සමකය: වර්ජන මැඩලන තර්ජන

ටෙලිකොම් සමාගමට අනුයුක්ත 'මෑන් පවර්' සේවකයන්ගේ සටන පටන්ගත්තේ අඩුම වශයෙන් අවුරුදු දහයකට කලිනි.  සේවා ස්ථිර කිරීමේ ඉල්ලීම ඊටත් පැරණි බව නිසැක ය. කඩින් කඩ ඇදෙමින් ගිය ඒ සටන තලා දමන්නට රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් රාජ්‍ය බලය යහමින් යොදාගන්නා ලදී. 2014 දෙසැම්බර් 31 වැනිදා, කොළඹ දිසා අධිකරණය මගින් ටෙලිකොම් වර්ජකයන්ට එරෙහිව වාරණ නියෝගයක් ලබාගත් කලින් ආණ්ඩුව නියත ලෙසම ගෙදර යවන්නට ශපථ කළ නව නායකයෝ 2015 ජනවාරි 02 වැනිදා වර්ජකයන්  විහාර මහා දේවී උද්‍යානයට කැඳවා තමන්ගේ ආණ්ඩුවක් යටතේ 'මෑන් පවර් වහල් සේවය' අහෝසි කරන බව දිවුරා සිටියෝය.

දැන් ලියමින් තිබෙන්නේ එතැන් සිට කතාව ය.

අළුත් ආණ්ඩුව යටතේ ටෙලිකොම් කම්කරුවන්ට එරෙහිව අධිකරණ වාරණ නියෝගයන් උරගා බලන්නට පටන් ගත්තේ 2015 මැයි මාසයේදී ය. 2016 දෙසැම්බර් යළිත් ඇවිළ ආ සටන අවුරාලමින් අවම වශයෙන් අධිකරණ වාරණ නියෝග පහක් ගත වූ මාසයක කාලය තුළ ලබාගෙන ඇත්තේ ඊට අමතර වශයෙනි. ජනවාරි 29 වැනිදා අළුයම් කාලයේ දී  අතුරුදහන් වූ සමස්ත ලංකා විදුලි සංදේශ කම්කරුවන්ගේ සේවක සංගමයේ උප සභාපතිවරයා තුන් දවසකින් පසු ඉංගිරියේ නඹපාන පාලම අසළින්  මතුවීම ඊටත් අතිරේක කාරණාවකි. පැලැන්වත්තේ, ඉඳිගහදෙණිය පාරේදී තමන් පැහැරගෙන ගිය සන්නද්ධ පිරිස් වර්ජන ව්‍යාපාරය අත්හැර දමන්නැයි බලපෑම් කළ බව ඔහු පොලිසියට දුන් කට උත්තරයේ සඳහන් ය.

ලේත්, මඩත් සෝදාගත් විට සිංහලයේ අන්තිම රජු, සිංහාසනයට වුව යළිත් සුදුසු බව ඔප්පු කර පෙන්වීමේ ප්‍රචාරක සැණකෙළිය ජනවාරි 27 වැනිදා නුගේගොඩින් ආරම්භ වූයේ මේ අතරවාරයේදී ය.

ටෙලිකොම් කම්කරු සටන දකුණේ දී පාඩම් කියා දෙන්නේ තට්ටුමාරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන පමණක් නොවේ. ඉහළ යන ලාභ අනුපාතයන්ට සමාන්තරව මිනිස් දුක්ඛිතභාවය ගැඹුරුවන්නේ කෙසේදැයි යන පරිහාසයට ලක් කළ ඉතිහාස පාඩම ද එය යළිත් පසක් කර දෙයි. ඒ දෙවැනි පාඩම සැකෙවින් විමසා බැලීමට වටිනා එකකි.

7798ක් බව කියන ටෙලිකොම් සේවකයන්ගෙන් අඩුම ගණනේ 2100ක් ස්ථිර නොකළ රැකියා හිමි මෑන් පවර් කම්කරුවන් ය. ඒ මිනිස් බල සමාගම පවත්වාගෙන යන්නේ ද ටෙලිකොම් සමාගම විසිනි. ඒ කම්කරුවන් ස්ථිර කිරීමෙන් පාඩු ලබන්නට ඉඩ ඇතැයි කියන ටෙලිකොම් සමාගමේ මෑතකාලීන ලාභ වාර්තා පහත පරිදි ය.

2015 අවුරුද්දේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 33කට වැඩි ආදායම් ලැබූ ටෙලිකොම් සමූහ සමාගම සිය ලාභය 17%කින් වර්ධනය වීම පිළිබඳ උදම් අනා තිබිණ. 2016 පළමු කාර්තුව වෙනුවෙන් නිකුත් කළ සමාගමේ ආදායම් වාර්තාවන්ට අනුව බදු වැයෙන් පසු ලාභය රුපියල් බිලියන 1.7ක් හෙවත් 10% නැග්මක් පෙන්නුම් කර තිබේ. 2016 පළමු මාස නවයේ ආදායම් වාර්තාවන්ට අනුව, සමාගමේ බදුවලින් පසු ලාභය 13.5%කින් වර්ධනය වී යැයි ද වාර්තා වේ.

මේ ලාභ වර්ධනයන් විසින් තීව්‍ර කරන මිනිස් දුක්ඛාන්තයන්ට එරෙහි සටන ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට පදික වේදිකාවල මාසයක් තිස්සේ රැළි ගසද්දී නිරාමිස සුඛාන්තය අන් තැනක දිගහැරේ. ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයාට අනුව ඒ කතාව මෙසේ ය: "විධායක නොවන සේවකයන් මෑන්පවර් සේවකයන් ලෙස බඳවා ගන්නා අතරේ සුළුතරයක් වන විධායක සේවකයන්ට අති විශාල වැටුප් ප්‍ර‍මාණයක් ගෙවනවා. රුපියල් ලක්ෂයකට වඩා වැඩි වැටුපක් ගන්නා නිලධාරින් 286 දෙනෙක් ද,  රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි වැටුපක් ගන්නා නිලධාරින් 101 දෙනෙක් ද ,  රුපියල් ලක්ෂ තුනකට වඩා වැඩි වැටුපක් ගන්නා නිලධාරින් 12 දෙනෙක් ද,  රුපියල් ලක්ෂ හතරකට වඩා වැඩි වැටුපක් ගන්නා නිලධාරින් 8 දෙනෙක් ද,  රුපියල් ලක්ෂ පහකට වඩා වැඩි වැටුපක් ගන්නා නිලධාරින් 20 දෙනෙක් ද ටෙලිකොම් ආයතනයේ ඉන්නවා."

'නීතියේ ආධිපත්‍යය' වැදගත් වන්නේ මේ පරස්පර යථාර්ථයන් විසින් කුළුගන්වන සයුක්තික කැරළිකාරීත්වය තලා දමනු පිණිස ය. වාරණ නියෝග ද, පොලිස් බිය වැද්දීම් ද, අත් අඩංගුවට ගැනීම් ද, මේ ලියන මොහොත වනවිටත් සටනෙහි නියැලෙන ටෙලිකොම් කම්කරුන්ට එරෙහිව යොදවා ගන්නේ ඒ අනුව ය. ඒකාබද්ධ වෘත්තීය සමිති විසින් පසුගිය සතියේ නිකුත් කළ නිවේදනයේ උපුටා දක්වා ඇති කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ලිඛිත තර්ජනය ඊට කදිම සාක්‍ෂි සපයයි. ඒ තර්ජනයට අනුව, 'අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 95 (1) වගන්තියට ප‍්‍රකාරව වර්ජකයන්ට විසිර යන්නැයි' දැනුම් දී සිටි පොලිස් ස්ථානාධිපතිවරයා, ඒ අණට අවනත නොවන්නේ නම්, 'අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 95 (2) වගන්තිය යටතේ සිවිල් සහය ද ලබා ගෙන පිරිස විසුරුවා හැරීමට පියවර ගන්නා බව ද' එසේ නොකොට රැදී සිටිනවුන් අත් අඩංගුවට ගැනීමේ බලය තමන්ට ඇති බව ද' කම්කරුවන්ට දන්වා තිබේ.

සාමාන්‍යයෙන් රාජ්‍යයේ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන මූලික ස්වරූපය ස්ථාපිත නීතිය යි.  විධායක ශ්‍රේණියේ නිලධාරීන් අතළොස්සක් දෙනාට  ලක්‍ෂ ගණනින් වැටුප් හා ප්‍රසාද දීමනා ලබා දෙන අතරතුර දහස් සංඛ්‍යාත මෑන් පවර් කම්කරුවන්ට දශකයකට ආසන්න කාලයක් තිස්සේ රැකියා ස්ථිරභාවය ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීම ප්‍රචණ්ඩත්වයක් සේ නොසළකන ස්ථාපිත නීතිය, පදික වේදිකාව අවුරා මාසයක් තිස්සේ සාමකාමී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් දියත් කිරීම 'මහජන සාමය' අවුරාලන ප්‍රචණ්ඩ ක්‍රියාවකැයි නිගමනය කරන්නේ ඒ නිසා ය. විදුලි බල කම්කරුවන් 37 දෙනෙක් ජනවාරි 20 වැනිදා අත් අඩංගුවට ගන්නේ ද, සරසවි සිසු ක්‍රියාකාරීන් උද්ඝෝෂණයන්ට සහභාගී වීමෙන් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කළේ යැයි චෝදනා කොට සිරගත කරන්නේ ද ඒ අනුව ය.

ටෙලිකොම් මෑන් පවර් කම්කරුවන්නේ වෘත්තීය සටන යළි යළිත් යටපත්ව යමින් පෙර මෙන්ම මතුව ඒමටත් ඕනෑ තරම් ඉඩ තිබේ. යුක්තිය පිළිබඳ අචලව නැගෙන ඔවුන්ගේ දුබල හඬ දේශපාලන අවස්ථාවාදයේ හා දක්‍ෂිණාංශික නරුමවාදයේ සන්ධානවල දුශ්ශීල ඝෝෂාවන් විසින් යටපත් කර දමන්නට ද අවකාශ නැතුවා නොවේ. නමුත් සටනේ නිරත කම්කරුවන්ටත්, සිසුන්ටත් එරෙහි රාජ්‍ය මර්දනකාරීත්වය වනාහී කුරණෑගලට පසුබැස ගිය ගිරුවාපත්තුවේ  රාජපක්ෂගේ බූදල් උරුමයකැයි සිතීම දශකයෙන් දශකය වනපොත් කළ ඉතිහාස පාඩම් පිටු අත් පිස්නාවන්ට ගැනීමකි. අවශ්‍ය වෙතොත් මර්දන අසිපත් කොළඹ මල් පාරේ කොපුවලින් පවා පිටතට ඇදිය හැකි බව කල් තබා තේරුම්ගන්නට මෑන් පවර් කම්කරු සටන ද සාක්කියකි.☐

රෝහිත භාෂණ අබේවර්ධන


 © JDS