සමකය: පොකුරු බෝම්බ ගැන කතා තුනක්

ළමු කතාව මෙසේ ය:

වියට්නාම් යුද්ධය ඇවිල ගිය සමයේ එක්සත් ජනපද ගුවන් හමුදා බල ඇණි ඉන්දු චීන අර්ධද්වීපයට ඉහළ අහසේ සිට පොකුරු බෝම්බ මිලියන 260ක් ලාඕසයට හෙලූහ. ඒ නම අවුරුද්දක් ඇතුළත දියත් කළ ගුවන් ප්‍රහාරක මෙහෙයුම් 580,000ක් මගිනි. රටේ ජනගහනය අනුව සළකන්නේ නම් ඒ වනාහී එවකට ජීවත් වූ බාල, මහළු සෑම ලාඕස වැසියෙකුටම බෝම්බ හත බැගිනි. පසුකාලීනව මේ සම්බන්ධයෙන් පළව ඇති විග්‍රහයන්ට අනුව බලතොත්, මේ සමූල ඝාතක ප්‍රහාරයන් වූ කලී, සෑම දිනකම මිනිත්තු අටකට වරක් ලාඕස ජනයා මත පොකුරු බෝම්බ වැස්සක් මුදා හැරීමක් හා සමාන වේ. 

දෙවැනි කතාව මෙසේ ය:

2002 සටන් විරාම ගිවිසුම අත්සන් කොට හත් මාසයක් ඇවෑමෙන් ඒකසත් ජනපද පැසිෆික් ආඥාවේ ආරක්‍ෂක විශේෂඥයන් 21 දෙනෙකුගෙන් සැදුම්ලත් විශේෂ දූත කණ්ඩායමක් ලංකාවට පැමිණියේය. කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුයුක්ත ආරක්‍ෂක පරිවාරක ලුතිනන් කර්නල් රිචඩ් ගර්වන්ගේ මැදිහත්වීමෙන් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය සමග හවුලේ සංවිධානය කෙරුණු මෙකී රහස්‍ය හමුදා දූත මෙහෙයුමේ අභිලාෂය වූයේ සැප්තැම්බර් 12 වැනිදා සිට ඔක්තෝබර් 24 වැනිදා දක්වා කාලය තුළ දිවයිනේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ සංග්‍රාම ශක්‍යතා සහ නැගෙනහිර පළාතේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ විධිමත් තක්සේරුවක් සිදු කිරීම ය. ඒ වසරේ සැප්තැම්බරයේ අගදී ශ්‍රී ලංකා රජයට භාරදෙන ලද එක්සත් ජනපද නිර්දේශ සහිත අදාළ ආරක්‍ෂක ඇගයුම් වාර්තාව අද දක්වාම රහස්‍ය ලියැවිල්ලක් ලෙස පැවතුණ ද එහි අඩංගු ඇතැම් කරුණු කොළඹ ඉංග්‍රීසි පුවත්පත් මගින් වරින් වර සීමිත ලෙස අනාවරණය කරනු ලැබිණ.

ඒ අනුව, 2014 ජනවාරි 10 වැනිදා ‘දි අයිලන්ඩ්’ පත්‍රය විසින් හෙළිදරව් කර තිබුණේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංග්‍රාම ශක්තිය දියුණු කිරීමට අදාළ නිර්දේශ යටතේ යුද්ධයේදී පොකුරු බෝම්බ  (cluster bomb units) භාවිතා කරන මෙන් ඉහත වාර්තාව මගින් ඇමරිකානුවන් උපදෙස් සපයා ඇති බවයි. පොකුරු බෝම්බ භාවිතා කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ප්‍රධානීන්ට සපයන ලද මෙකී උපදෙස් පිළිබඳ සංක්‍ෂිප්ත විස්තරයක් බ්‍රිතාන්‍යයේ සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියේ උපදේශකයෙකු වශයෙන් ක්‍රියාකළ පෝල් මුවර්ක්‍රාෆ්ට් විසින් 2012දී 'Total Destruction of the Tamil Tigers' මැයෙන් පළ කළ කෘතියේද දැක් වේ. ‘ශ්‍රී ලංකාව පොකුරු බෝම්බ තහනම් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයක් නොවුණ ද, ඇමරිකානු නිර්දේශ තමන් විසින් පිළිනොගත් බව’ ආරක්‍ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පාරම් බෑ බව ඉහතින් කී ‘අයිලන්ඩ්’ වාර්තාවේම දක්වා තිබිණ.

තුන්වැනි කතාවක්ද තිබේ.

ශ්‍රී ලංකාවේ යුද කලාපයේ බෝම්බ ඉවත් කිරීමේ කාර්යයෙහි නියැළුණු ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයෙකු විසින් ලබා දුන් සේයා රූ සහ තොරතුරු මත පදනම්ව 2016 ජූනි මස 20 වැනිදා ලන්ඩන් ‘ගාඩියන්’ පත්‍රය පළ කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකා රජය යුද සමයේදී ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ ජනයා ඒකාරාශී වී සිටි ප්‍රදේශවලට පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කොට ඇති බවට දැන් අනාවරණය වී තිබේ. නමුත් ඇත්ත නම්, ‘ගාඩියන්’ අනාවරණයට කලින්ම, යුද කලාපයේ ජීවත්වූවන් විසින් මේ කරුණ ඡායාරූප සාක්‍ෂි සමගම හෙළිකර තිබූ බවයි.

උදාහරණයක් ලෙස, 2008 නොවැම්බර් 29 වැනිදා, වන්නියේ පිරමන්දනාරුහි උලවනූර් කුඩියිරුප්පු අවතැන් කඳවුරුවලට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රුසියාවේ නිෂ්පාදිත පොකුරු බෝම්බ 16ක් හෙළීම පිළිබඳ සවිස්තර වාර්තා දෙකක් දෙමළ පුනරුත්ථාපන සංවිධානය හා උතුරු නගෙනහිර මානව හිමිකම් පිළිබඳ ලේකම් කාර්යාංශය විසින් ඡායාරූප සහ පුද්ගල සාක්‍ෂි සහිතව එළි දක්වන ලද්දේ 2008 දෙසැම්බර් 02 වැනිදා ය. දෙසැම්බර් 23 වැනිදා පරන්තන් - මුලතිවු මාර්ගයේ සිරි කුරුස කන්‍යාරාමය ප්‍රත්‍යන්තයට යළිත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙළන ලද පොකුරු බෝම්බ ප්‍රහාරයකින් සිදුකළ විනාශය පිළිබඳ වාර්තාවක් ටැමිල් නෙට් වෙබ් අඩවිය විසින් දෙසැම්බර් 24 වැනිදා පළ කර තිබිණ. වන්නියට සිදුකළ පොකුරු බෝම්බ ප්‍රහාර සනාථ කරන වෙනත් සාක්‍ෂි වාර්තා වරින් වර දෙමළ ජනයා විසින් අනාවරණය කර තිබුණේ මීට අමතරව ය. බ්‍රිතාන්‍යයේ ගාඩියන් පත්‍රය සිදුකර ඇත්තේ මෙකී වාර්තාවල සත්‍යතාව අලුත් වටයකින් තහවුරු කිරීමට වැඩිමනත් දෙයක් නොවේ.

ඉහත කතා තුනේ සාරය දකුණේ අධිරාජ්‍ය විරෝධී දේශහිතෛශීන්ට වැටහෙන ආකාරයෙන් සමීකරණය කර කියන්නේ නම් එය මෙසේ ය: ‘වියට්නාම් යුද්ධයේදී එක්සත් ජනපදය සමූල ඝාතක පොකුරු බෝම්බ ඉන්දු චීන ජනයාට එල්ල කළේය. එයින් දශක තුනකට පසු ඒ හා සමාන පොකුරු බෝම්බ ප්‍රහාර ලංකාවේදී දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලට එල්ල කරන මෙන් එක්සත් ජනපද යුද උපදේශකයෝ 2002 පැවැති වික්‍රමසිංහ ආණ්ඩුවේ ආරක්‍ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන්නෝය. ඒ ඇමරිකානු උපදෙස් අනුව වන්නියේ ජනයා මතට රුසියාවේ නිෂ්පාදිත පොකුරු බෝම්බ හෙලූ රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්‍ෂක ප්‍රධානීන් ‘ඇමරිකාව කිව්වාට අපි එසේ නොකළෙමු’යි කොළඹ පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කළහ.’

හතළිස් වසරකට එපිට ඇවිළ ගිය වියට්නාම් යුද්ධයේදී ඇමරිකානු ප්‍රහාරවලින් ආබාධිත වූවන්ට ඖෂධ සහ ආධාර සැපයීමේ පුණ්‍ය ක්‍රියා, අධිරාජ්‍ය විරෝධයේ හා ජාත්‍යන්තරවාදයේ ධජ පතාක ඔසවා වරින් වර සිදු කරන රාජ්‍ය පාලකයන් සහ වාම ප්‍රතිරූපකයන්, හත් වසරකට ඉහත දී දෙමළ ජනයාට පොකුරු බෝම්බ හෙළීම ජාත්‍යන්තරවාදයට පටහැනි නොවන්නේ අපේ ජාත්‍යන්තරවාදය ආරම්භවන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවට ඔබ්බෙන් බැවිනි. ගුවනින් හෙලූ විට ඉහළ අහසේදීම පුපුරා ගොස් ඉලක්ක ජනගහනය මත කුඩා බෝම්බ වර්ෂාවක් සේ පතිත වන පොකුරු බෝම්බ වනාහී සමූල සංහාරක අවියක් සේ සළකා තහනමට ලක්ව තිබීම අපට අදාළ නොවන්නේ මහාවංශ චින්තනයට අනුව යමින් දෙමළ ජනයා මිසදිටු අවමානවයන් සේ සැළකූ විට මානව හිමිකම් පිළිබඳ ගැටළු මතු නොවන බැවිනි.

නමුත් දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උද්වේගකර සකාච්ඡා සභාවන්ගේ පරිවාරයටවත් වැද්දා ගනු නොලබන හත් වසක් සපිරෙන සමූල සංහාරයක සාක්‍ෂි අතරට සමූල ඝාතක පොකුරු බෝම්බ මගින් මියගිය සිය දහස් සංඛ්‍යාත ජනයාගේ ඉරණම්ද දැන් යළිත් එක්ව තිබේ. ඒ සාපරාධී සංහාරක ක්‍රියා පිළිබඳ සැහැසි මතකය අමතක කොට දිවි ගෙවීම බොහෝ දෙනාගේ අභිලාෂය වී ඇතුවාට සැක නැත. එහෙත් ඒ රුදු ඉතිහාසයෙන් කැළැල් වූ මතකයන් ඇතිවුන්ද අපේ අපරාධ හවුල්කාරීත්වය සදහටම අමතක කරනු ඇතිද?

(මෙම ලිපිය 2016 ජූනි 26 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන 


© JDS