ. වන්නි මෙහෙයුමේදී 53 සේනාංකයේ ආඥාපති ලෙස කටයුතු කළ අතර මුලතිව් දක්වා ප්‍රහාරක සේනාංක බාරව සිටි ශවේන්ද්‍ර සිල්වා, ප්‍රසන්න සිල්වා, චාගි ගාල්ලගේ, ජී වී රවිප්‍රිය, නන්දන උඩවත්ත යන නිලධාරීන් අතරින් ජේෂ්ඨතම හමුදා නිලධාරියා ලෙස සැළකේ. යුද්ධයේ අවසන් අදියරේ හමුදා අත් අඩංගුවේදී මරාදැමුණු බාලචන්ද්‍රන්, ඉසෛප්‍රියා ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇත්තේ මොහුට ය. ජෙනරාල්  සරත් ෆොන්සේකාට එරෙහි හමුදා අධිකරණ ක්‍රියාදාමයේදී අතිරේක විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කළේය. LLRC වාර්තාව සම්බන්ධයෙන් හමුදාව ඉදිරිපත් කළ වාර්තාව සම්පාදනය කළ අතර කලක් බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපති ලෙස කටයුතු කළේය.

මේජර් ජෙනරාල් චන්න ගුණතිලක - ස්වේච්ඡා බලකායේ අාඥාපති


හිටපු යුද ලේකම්වරයා ය. යුද හමුදා ඉංජිනේරු බලකාය නියෝජනය කරන මොහු යුද සමයේ මන්නාරම ආඥාපති ලෙසත්, යුද්ධය අවසන් වූ පසු කිලිනොච්චි ආඥාපති ලෙසත් කටයුතු කළේය. කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි.

මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත - යාපන ආඥාපති


යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය නියෝජනය කරයි. වන්නි මෙහෙයුමේ දී 57 වෙනි දේනාකංයේ නියෝජ්‍ය අණ දෙන්නා වශයෙන් කටයුතු කර පසුව 59 වෙනි සේනාංකය මෙහෙයවමින් වැලිඔය සිට මුලතිව් දක්වා පැමිණි අතර, විශාල ප්‍රමාණයක් සිවිල් වැසියන් මියගිය ආනන්දපුරම්වල සිට මුලතිව් නගරය හමුදාව යටතට ගැනීමට කටයුතු කළේය. 2012 දී රුසියාවේ නියෝජ්‍ය තානාපතිවරයා වශයෙන් පත්කර යැවුණු මොහු පාකිස්ථානයේ හමුදා ආඥා හා මාණ්ඩලික පාසැලේ සහ ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක පාසැලේ පාඨමාලා හදාරා ඇති අතර කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි.

මේජර් ජෙනරාල් ජනක වල්ගම -  නැගෙනහිර ආඥාපති


ඉන්ජිනේරු බලකාය නියෝජනය කරන මොහු වන්නි මෙහෙයුමේ 51 වෙනි සේනාංකයේ අණ දෙන්නා ලෙස කටයුතු කළේය. ඊට පෙර යුද හමුදා 22 සේනාංක ආඥාපති වශයෙන් ත්‍රිකුණාමලයේද, 65 සේනාංක ආඥාපති වශයෙන් තුනුක්කායිහි ද රාජකාරි කළේය. ආරක්‍ෂක සේවා මාණ්ඩලික පාසැලේ අණදෙන නිළධාරි මෙන්ම ආරක්‍ෂක බුද්ධි අංශ අධ්‍යක්‍ෂ තනතුරුද හොබවා තිබේ.

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර - යුද හමුදා මූලස්ථානයේ යුද කටයුතු පිළිබඳ ලේකම්


යුධ හමුදා පාබල රෙජිමේන්තුව නියෝජනය කරන මොහු යුද්ධයේ තීරණාත්මක සමයේ දී හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙසත්, යුධ ලේකම් ලෙසත්  කටයුතු කළේය. එරිත්‍රයාවේ නියෝජ්‍ය තානාපති ලෙස පත්කැරුණු නමුත් එරිත්‍රියාව එම පත්වීම නොපිළිගත් බැවින් ඊජිප්තුවේ සිට රාජකාරි සිදුකළේය. මේජර් ජෙනරාල්  මහේෂ් සේනානායක සමග වන්නි මෙහෙයුමේ තිරය පිටුපස ප්‍රධාන වැඩකොටස සිදුකරන ලද පුද්ගලයා ලෙස සැලකේ.

මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා - මධ්‍යම ආඥාපති


එල් එල් ආර් සී උපදෙස් අනුව චැනල් ෆෝ වීඩියෝව පිළිබද සෙවීමට එවකට යුදහමුදාපති ජගත් ජයසූරිය විසින් පත්කරන ලද කමිටුවේ සාමාජිකයෙකි. 'මානුෂික මෙහෙයුමේදී' කිසිදු සිවිල් වැසියෙකු මිය නොගිය බවට තහවුරු කළ වාර්තාව සම්පාදනය කරන ලද්දේ මෙම කමිටුව විසිනි.  රාජගිරියේ ඔබේසේකර වලව්ව පවරා ගැනීමට ව්‍යාජ ලේඛණ සකස් කල බවට චෝදනා එල්ල වී අනිවාර්ය නිවාඩු යැවුණු මොහු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කළේ ය. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදී සිසුවෙකු වන මොහු කලක් හමුදා ප්‍රකාශකයා ලෙස ද කටයුතු කළේය.

බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න - යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ


වන්නි ආරක්ෂක සේනාංකයේ දෙවැනි කාර්ය සාධක සේනාංකාධිපති ලෙස යුද සමයේ කටයුතු කළ ඔහු යුද හමුදා පුහුණු අධක්ෂක ලෙස ඉන් පසුව කටයුතු කළේය. 2014 දී ඉන්දීය හමුදා සමග පැවති මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාස සංවිධානය කිරීමට දායක විය.

මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා - වන්නි ආඥාපති


කැඩේට් නිලධාරියෙකු වශයෙන් 1981දී හමුදාවට බැඳුණු මොහු සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව 52‍වැනි හා 22වැනි සේනාංකයන්ට අණ දෙන්නා වශයෙන් කටයුතු කර ඇත. වන්නි මෙහෙයුමේදී හතර වැනි සිංහ රෙජිමේන්තු ආඥාපති වශයෙන් කිලිනොච්චිය අත්පත් කරගත් මෙහෙයුම්වලට දායක විය. ඉන්දියාවේ දේවී අහිල්යා සරසවියේ ආරක්‍ෂක කළමනාකරණ ඩිප්ලෝමාලාභියෙකු වන අතර චීනයේ විශේෂ හමුදා පුහුණුවක් ලබා යුද්ධයෙන් පසු වන්නි අඥාපති ලෙස කටයුතු කළේය.☐

© JDS