සමකය: ඒ සංහාරක දවස් - II

 

ක් දහස් නවසිය අනූ තුනේ සැප්තැම්බර් මාසයේ විඩාබර දහවලක පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයේ අපි කිහිප දෙනෙකු සාකච්ඡාවක නියැළී සිටියෙමු. ඒ පළමු ‘හිරු’ පුවත්පත නිකුත්වන්නට දෙතුන් සතියකට පෙර ය. දකුණේ භීම සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ තොරතුරු රැස්කොට වාර්තා චිත‍්‍රපටියක් කිරීමේ අරමුණ සහිතව තෙමසක් ලංකාවේ ගතකළ ජර්මානු ශිෂ්‍යයන් දෙදෙනෙකුට භාෂා පරිවර්තනයෙන් සහාය වෙමින් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල මම මහනුවර සහ මාතලේ ගම් බිම්වල සැරිසැරීමි. 1989 සැප්තැම්බරයේ දෙදිනක් තුළ රජයේ හමුදා විසින් සියයකට වැඩි පිරිසක් සංහාරය කළ කුණ්ඩසාලේ, මහවත්ත, අරංගල හා මැණික්හින්න ගම්මානවල දිවි ගළවාගත් ගම්වැසියන්ගේ බිහිසුණු සාක්‍ෂි සටහන් කරගනිමින් ගත කළ දෙදිනකින් පසු අපි විඩාපත්ව සිටියෙමු. නමුත්, අරුණාචලම් සහ ජයතිලක නේවාසිකාගාර ප‍්‍රත්‍යන්තයේ ගලහ පාර මැදින් ඉදිකළ රමණීය අල්විස් පොකුණු බැම්ම වටා රජයේ හමුදා විසින් කඳින් වෙන්කළ තුරුණු හිස් 17ක් ප‍්‍රදර්ශනයට තබා තිබූ ආකාරය පිළිබඳ එවකට මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාව සිටි දේශප්‍රිය ඩයස් සහෝදරයාගේ විස්තරය පටිගත කරන්නට සිදු වූයේ ඒ මානසික ආතතිය නොතකා ය.

අප වටලා සිටි ම්ලේච්ඡ ඉතිහාසයක ලේ වැකි මතකයන් තීව‍්‍ර කළ සේයාරුවක් ඒ දහවලේදී මා අත පත් කරන ලද්දේ එවකට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකුව සිටි කුමුදු බණ්ඩාර සහෝදරයා විසිනි. පොළොන්නරුව මීගස්වැව යුද හමුදා කඳවුරේ දී වධ බන්ධනයට ලක්කොට ඝාතනය කරන ලද තරුණයෙකුගේ කඳින් කපා වෙන්කළ ශරීර කොටස් කැමරාවට පෙනෙන සේ ඔසවාගත් සෙබළුන් සොම්නස් මුහුණින් ගන්නා ලද ඒ වර්ණ සේයාරුව එයින් තුන් මාසයක් ඇවෑමෙන් එළඹි නව වසරේ ජනවාරි 02 වැනිදා ‘හිරු’ පත‍්‍රයේ මුල් පිටුවේ අපි පළ කළෙමු. සන්සුන් සන්ධ්‍යාවක් කෙළවර සුහද පාපන්දු තරඟයක් නිමාවේ විද්‍යාමාන වන විඩාබර කෙළිලොල් බවින් අනූන තුරුණු සොල්දාදුවන් සිය ජයග‍්‍රාහී ගොදුර කැබලි කොට ප‍්‍රදර්ශනය කරන ඒ සේයාරුව දකුණේ බොහෝ පාඨකයන් කැළඹු බැව් මම දනිමි. දෙසතියක් ගතවන විට සේයාරුවේ පෙනී සිටි සෙබළුන්ගේ නම්, ගම් වග විස්තර සොයා අප වෙත එවූ සිංහල පාඨකයෝ, ඒ සේයාරුව පළ කිරීමෙන් ‘ආරක්‍ෂක හමුදාවන්ගේ කීර්තිය විනාශ කරන්නට කුමන්ත‍්‍රණය කළ බවට’ චෝදනා නොකළහ. සෙබළ කැමරා කාචයකට හසු වූ රාජ්‍ය අනුග‍්‍රහ ලත් ඒ නීච ම්ලේච්ඡත්වයේ නිමේෂය අභිමානයෙන් බෙදාගත හැකි සාමූහික ජාතික උරුමයක් සේ සළකා උත්කර්ෂයට නංවන්නට බොහෝවුන් පැකිලෙන්නට හේතුවක් තිබිණ. 

ඒ, වධ වේදනාවන්ට ගොදුරු කොට මරාදැමුණු නාඳුනන මිනිසා දුගීභාවයේ හා පීඩනයේ සැමිටියෙන් තැලූම් කෑ දකුණේ ගම්බද දිළිඳු තරුණයෙකු බැව් සියල්ලන් දැනසිටි බැවිනි.

එයින් දහසය වසක් ඇවෑමෙන් ගිම්හාන සෘතුවේ උණුසුම් දහවලක ශිෂ්ඨාචාරය හා ම්ලේච්ඡත්වය අතර තෝරාගැනීමේ අභියෝගය යළිත් අප හමුවේ අභිමුඛ කරන ලද්දේ විනාඩියකුත් තත්පර 17ක් දිවෙන සැහැසි රූප රාමු පෙළක් මගිනි. 2009 අගෝස්තු 19 වැනිදා බර්ලින් නගරයේ මහල් නිවෙසක පළමුවරට නැරඹූ ඒ සාපරාධී නිමේෂයන් කැටිකොටගත් කෙටි දර්ශන පටය, සතියක් ඇවෑමෙන් ජාත්‍යන්තර මාධ්‍යයන්ට නිකුත් කරන්නට අපි තීරණය කළෙමු. ඒ, එයින් මාසයකට පෙරාතුව පිහිටුවා ගන්නා ලද ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ’ සංවිධානය හරහා ය. බි‍්‍රතාන්‍ය චැනල් 4 රූපවාහිනී සේවාව ඇතුළු අන්තර්ජාතික මාධ්‍ය ආයතනයන්ට එකවර නිකුත් කරන ලද ඒ දසුන් පෙළ, අවශේෂ මාධ්‍ය ආයතනයන්ට පෙර අගෝස්තු 25 වැනිදා චැනල් 4 රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශය සඳහා යොදා ගැණුනේ අහම්බයකිනි.

අප උත්සාහ කළේ ඒ වසරේ මැයි මාසයේ ශ‍්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලද චැනල් 4 මාධ්‍යවේදී නික් පැට්න් වොල්ෂ් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ය. නමුත් අගෝස්තු 25 වැනිදා සේවයට පැමිණ නොසිටි ඔහු වෙනුවෙන්  චැනල් 4 ප‍්‍රවෘත්ති අංශයේ ෂෝන් ස්ටීවන් මා හා කතා කළේය. ඒ සාහසික දසුන් පෙළ චැනල් 4 ප‍්‍රවෘත්ති අංශයට යොමු කෙරුණේ ඒ සංවාදයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. නිසැක වශයෙන්ම වීඩියෝ දසුන් පෙළ නරඹා පෙරළා කතා කිරීමේ පොරොන්දුව ඉටු කරමින් අප අමතන ලද්දේ චැනල් 4 විදේශ ප‍්‍රවෘත්ති අංශ ප‍්‍රධානියාව සිටි බෙන් ඩි පියෙර් විසිනි. එළඹෙන විසි හතර පැය තුළ වෛරී වර්ගවාදී චණ්ඩ කුණාටුවක නිර්දය ප‍්‍රහාරයට මැදිවන බැව් දැන සිටියද වීඩියෝ දසුන් පෙළෙහි වගකීම භාරගනිමින් විකාශය සඳහා සාමූහික අනුමැතිය අපි ඔහුට ලබා දීමු.

පස් මසක් ඇතුළත දස දහස් සංඛ්‍යාත ජනයා සමූල සංහාරය කරමින් ඔසවන ලද විජය දද යට සැඟවී කැකෑරුණු සාපරාධී සාක්‍ෂි අනාවරණය කිරීමේ පළමු ප‍්‍රයත්නය බවට පත් වූ ඒ දසුන් පෙළ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර උද්වේගය මොළවාලීමේ තීරණාත්මක කාර්යය ඉටු කරනු ඇතැයි අපි කිසිවිටක නොසිතීමු. නමුත් අන්තර්ජාතික මාධ්‍ය හා කාර්යක්‍ෂම සම්බන්ධීකරණය පිළිබඳ පූර්ව අත්දැකීම් රහිතව වුව ද, නිදි වර්ජිතව ගත කළ අවිවේකී දෙසතියක් ඇවෑමෙන් ශ‍්‍රී ලංකාවේ සමූල ඝාතක බිම් පිළිබඳ ජාත්‍යන්තර අවධානය තිර ලෙසම හැරවීමට ඒ සාහසික රූප රාමු පෙළ සමත් විය.

චැනල් 4 විදේශ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රධානී බෙන් ඩි පියෙර්ගේ ඇරයුම මත සැප්තැම්බර් 09 වැනිදා බර්ලින් නගරයේ ගුන්ට්සල් වීදියේ අවන්හලක අපි පළමුවරට ඔහු හා මුහුණට මුහුණ හමුවන්නට තීරණය කළෙමු. නමුත් ඒ වනවිටත් අප විසින් නිකුත්කළ සාක්‍ෂිවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වෝහාරික පරීක්‍ෂණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වර්ග සංහාර වැළැක්වීමේ විශේෂ නියෝජිතයාගේ කාර්යාලයේ වැලරී රෝචර් සමගද, බහිර්නීතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ෆිලිප් ඇල්ස්ටන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සේරා ක්නූකි සමග ද ඒකාබද්ධ ක‍්‍රියාකාරීත්වයන්ට අප මුලපුරා තිබුණි.

ඔක්තෝබර් 10 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳ වූ මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ, චැනල් 4 වෙත ව්‍යාජ වීඩියෝ සාක්‍ෂි නිකුත් කළවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර සිටියේය. සමූල සංහාරක අපරාධවලින් රජයේ ගැළවුම සහතික කරනු පිණිස ස්වකීය ශිල්පීය විශේෂඥතාව නොමසුරුව සපයනු රිසි ‘දේශ හිතෛශී මාංශ භක්‍ෂක තාක්‍ෂණඥයෝ’ ආරක්‍ෂක අමාත්‍යාංශ දොරටු ඉදිරිපිට පෝළිම් ගැසී සිටියහ. විසකුරු වර්ගවාදී වෛරී ව්‍යාපාරයන්ටත්, රාජ්‍ය පීඩනයටත් යටත් වූ ඇතැමෙක් අප හා සබඳතා බිඳගන්නට තීරණය කළේ ඒ අතරවාරයේ ය. නමුත් ජනවාරි 07 වැනිදා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ෆිලිප් ඇල්ස්ටන්ගේ කාර්යාලය මගින් අනුමැතිය ලද සමාන්තර පර්යේෂණ තුනක ප‍්‍රතිඵල විසින් චැනල් 4 මගින් විකාශනය කළ දසුන් පෙළෙහි වෝහාරික සත්‍යතාව නිල වශයෙන් තිර ලෙසම තහවුරු කර සිටියේය.

දහසය වසරකට පෙර මීගස්වැව හමුදා වධාකාගාරයේ කැබලි කොට මරා දැමූ නාඳුනන යෞවනයෙකුගේ මරණයෙන් සසළව මරණ බිය නොතකා රාජ්‍ය අපරාධයන්ට එරෙහිව පෙනී සිටින්නට සාමූහික ධෛර්යයක් උපදවාගත් ජන සමාජයක්, දශක එක හමාරක් ඇවෑමෙන් තේජාන්විත සිංහ ධජ පෙරටු කොටගත් සමූල ඝාතක ගෝත‍්‍රවාදීන් විසින් අවිචාරයේ නරකාදියකට පසුබස්වා තිබිණ. දෑත් පිටිතල හයා බැඳ, නිරුවත් කළ නාඳුනන තුරුණු ගැහැණුන් සහ මිනිසුන් මුහුණ දුන් සාහසික ඉරණම තම සමස්ත සාමූහික පැවැත්මේ සදාචාර හරය බෙලහීන කරතැයි වටහාගැනීමේ විචාරය බහුතරයක් සිංහල ජනයාට අහිමි වූයේ ඒ හෙයිනි. 

2009 අගෝස්තුවේදී රටින් රට පොදු මිනිස් හෘදය සාක්‍ෂිය කැළඹූ චැනල් 4 දසුන් පෙළ ‘දෙමළාගේ ගැළවුම’ පිණිස උපකාරී වී යැයි හත් වසරකින් පසුත්, දකුණේ බොහෝ දෙනා කල්පනා කරති. නමුත් පස් මසක් ඇතුළත සංහාරය කළ හැත්තෑ දහසකගේ මෘත දේහ හා ගැටගසනු ලැබූ සිංහල සෝපාකලා ඒ සාපරාධී බන්ධනයෙන් මුදාලන මාවත මතු යම් දිනක විවර කරනු ඇත්තේද ඒ දසුන් පෙළ විසින් ඇති කරන සාමූහික කම්පනය විසිනි.

මේ මැයි මාසයේත් දෙමළ ගම්බිම් සිසාරා දොරින් දොර දැල්වෙන පරාජය නොවූ ස්මරණාලෝක ධාරාවන් දකුණේ අවිචාර අඳුර දුබල කොට මකාලනු ඇතිදැයි මම නොදනිමි. නමුත් වර්ග නාශක නීචභාවය දේශානුරාගයේ වෙස්ගත් සමයක පොදු මිනිස් යුක්ති ධර්මය සඳහා සම්මුති විරහිත අරගලයේ මග වැටී ඇත්තේ අවමානයේ සහ සාහසික තර්ජනයන් ඔස්සේ බැව් යළි අපට පසක් කොට දෙනු ලැබුවේ ඒ ලේ වැකි සංහාරක දවස් විසිනි.☐

(මෙම ලිපිය 2016 මැයි 22 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන


 © JDS