කොටි බිය නැති හෙටක් - විලි බිය නැති දැයක්!

පොළොන්නරුවේ ‍මයිත්තිරිපාල තරමටම, බෙලිඅත්තේ රාජපස්සත් කොටියෙක් නම් ඒ දෙන්නායෙන් කොයි කොටියාට කතිරේ ගැහුවම මොකදැයි ටවුමේ චන්ද රැස්සීම් බලා ආපහු ආ ගමේ එකෙක් කඩේදී මැසිවිලි කිව්වේ හිතේ අමාරුවෙන් ය. පස්ස විපස්ස සියල්ලන්ගේ කොටි සම්බන්දකම් කිරා මැන බලා ජනතාවට හිතෛසීවන්තම කොටියා තෝරාගන්ට මේ තරං ගහමරා ගන්ට ඕනෑදැයි ෆයින් මෑන්ටත් කල්පනා වූයේ රාත්තිරියේ නින්දට වැටුණු වේලේ වෙමි. ‘පස්ස මාරු කලාට කොටියාගේ පුල්ලි මාරු කරන්ට බැරි’ වග ආදි මුතුන් මිත්තන් වුනත් කියන්ට ඇත්තේ මේ තත්ත්තය කල් තියාම පෙර දැකලා වන්ට පුළුවන.

කොහොමවුනත්, පමනට වඩා කොටි බීතිය ජාතිය වෙලාගත්තොත් ඒකෙනුත් වාසිය අපේ දියුනුව දැක ඊරිසියාවේ පැලෙන්ට යන ජාත්තියන්තර බලවේගවලටම වග කාට කාටත් අමතක වීම සංවේගයට කාරණාවක් ය. සර්වජන චන්ද බලෙන් ලෝකයා මවිත කල විස්මකර්ම වැඩ කරන ජාතියක් වසයෙන් මේ වසංගත කොටි බීතිය දූරිංබූත කොට දැමිය ඇහැකි මාර්ග ගැන සාකච්චා කොට සම්මුතියක් ඇති කොට ගැනීම දැන් දැන්  යුගයේ අවස්සියතාවයක් වෙමු. පුල්ස්කැප් කොල දෙකක් පිරෙන්ට ‘කොටි බීතිය දුරු කිරීමේ දින සීයේ වැඩ පිලිවෙලක්’ කෙටුම්පත් කරන්ට ෆයින්  මෑන් කටයුතු කළේ මේ කල්පනාවන්ගේ ආනුබාවයෙනි. ඒ සුවයංජාත අදහස් දැන් සියළු අපේක්සක කොටියන්ට ලියා පදිංචි තැපෑලෙන්ම යවා අහවර නිසා අවසේස හුදී ජනයාගේ දැනගැන්ම පිනිස ඒ යෝජනා මාලාවෙන් අවුංසයක් තරමේ ප්රමානයක් පරසිද්ද කරන්නට ෆයින් මෑන් තීරනයක් කොට ඇත්තෙමි. මේව්වා ඕනෑ කෙනෙක් තමන්ගේ වියදමින් අච්චු ගස්වා ඥාති මිත්රාදීන් අතර බෙදුවාට,  අනේ අපේ නම් කිසි විරෝදයක් නැත්තෙමු.

“කොටි බිය නැති කරමු - විලි බිය දුරු කරමු! ලොව අල්ලන දින සීයේ වැඩ සටහන.

වන්නි කොටි හිටි කාලයේ ඇති කල කොටි බීතිය වන්නි කොටි නැතුවද ගමක් - ගමක් ගානේ හොල්මං කරන තත්ත්තයක් ඇති වීම ජාතියේ අබිවුර්ද්දියට බාදාකාරී ය. රට කරන ඈයින් ‘තෝ කොටියා’ කියා එකිනෙකාට බැන අඬ ගසා ගන්නා පුරුද්ද දැන් දැන් ගම් මට්ටමේ සමූපාකාර චන්ද හා මහිලා සමිති දක්වාම බලපෑමට පටන් ගැන්ම විනාසකාරී තත්ත්තයකි. ජාතියේ පවුරුසය බෙලහීන කර කොටියාගේ නමටත් බයවන පරම්පරාවක් මේ නිසා බිහිවන්නට හොඳටෝම ඉඩ ඇත්තෙමු. ඒ නිසා යට සඳහන් පියවර චන්දෙන් පසු මුල් දින සීය ගෙවෙන්නට මත්තෙන් අප්රමාදව ක්රි යාවට නැංවීමට කවුරු කවුරුත් අදිස්ටාන කරගන්නවා නම් සීග්ර ප්‍රතිපල ලඟා කරගත හැක්කෙමු.

• කොටියාට ඇති බය නැති කරන්නට නම් සාමාන්නියෙන් ගේ දොර ඇති කරන බලල් තඩියෙක් ගානටම කොටියාගේ සැර බස්සවා ගත යුතු වෙයි. ඒ සඳහා මුල් පියවරක් හැටියට පැටි වයසේ පටන් ලමයින්ට කොටියා ගැන බීතිය නැති කිරීම යුගයේ අවස්සියතාවයක් වෙමු. ඊට පිළියම් වසයෙන් දරු පැටව් හුරතල් කිරීමේදී පවා ‘නාඬන් මයේ කිරි කොටියා’ ආදී ආදර බස්  නිතර කීමෙන් දරුවන්ගේ කන් කොටියාට හුරු වේ. මීට අමතර වසයෙන් දැනට ගායනා කරන ලමා කවි - ගී  පද මාරු කර, ‘රන්වන් පාටයි කලු කොටියා’ – ‘මේ රටේ බොහෝ - කොටි ගොඩක් සිටි’ යනාදී වසයෙන් එළිවැට තියා නැවත ලියවා ගැනීම පොරෝජනවත් ය. මේ ආකාරයෙන් කොටියාගෙන්ම බහ තෝරන්ට පුරුදුවන ජාතියක් මේ සම්මජ්ජාතියේ කොටියා ගැන කියා බය කරන්ට බැරි වනවා සිකුරු ය.

• තරුන පරම්පරාව අතර කොටියා සාමාන්නියකරනය කිරීමද අත්තියාවස්ස වෙයි. ඒ සඳහා ටෙලිනාට්ටි, පිචැර් හා සංගීත සන්දර්සන වාගේම අවුරුදු ක්‍රීඩා ආදී වැඩසටහන් යොදාගත යුතු ය. මේ යටතේ ‘සැඟවුණු කොටියා සෙවීම - කොටියාට ඇහැ තැබීම’ වැනි පැරනි ජන ක්‍රීඩා නවීකරනය කොට අදට ගලප්පා තරුන උද්යෝගය ඇති කල යුතු වෙමු. පිචැර් බලන්නට ඇති ආසාවට ගැලපෙන ආකාරයෙන් පරන හොඳ පිචැර් තෝරා, නම් ගම් ඇබින්දක් එහා මෙහා කොට නැවත හදා  ‘කොටියා සමග වාසේ’ – ‘කවුද කොටියා’ – ‘මල් පබා සහ කොටි හතලිහ’ වැනි නැවුං නම් යොදා බෙදාහැරීම මනා ය. ඒ වාගේම, කොයි කාගේත් සිත් සතන් ඇද බැඳගත් ගී සංකල්පනා මද වසයෙන් වෙනස් කර ‘අපි ඔක්කොම රජවරු - ඔක්කොම ‍කොටියෝ’- ‘කොටියා වේ රටක බලේ කොටියා වේ’ – ‘කොටියන්ගේ රස හැඟුම පුබුදා තියා - සුදු නංගියා මාගේ’ යනාදී වසයෙන් රස මතුකොට නැවත ලියවාගන්නට කාවියක්කාරකම් ඇති රාජ්ජ සේවය පිනිසම ඇප කැප වුනු සින්දු ලියන්නන්ගේ හා සංගීත මාස්ටර්ලාගේ සේවය යොදා ගත හැකිය.  

• හූදී ජනයා වැඩ රාජකාරීවලට යන එන මං මාවත්වල හැකිතාක් කොටියා ප්රදර්සනය කිරීමද කොටි බිය නැති කරන්නට සමත් මහානිසංස ගෙන දෙන ක්‍රමයක් බැව් කිව මනා ය. කොහොමටත් අඩියක් අඩියක් ගානේ බඹ දහය දොලහේ කටවුට් හිට වූ විට ඕනෑම කොටියෙක් බලු වෙන බව අමුතුවෙන් කියන්ට ඕනැන්නේ නැත. ඒ සඳහා පින්තූර යටින් ‘සියක් ලක්සයක් සිංහ කොඩි යට දස ලක්සයක් කොටි’ වැනි පවුරුසය වර්දනය කරන වැකි සිත්තර බාස්ලා ලව්වා ලකේට ලියවා ගැනීම ගැලපෙයි. මීට අමතර වසයෙන් මහජන උද්යෝගය ඉස්මතු කරගන්නට ත්‍රී වීල් හා ප්‍රැයිවෙට් බස් වලද කොටියා සම්බන්ද කොට රසවත් වැකි පන පිහිටුවා ලිවීමද යෝග්ගිය වග ෆයින් මෑන්ගේ කල්පනාවයි. එව්වාට උදාහරන වසයෙන්  ‘ජීවිතේ මල් - කොටි ඉන්න කල්’ ‘මේ කොටින්ගේ දේසයයි’ වැනි අර්තවත් වැකි ත්‍රී වීල් කොලු රෑන් අතර පාසුවෙන් ජනප්පිරිය කළ හැකි බව ට සැකක් නැත්තෙමු. මීට අමතර වශයෙන් ජාත්තියන්තර ඇන්ජීයෝ කල්ලි ඉලක්ක කොට ‘කොටි අපේ නම් - අපිත් කොටි නම් - කාටවත් ඇයි වේදනා’ වැනි වැකි ලියූ ත්‍රී වීල් මත්තල හා කටුනායක වැනි මර්මස්තානවල පාක් කොට තැබීමෙන් කූට අබිප්ප්‍රායන් ඇතිව ගොඩබසින උන්ට අප්‍රමාන ලැජ්ජා බය ඇති කල හැකි වෙමු.

• සමහරවිට මේ වෑයම් අවතක්සේරුවට ලක්කරන්ට කුරුමානම් අල්ලන ඩයස්පොහොර කාරයා මහාවංසයත් ඈඳාගෙන ‘එතකොට සිංහබාහුගේ තාත්තාත් කොටියෙක්දැයි’ වැනි කතා පාච්චලේට වාගේ ජාත්තියන්තරව මතුකරන්ට ඉඩ තිබේ. ඒ නමුත් එව්වාට වෙඩි වායේ උත්තර බැඳිය හැකි දස්සයින් හිඟ නැති නිසා බය වන්ට කාරි නැත්තෙමු. එවැනි දස්සයින් ලවා ‘ඔව්, සිංහබාහුගේ තාත්තා සිංහයෙක් වුණාට බාප්පා කොටියෙක් වෙන්න බැරිදැයි’ වැනි හොඳවැයින් තර්කයක් දෙකක් අස්සවා, ජාත්තියන්තරව මේ ඩයස්පොහොර කාරයාව තනි කොරන්ටත්, පල් කොරන්ටත් පුළුවන. බෙලිඅත්තේ ඈයින්ටත් බුදුන් එක්ක නෑකම් හදා පෙන්නන්ට දස්ස ජනමූලග්ගාය ඇති සුදීමතුන් ඉන්නා දේසයක ‍කොටින්ට නෑකම් හදාගන්න එක කජ්ජක්ද කියා ෆයින් මෑන් අහන්ට කැමැති ය.

මේ වැනි කඩිනම් වැඩ පිලිවෙලක් හරිහැටි කිරියාවට නැංවුවොත්, ඊ ලඟ චන්දෙ වෙන විට හැම අපේක්සකයෙක්ම විලි බිය දුරු කොට තම තමන්ගේ කොටි සම්බන්දකම් එලිපිට කියන තත්ත්යක් ඇති කල හැකිය.  ජාතියේ පවුරුසය නගා සිටුවා කොටි බිය නැති හෙටක් උදාකරනු වස් ජාතිය සූදානම් කිරීමේ මහා සංග්රාමය මේ වැඩසටහන මගින්ම පන පොවා ගත හැක්කෙමි.”

මේ වගට දේස හිතෛසී,

ෆයින් මෑන්


© JDS