සමකය: ‘සාමකාමී ප‍්‍රචණ්ඩත්වය’ යනු

දෙසතියක් පරණ සිදුවීම් දෙකක් ගැන පළමුව ලියන්නට තිබේ.

අපේ‍්‍රල් 10 වැනිදා චාවකච්චේරියේ දකුණු නුනාවිල් හි පදිංචි රාජදුරෛ ජෙයන්තන් සුදු වෑන් රථයකින් පැමිණි සිවිල් හැඳගත් සන්නද්ධ පිරිසක් විසින් පැහැරගන්නා ලදී. ආණ්ඩුවේ ‘පුනරුත්ථාපන වැඩසටහන’ යටතේ රඳවා හිඳ නිදහස් වූ ඔහු පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් යාපනයේ අරියාලෛ රහස් පොලිස් කාර්යාලයෙන් විමසන ලෙස ඔහුගේ බිරිඳට උපදෙස් ලැබිණ. නමුත් ඔහු පිළිබඳ විමසීම් සියල්ල වවුනියාවේ ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙත යොමුකළ යුතුව ඇතැයි අරියාලෛ නිලධාරීහු දන්වා සිටියහ. බියෙන් සහ සොවින් කම්පිත ජෙයන්තන්ගේ ඥාතීහු වවුනියාව බලා ගියහ. එවැන්නෙක් තමන් භාරයේ නැති බවත්, බූස්සෙන් විමසා බලන ලෙසත් යළිත් උපදෙස් ලැබිණ. නිසි තොරතුරක් නොලද ජෙයන්තන්ගේ මව 15 වැනි සිකුරාදා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් කාර්යාලයට ගොස් සිය පුතුගේ අතුරුදහන්වීම පිළිබඳ පැමිණිලි කර සිටියාය. පැහැරගෙන සතියක් ඇවෑමෙන් අපේ‍්‍රල් 17 වැනිදා කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ හතරවැනි තට්ටුවෙන් ජෙයන්තන් මතු වී ඇත්තේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

දෙවැනි සිදුවීම කොක්කුතෝඩුවායි ගම්මානයෙනි. දකුණෙන් ගෙන එන ලද සිංහල ධීවරයන් පදිංචි කිරීම් පිළිබඳ සොයා බලන්නට උත්සාහ කළ කොක්කුතෝඩුවායි ග‍්‍රාම නිලධාරී ජීවරත්නම් ජේසුරත්නම්ට අපේ‍්‍රල් 10 වැනිදා රජයේ හමුදා සෙබළු පහර දුන්හ.  අපේ‍්‍රල් 11 වැනිදා මුලතිවු දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස් වූ ප‍්‍රදේශයේ අවශේෂ ග‍්‍රාම නිලධාරීහු පහරදීමට එරෙහිව පරීක්‍ෂණයක් ඉල්ලා විරෝධය පෑහ.

‘මරාගෙන මැරෙන බෝම්බකරුවන්’ සමඟ ‘යළි හිස ඔසවන’ දෙමළ ප‍්‍රචණ්ඩත්වය ගැන සංත‍්‍රාසය දනවන පුවත් මැවීමෙහි ගිජු කොළඹ මාධ්‍ය මේ සිදුවීම් ගැන කිසිදු වාර්තාවක් පළකොට තිබෙනු මම නොදුටිමි. ‘ප‍්‍රචණ්ඩ ක‍්‍රියා’ සහ ‘ප‍්‍රචණ්ඩ නොවන ක‍්‍රියා’ ගැන දකුණේ ආකල්පය සාකච්ඡා නිමිත්තක් වන්නේ මේ නිසා ය.

2015 නොවැම්බරයේදී වවුනියාවේ මාත‍්‍රම් පදනම මගින් උතුරු පළාතේ ඉඩම් අයිතිය හා බැඳුණු ගැටලූ පිළිබඳ  සවිස්තරාත්මක වාර්තාවක් එළි දක්වනු ලැබුණි. හමුදාකරණය සහ ඉඩම් අහිමිවීම අතර සම්බන්ධය ගැන පුළුල් චිත‍්‍රයක් සම්පාදනයෙහි ලා වැදගත් මෙහෙයක් සිදුකළ මේ වාර්තාවට අනුව ශ‍්‍රී ලංකා යුද හමුදාවට අයත් සේනාංක 19න් 14ක් තවමත් රඳවා ඇත්තේ උතුරු පළාතේ ය. පිළිගත් හමුදා සම්මතයන්ට අනුව බලතොත් රෙජිමේන්තු සහ බලකායන් කිහිපයකින් සැදුම්ලත් එක් සේනාංකයක් අවම සෙබළුන් 10,000කින් සමන්විත වේ යැයි සාමාන්‍යයෙන් සැළකේ. මේ අවම සංඛ්‍යාවන් සැළකිල්ලට ගෙන ගණන් බැලූවද, යුද්ධයේ නිමාව නිල වශයෙන් නිවේදනය කොට හත් වසරකින් පසුත් 140,000ක් හමුදා සෙබළු උතුරු පළාතේ දැනටත් වාඩිලා සිටිති. ජාතික හමුදා සංවිධාන ව්‍යුහය යටතේ ස්ථාපිත කර ඇති ප‍්‍රාදේශීය ආඥා මූලස්ථාන හතෙන් පහක්ම වෙන්ව ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ මෙකී වාඩි ලා ගැනීම් අධීක්‍ෂණය සඳහා ය. මාත‍්‍රම් පදනමේ වාර්තාවේ අන්තර්ගත සවිස්තරාත්මක දත්තයන්ට අනුව යාපනය දිස්ත‍්‍රික්කය තුළ පමණක් මේ වනවිටත් පවත්වාගෙන යනු ලබන විවිධ ප‍්‍රමාණයන්ගේ හමුදා කඳවුරු සංඛ්‍යාව 106කි. ඒ වනාහී ඉඩම් අක්කර 6,600කට වැඩි මහජන ඉඩම් හා දේපල ප‍්‍රමාණයක් අල්ලා පවත්වාගෙන යනු ලබන වාඩි ලෑමකි.  මුලතිවු දිස්ත‍්‍රික්කයේ මෙසේ හමුදා වාඩි ලා ගත් භූමි ප‍්‍රමාණය අක්කර 34,362කි. මන්නාරම් දිස්ත‍්‍රික්කයේ අක්කර 22,247කි. කිලිනොච්චියේ 7,322කි.

උතුරු පළාතේ ජනගහණය 1,061,315කැයි 2012 රජයේ නිල ජන සංගණන වාර්තාවන්හි දැක් වේ. ඒ අනුව බලතොත් සෑම සිවිල් වැසියන් හත් දෙනෙකුටම එක් හමුදා සෙබළෙකු වශයෙන් යොදවා තිබීම යුද යථාර්ථයක් නොව, ‘පශ්චාත් යුද’ යථාර්ථයකි. සමකාලීන ලෝකයේ ඉහළම සිවිල් මිලිටරි අනුපාතයක් ඇතැයි පිළිගැනෙන කාශ්මීරයේ පවා මේ අනුපාතය 20ට එකක් සේ සැළකේ. නැගෙනහිර දෙමළ ගම්බිම් පිළිබඳ යථාර්ථය මීට අමතර එකක් සේ සැළකුව මනා ය.

ගැටළුව මෙයයි: සිය පාරම්පරික ගේ දොර, වගාබිම් හා වෙරළ තීරයන් තහනම් ප‍්‍රදේශ බවට පත් වූ දෙමළ ජනයා විසි පස් වසරක් තිස්සේ අවතැන්භාවයේ හෙළා බැහැරින් පැමිණි සන්නද්ධ සේනා ඒ දේපළ බලහත්කාරයෙන් භුක්ති විඳීම වනාහී එකී ජනයාගේ නිදහස් සාමූහික ජීවිතය විසුණු කොට දමන ප‍්‍රචණ්ඩ සාපරාධයකැයි කිසිවෙක් නොසිතයි. සිය දෛනික දිවිය වටලා ලක්‍ෂයකට වැඩි අවිගත් හේවායන් වාඩි ලා සිටීම යුද්ධය නිමාවීමෙන් පසු උදා වූ ‘ප‍්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී තත්ත්වය’ සේ දෙමළ ජනයා පිළිගත යුතු බව එමගින් හැඟවේ. නමුත් පැහැරගත් රාජදුරෛ ජෙයන්තන් සහ පහර කෑ ජීවරත්නම් ජේසුරත්නම්ගේ ඉරණම් වනාහී ඒ ‘සාමාන්‍ය තත්ත්වයේම’ අනිවාර්ය දිගුවක් සේ සැළකිය යුතුව තිබේ.

යුද්ධය වනාහී දේශපාලන පිළිවෙත පෙරට ගෙනයාමේ තවත් මාර්ගයකැයි ප‍්‍රෂියානු සෙන්පති කාල් ෆොන් ක්ලවුස්විට්ස් දුරාතීතයේදී ලීවේය. යුද්ධයේ නිමාව නිවේදනය කොට සත් වසරකින් පසු දෙමළ ජනයා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයේ පිළිවෙත එහිම විලෝමයයි. ඒ අනුව දැන් දේශපාලනය වනාහී යුද පිළිවෙත පෙරට ගෙන යාමේ තවත් මාර්ගයක් බවට පෙරළී තිබේ.

සාමකාමී ‘සාමාන්‍ය තත්ත්වයට’ බාධා කරන මරාගෙන මැරෙන බෝම්බකරුවන් යළිත් උතුරින් මතුවෙතැයි ත‍්‍රාසයෙන් ඇළලීගත්තවුන් දත යුතු ඇත්තක් තිබේ. ප‍්‍රචණ්ඩත්වය යනු හිටිහැටියේ පහළ වීමට නියමිත අවිගත් සටන්කරුවන් විසින් යළිත් කැඳවාගෙන එනු ලබන ව්‍යසනයක් නොවේ. පරණ ආණ්ඩුව යටතේ අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත පිරිස් වෙනුවෙන් යුක්තිය පසිඳලනු වෙනුවට පෙරළා නොආවුන් මළවුන් සේ සළකන්නැයි අලූත් ආණ්ඩුව විසින් නිවේදනය කිරීම වනාහී ප‍්‍රචණ්ඩත්වයකි. උපන් ගම් බිම්, ගේ දොර, වතු පිටි ඒවායේ මුල් උරුමකරුවන්ට තහනම් ප‍්‍රදේශ බවට පත්කොට විසි පස් වසක් තිස්සේ වාඩි ලා සිටින හමුදාවන් ඒ ජනයා රැස්කර අවුරුදු ක‍්‍රීඩා හා වෙසක් දන්සැල් සංවිධානය කිරීම ප‍්‍රචණ්ඩත්වයකි. සෑම නිරායුධ සිවිල් වැසියන් හත් දෙනෙකුටම එක් සන්නද්ධ සෙබළෙකු රැකවල් ලා සිටීම ප‍්‍රචණ්ඩත්වයකි.

ඒ සා දුක් දොම්නසින් වැසුණු ඝෝර ඉරණම් නොතකා, තල් හකුරු සහ පිච්ච මල් ගැන ගොහොදු සිංහලෙන් ලියැවෙන පෙදෙහි රස හව් විඳ දෙමළුන් නිවී සැනහෙනු ඇතැයි සිතීම ද ඊට නොදෙවෙනි ප‍්‍රචණ්ඩත්වයකි.☐

රෝහිත භාෂණ අබේවර්ධන


 © JDS