සමකය: බියෙන් පාලිත දවස් ගැන

වෙඬරුවේ උපාලි උන්නාන්සේට රට බේරාගන්නට හිට්ලර් කෙනෙක් ඕනෑ බව ‘ජාතියට’ නිවේදනය කරන ලද්දේ ජූනි 20 වැනිදා ය. බරපතල වැඩ සහිත හය මාසයක සිර දඬුවමක්, පෙර කුසල් බෙලෙන් සතියක් ඇතුළත ගෙවා හමාර කළ ගලගොඩඅත්තේ උන්නාන්සේ යළි හෙළ බොදු රණ බිමට අවතීර්ණ වූයේ එයින් දෙදිනක් ඇවෑමෙනි. චීවරධාරී හා ජම්පර්ධාරී  භික්ෂූන් ගැන මතුව ආ ධර්ම සංවාදය හිට්ලර්ගේ ගුණ - අගුණ ගැන විසි එක්වැනි සියවසේ පළමු උද්‍යෝගීමත් 'පුරවැසි සංවාදය' විසින් යටකර ඇත්තේ ඒ අනුව ය. සිංහල භාෂාව මහාද්වීපික භාෂාවක් නොවීමේ වාසිය නිසා සමාජ මාධ්‍ය ඔස්සේ මේ කොයි සංවාදයත් ආඩම්බරෙන් බෙදා හදා ගන්නට දැන් අවකාශ තිබේ.

පළමු සහ තුන්වැනි ලෝකය බෙදා වෙන්කළ ව්‍යුහාත්මක අයුක්තීන් ගැන තියුණු විරෝධාකල්ප සම්පිණ්ඩනය කළ රමණීය ගද්‍ය වාර්තාවක් සේ සැළකෙන සිය ‘අප් සයිඩ් ඩවුන්’ කෘතියේ තැනක, නොනිමි සංත්‍රාසයට යටත් වූ අපේ සමකාලීන යුගය ගැන ලියමින් එදුවාර්දෝ ගලියානෝ මෙසේ කියයි:

“මේ භීතියේ කාලයයි. ස්ත්‍රීන් ප්‍රචණ්ඩ පිරිමින්ට බිය වන අතර පිරිමි නිර්භය ස්ත්‍රීන්ට බිය වෙති. සොර බිය ය. පොලිස් බිය ය. අගුළු නැති දොරවල් ගැන ද, ඔරලෝසු රහිත කාලය ගැන ද, රූපවාහිනී නැති දරුවන්  ගැන ද බිය ය. නිදි පෙති නොමැති රැය ගැන ද, අවදිවන්නට පෙති නොමැති දිවා කාලය ගැන ද බිය ය. සෙනඟ පිළිබඳ බිය ය. හුදකලාව පිළිබඳ බිය ය. වූ දේ සහ වන්නට ඇති දේ ගැන බිය ය. මරණ බිය ය. ජීවත්වීමේ බිය ය.”

බියෙන් පාලනය වන ගෝලීය දවස් ගැන ගලියානෝගේ සටහන මීටත් වඩා දිගු එකකි. නමුත් ඒ ලැයිස්තුව ඕනෑනම් තවත් දිග්ගැස්සිය හැකි ය. නිරවි යුද්ධය අවසානයේ බිහිවීමට නියමිත ‘නව නිර්භීත ලෝකයේ’ කට මුලදීම ඉරාක ආක්‍රමණයට තීරණය කළ ජ්‍යෙෂ්ඨ බුෂ් ‘ලෝකය භයානක තැනකැ’යි කීවේය. බුෂ්ගේ ‘දූරදර්ශී’ වාක්‍යය යුරෝපයේ දක්‍ෂිණාංශික පුනරුදයේ පටන් ට්‍රම්ප්ගේ මැතිවරණ ජය දක්වාම ප්‍රතිඵල අත්කර දෙමින් ඇති හැටි දැන් දැකිය හැකි ය. ලෝකය භයානක තැනක් වූ විට භීතිය තිරසාර විශ්වාසයක් බවට පෙරළේ. සකළවිධ භීතියෙන් ගැළවුම සොයන ජනයා ඒ භීතියෙන් විමුක්තිය ළඟාකර දෙන ගැළවුම්කරුවන් සෙවීම ජීවන අරමුණක් සේ සළකති. ඒ ගැළවුම්කරුවා එළඹෙන බියජනක දවස් ගැන වඩ වඩාත් භීතිය පැතිරවීමට සමත්විය යුතු ය.

නිමක් නැති සාමූහික භ්‍රාන්තියෙන් වටලනු ලැබූ ජනයා එයින් මිදීමට බිය වෙති. බියෙන් බිය නැසීමේ සූත්‍රය ඒ නිසා ය. නන් වැදෑරුම් බිය විසින් පාලනය කරන අපේ දවස් විසින් ඊට නිදසුන් සපයනු ලබයි.

කොටි නැගිටිනු ඇතැයි බියකි. හමුදා හකුළනු ඇතැයි බියකි. මුසල්මානුවන් වැඩිවෙතැයි බියකි. සිංහලයන් වඳ වෙතැයි බියකි. බොදුනුවන් පන්සල් නොයෑම බියකි. මුස්ලිමුන් පල්ලි යෑම ද බියකි. අන්‍යාගමිකයන් පැතිරෙතැයි බියකි. බුදුදහම නැති වෙතැයි බියකි. මුස්ලිම් ස්ත්‍රීන් බුර්කාව ඇඳීම බියකි. සිංහල ස්ත්‍රීන් විලාසිතා කිරීම ද බියකි. සංස්කෘතිය නැසෙතැයි බියකි. සංස්කෘතිය විවෘත වෙතැයි ද බියකි. සිංහල යුද වින්දිතයන් අමතකව යතැයි බියකි. යුද වින්දිත දෙමළුන් ස්මරණය ද බියකි. ජාතික පසමිතුරුතාව බියකි. ජාතික සංහිඳියාව ද බියකි. පැවති ව්‍යවස්ථාවට බියව සිටි  පිරිස් දැන් අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙතැයි බිය වෙති. කලක් විධායක බලය බියකි. දැන් විධායක බලය අහෝසි වෙතැයි බියකි. ජාත්‍යන්තරයෙන් කොන්වනු ඇතැයි බියකි. ජාත්‍යන්තරයට යටවෙතැයි බියකි. භික්ෂු බිය ද, කුමන්ත්‍රණ බිය ද, සොර බිය ද, රෝ බිය ද, සතුරු බිය ද ඊට අමතර වශයෙනි. 

හිට්ලර් කෙනෙක් ඕනෑ වන්නේ මේ නොතිත් බියෙන් සිංහලයා ගළවාගනු පිණිස ය.

ලේ බත් කුරුබිලියක ගෙවා දැමූ අසූවේ දශකය දැන් තිස් අවුරුද්දක් පැරණි ය. ජයවර්ධන - ප්‍රේමදාස පාලනය වනාහී මර්දනකාරී හිට්ලර්වාදයකැයි ඇදහූ පරම්පරාවක් මං මාවත්වල කපුටන්ට සහ කබරුන්ට ප්‍රණීත දෛනික භෝජනයක් වූයේ ඒ තිස් අවුරුද්දට කලිනි. ඉක්බිති නරකාදියේ පැසුණෝ දමිලයෝ ය. ඉතිහාස සාක්ෂරතාවක් නැති රටක අතීතය වනාහී සූරියකන්දට පිටු පා ගත් 'සෙල්ෆි'යකට වැඩිමනත් දෙයක් නොවේ. ලේ රස දත් කාගෙන් හෝ හිට්ලර් කෙනෙක් කපා මසාගන්නේ කෙසේදැයි ‘කාසාවකණ්ඨක දුශ්ශීල ශ්‍රමණයන්’ ට පහළවන කල්පනාවන් 'පුරවැසි සංවාදයන්ට' නිමිති වන්නේ ඒ නිසා ය. ඒ ලේ වැකි අතීත සමයේ මාතලේ දිස්ත්‍රික්කය භාර හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ක්‍රියා කළ කර්නල් ගෝඨාභය රාජපක්ෂ තරම් ඊට සරිලන සුදුස්සෙක් කල්පනා නොවීම කාට නම් පුදුමයක් විය හැකිද? ඒ ගැන සැක සංකා ඇති අය මාතලේ විජය විදුහල් වත්තේ කැමති තැනකින් වළක් හාරා බලනු යෙහෙකි ය.

‘අපි ඔහුගේ අපරාධ සහායකයන් බවට පත් නොවන්නේ නම් සමස්ත ජාතියක් භීෂණයට පත් කිරීමට කිසිවෙකුට නොහැකි යැයි’ වරක් කීවේ කීර්තිමත් ඇමරිකානු මාධ්‍යවේදී එඩ්වඩ් ආර්.මරෝ ය. ප්‍රතිවාදීන් මැඩලනු පිණිස ‘කොමියුනිස්ට් භීතිකාව’ යොදාගත් සෙනෙට් සභික ජෝසෆ් මැකාතිගේ දක්ෂිණාංශික ප්‍රීති සම්භාෂණ විසුණු කළ දයා විරහිතම ප්‍රහාරකයා, ඇතැම් විට ඔහු වීමට ඉඩ තිබේ.

අපරාධකාරීත්වයට  ඇබ්බැහි වූ අපේ සිතැඟි පරිදි සහාය වනු පිණිස ‘උම්බලකඩ නොකන’ මිනිස් ඝාතකයන් පාලකයන් සේ ‍බෞතීස්ම කිරීමේ අධියර දැන් ආරම්භ වී තිබේ. ප්‍රජා මට්ටම්වල සිට මාධ්‍ය, ආගමික හා දේශපාලන මත හසුරුවන්නන් දක්වා බොහෝ දෙනකු දැන් එළඹ ඇති බියජනක සමය ගැන හැකිතාක් ‘බිය වන්නැ’යි උපදෙස් දෙන්නේ එබැවිනි. බියෙන් මුදන ගැළවුම්කරුවන් ඕනෑ වන්නේ එවිට ය.

නරේන්ද්‍ර මෝදි යටතේ වේගයෙන් පැතිරෙන හින්දුත්ව බහුතරවාදයේ තර්ජනය ගැන දෙසතියකට කලින් ‘ගාඩියන්’ පත්‍රය හා කතා කරමින් අරුන්දතී රෝයි ‘බහුතරවාදය යන්නෙන් මා අදහස් කරන්නේ හුදෙක් ආණ්ඩුව නොවේ - බොහෝ මාර්ගවලින් තනි පුද්ගලයන් ද ක්‍ෂුද්‍ර ෆැසිස්ට්වාදීන් බවට පෙරළෙමින් තිබේ’යැයි කීවාය.

දකුණු ලංකාව ක්‍ෂුද්‍ර ෆැසිස්ට්වාදී කීටයන් බෝ කෙරෙන තවානක් බවට පෙරළාගන්නා ලද්දේ දශක එක හමාරකට කලිනි. අභිනව මහා හිට්ලර් කෙනෙක් අවශ්‍යව ඇත්තේ බිත්තර බිඳ උස් මහත් වූ ඒ පුංචි හිට්ලර්ලා මෙහෙයවා ගනු පිණිස ය.☐

(මෙම ලිපිය 2018 ජූලි 01 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS