සමකය: අපේ වෘත්තාකාර සිරගෙය

සැප්තැම්බර් 05 වැනිදා ජනබලය පළමුව බස්වලටත්, දෙවනුව කොළඹටත් රැස්කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධතා සංවිධායකයෝ, අගනුවර දවස් කිහිපයක් වටලා සිටීමේ ප්‍රතිඥා දුන් රණකාමී කතා කිහිපයකින් පසු මධ්‍යම රාත්‍රියේදී ලේක්හවුස් වටරවුමෙන් විසිර ගෙවල් බලා නික්ම ගියහ. ඒ වනවිටත් නින්දට වැටී සිටි පිරිස් ද පසුදා පාන්දරින් අවදිව ගම් බිම් බලා පිටව ගියෝය. දැන් ඇත්තේ විරෝධතාකරුවන් මත් වී සිටියේ ද, කිරි බී සිටියේද යන්න ගැන උද්වේග සම්පන්න විවාදයකි. පුරවැසියන්ට වස දුන් රාජ්‍ය පාලකයන් ගැන අවසාන වතාවට දැක්වෙන්නේ රාජාවලියේ බව කිරි බී රෝගී වූ බැව් පැවසෙන ඩලස් අලහප්පෙරුම ඉතිහාස පොත්පත් පරිශීලනයෙන් උපුටා දැක්වා ඇත්තේ ඒ විවාදය ඉදිරියට ගෙනයනු පිණිස ය.

පවුල්වාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී බලවේග යළිත් ජයගත් බවට උදම් ඇනූ ආණ්ඩුව, ඒ ජය සමරනු වස් සැප්තැම්බර් 10 වැනිදා ඩීසල් මිල රුපියල් පහකින් ද, පැට්‍රල් මිල රුපියල් හතරකින් ද වැඩි කිරීමට තීරණය කළේය. එහි දාම ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලය එළඹෙන සතියේදී පුර්ණ වශයෙන් අනාවරණය වීමට නියමිත ය.   එකළොස්වැනි වතාවටත් රුපියල අවප්‍රමාණ වීමේ ඵල විපාක ගැන කණස්සලු වූ මැද හා පහළ පංතික ජනයා දැන් රුපියල් 65කට පාන් අනුභව කරති. ජනාධිපති සිරිසේනගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ බොජුන් පතින් බාල කජු ඉවත්කිරීමට ගත් තීරණය හැරෙන්නට වෙනත් සොම්නස්දායී පුවතක් ගත වූ දෙසතියේ නෑසුණු තරම් ය.

ලංකා බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරීන් විසින් ඉකුත් බදාදා (12) දිනයේ කැඳවන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මහ බැංකු වාර්තා ඇසුරින් පෙන්නුම් කළ ආකාරයට පසුගිය සිව් අවුරුද්ද තුළ රජයේ බදු ආදායම 94%කින් ද,  ඒක පුද්ගල බදු ආදායම මාසිකව 85%කින් ද වැඩිව තිබේ. රාජ්‍ය බදු ආදායමින් වක්‍ර බදු වශයෙන් අයකරගන්නා රුපියල් බිලියන 1,729ක් හෙවත් 85%ක බදු බර මැද හා පහළ පංතික ජනයා කර මතට වැඩි වශයෙන් පැටවෙන නමුත් ඉහළ ආදායම්ලාභී සමාජ තීරුවෙන් සෘජු බදු වශයෙන් අයකරගනු ලබන ආදායම් බදු හා සංස්ථාපිත බදු ප්‍රමාණය සමස්ත බදු ආදායමින් බිලියන 305ක් හෙවත් 15%ක පංගුවක් බව වෘත්තීය සමිති ක්‍රියාධරයෝ පෙන්වා දී තිබුණාහ.

රුපියලේ කඩා වැටීම හමුවේ වැඩිවන ජීවන වියදම විසින් ඇතිකරන දේශපාලන ප්‍රතිවිපාක වළක්වලන්නට නම් මහ බැංකුව අහෝසි කොට මූල්‍ය මණ්ඩලයක් පිහිටුවන ලෙස හෝ දැනට භාවිත මූල්‍ය ඒකකයට ආදේශකයක් වශයෙන් ඩොලර්කරණ පිළිවෙතකට මාරුවන ලෙසත් මූල්‍ය විශ්ලේෂකයන් යෝජනා කරන බව ආර්ථික පුවත් වෙබ් අඩවියක් විසින් වාර්තා කොට තිබුණි. ඒ වර්ධනය වන සමාජ අවනතිය පාලනය කිරීමේ ‘තාවකාලික මගක්’ වශයෙන් විය යුතු ය.

මානව අයිතිවාසිකම් කෙරෙහි විදේශ ණය බලපෑම ගැන විශේෂඥයකු වන හුවාන් පබ්ලෝ බොහොස්ලාව්ස්කි,  එක්සත් ජාතීන් නියෝජනය කරමින් කරන ලද සමීක්‍ෂණ චාරිකාවක් අවසාන කරමින් සැප්තැම්බර් 11 වැනිදා කොළඹදී නිකුත් කළ නිවේදනයකට අනුව ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 4,166ක් වුව ද, ජනගහණයෙන් 40%ක් මාසිකව උපයන්නේ රුපියල් 8,000කට අඩුවෙනි. ‘ආර්ථික සමෘද්ධිය’ සඳහා අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ උපදෙස් සපයන ලෝක බැංකුව සිය 2016 ශ්‍රී ලංකා වාර්තාව මගින් පෙන්වා දෙන්නේ  ජනගහණයෙන් 60%ක් උපයන්නේ ඩොලර් 4කට අඩුවෙන් බව ය. 

නමුත් රාජපක්ෂවරුන්ගේ පුනරාගමනයක් සේ පෙන්නුම් කෙරෙන වැඩෙමින් ඇති ආණ්ඩු විරෝධී මනෝභාවයත්, ඉහතින් කී මූලික ආර්ථික සංඛ්‍යා දත්තයනුත් අතර ඇති සම්බන්ධය හෙළිකරන සෑම අසව්වක්ම දැන් ගළවා දමනු ලැබ තිබේ. දුගීභාවය හා අසමානතාව ගැන ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන යථාර්ථයන්, රාජපක්ෂවරුන්ගේ බල සැලසුම්වලට පිටුබල සපයතැයි ආණ්ඩුවේ ආධාරකරුවෝ කල්පනා නොකරති. දේශපාලන අවනතිය යනු ‘ටොයියන් හා බයියන්’ අතර ෆේස්බුක් බල තුලනය ගැන ගැටළුවක් බවට පෙරළී ඇත්තේ ඒ නිසා ය.

ආණ්ඩුව හා විරුද්ධ පාක්ෂික දේශපාලනය වෙන්කරන ප්‍රතිපත්තිමය බෙදුම් රේඛාවක් කිසිවකුත් නොදන්නා තැනක පසමිතුරුකම්වලට අර්ථ සැපයෙන්නේ වමෙන් නොව, දකුණෙනි. වාර්ගික හා ආගමික අධිපතිවාදයේ ධජ පතාක ළෙලවමින් වීදි බසින දක්ෂිණාංශික බහුජනවාදයන් පැන නගින්නේ ඒ පොළොවෙනි. ආර්ථික සුරක්ෂිතතාව අහිමි වී පතුළක් නැති ජීවන අගාධ ඉමට තල්ලු කරනු ලැබ සිටින පහළ පංතික ජනයා සිංහ කොඩියෙන් සන්නද්ධ කොට, ‘යළි නැගිටිමින් සිටින කොටින්ට’  මුහුණදීමට බලමුලු ගන්වන්නේ ඒ න්‍යාය පත්‍රයට පිටුබල සපයා ගනු පිණිස ය.

නමුත් ආණ්ඩුවට වමෙන් සමාජ ආර්ථික සුරක්ෂිතතාව ඉල්ලා වීදි බසින වැඩ කරන ජන කොටස් හා ශිෂ්‍යයන් ද, යුක්තිය හා වාර්ගික සමානත්වය ඉල්ලා විරෝධතා දක්වන පීඩිත ජාතීන් ද මැඩලනු පිණිස අධිකරණ හා මිලිටරි බලය යොදාගැනීමට නොපැකිලෙන යහපාලකයෝ, ආණ්ඩුවට දකුණෙන් රැළි ගසන දක්ෂිණාංශික සේනා සමග සම්මුතියක් සඳහා මෘදු මගක් සොයති.

අලුත් උද්වේගයකින් පැරණි නරකාදිය ගැඹුරු කරගන්නේ කෙසේදැයි යන සංසාරගත ප්‍රශ්නය සමග ලංකාවේ චිරාගත පාලක පංති සාමාජිකයෝ දැන් පොරබදිමින් සිටිති. ඉතිහාසය ලංකාවේදී නැවතී නැතැයි සිතෙන්නේ එය වටේ යන නිසා ය. වෘතයක් වටේ යනවිට අලුත් වටයක දී හමුවන්නේ කලින් වටයේදී පසුකළ දෑ බව කීවේ කාල් මාක්ස් නොවේ; කලකට පෙර ‘සින්තටික් සිහින’ නාට්‍යය හැදූ අශෝක හඳගම ය.

ඒ වෘත්තාකාර සිරගෙය බිඳීමේ මගක් ආණ්ඩුවට දකුණෙන් පහළ වන්නට ඉඩක් නොමැත.☐

(මෙම ලිපිය 2018 සැප්තැම්බර් 16 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS