සමකය: ගුණරත්නම් හා නීත්‍යනුකූල ප‍්‍රචණ්ඩත්වය

මාර්තු 31 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම්ට කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රුපියල් 50,000ක දඩයක් සමග ‘ලිහිල් වැඩ සහිත වසරක සිර දඬුවමක්’ නියම කරන ලදී. ඒ දැනටත් ගෙවා ඇති පස් මාසයකට ආසන්න සිරගත ජීවිතයට අමතර වශයෙනි. උසාවි බිමෙන් රැගෙන යන සිය පුතු වැළඳ වැළපෙන වියපත් ගුණරත්නම් මාතාවගේ සෝබර සේයාරුව තැනෙක දෙකක පළ වී තිබිණ. පුංචි බොරැල්ලේ ආගමන විගමන කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කරමින් උද්ඝෝෂණය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආධාරකරුවන්ට කැරළි මර්දන පොලිස් බලඇණි බිමලාගෙන පහර දුන්නේ ඒ තීන්දුව ලබා දී විසි හතර පැයක් ඇවෑමෙනි. යහපාලන ආණ්ඩුකරණයෙන් නිවී සැනසී ගත් යසපාලිත ආධාරකරුවෝ විරෝධතා දැක් වූ පෙරටුගාමීන්ගේ ‘අනිසි ප‍්‍රචණ්ඩත්වයෙන්’ සංත‍්‍රාසයට පත්ව ඒ පොලිස් ප‍්‍රචණ්ඩත්වය යුක්ති යුක්ත කළෝය. ‘පෙරටුගාමියෝ ආගමන විගමන නීති කඩති. ගුටිත් කති’යි ලංකාදීපය ලියා තිබිණ.  නීතියේ ආධිපත්‍යය සහ ප‍්‍රචණ්ඩත්වය ගැන වැදගත් කරුණු කිහිපයක් මතු කරන්නේ මේ සිද්ධි දාමය විසිනි.

පළමුව නීතියේ ආධිපත්‍යය ගැන ය.

පේ‍්‍රමකුමාර් ගුණරත්නම්ට එරෙහි තීන්දුවට විරෝධය පෑවුන් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කළේ යැයි ඇතැම්හු කල්පනා කරති. ඔහුට වසරක සිර දඬුවම් නියම වීම නීතියේ ආධිපත්‍යය තහවුරුවීමක් සේ සැළකිය හැකියැයි ඒ කල්පනාවෙන් හැඟ වේ. ඒ අනුව කතා අනු පිළිවෙල මෙසේ ය: ‘ ඕස්ටේ‍්‍රලියානු පුරවැසි කුමාර් ගුණරත්නම් ලංකාවට ආවේ සංචාරක වීසාවලිනි. ඔහු අත් අඩංගුවට ගැනීමට තීරණය වන්නේ ඔහු ආගමන විගමන රෙගුලාසි කැඩූ හෙයිනි. දැන් ඔහුට සිර දඬුවම් නියමව තිබේ. ඊට එරෙහි වීම ආගමන විගමන නීති නොතැකීමකි. අධිකරණයේ ස්වාධීන තීන්දු නොඉවසීමකි.’

මේ ‘ළපටි ප‍්‍රජාතාන්ත‍්‍රික කල්පනාවන්’ පදනම් වන්නේ නීතියේ ආධිපත්‍යය යනු දේශපාලන අපක්‍ෂපාතීත්වයට පර්යාය පදයකැයි යන පිළිගැනීම මත ය. නීතිය වනාහී යුක්තියුක්තභාවය තීන්දු කිරීමේ පරම නිර්ණායකය යැයි සිතන මේ කල්පනාවේ පරහක් තිබේ. ‘නීතියේ ආධිපත්‍යය’ (Rule of Law) ගැන සංකල්පය දේශපාලනිකව උදාසීන (neutral) එකකැයි මෙසේ කල්පනා කරන්නෝ සිතති.

ආරක්‍ෂාව, නීතිය සහ දේශසීමා ගැන මාහැඟි කෘතියක් සම්පාදනය කළ ආචාර්ය ටූබා බෂාරන් තැනෙක මෙසේ ලියන්නීය: ‘‘දේශපාලනය සහ නීතිය සිතාමතා වෙන් කොට දැක්වීම හරහා නීතිය අදේශපාලනික හා සාධාරණ සේ ද, දේශපාලනය තරඟකාරී අවකාශයක් ලෙස ද නිරූපණය කෙරේ. කිසියම් විවාදපන්න කාරණාවක් දේශපාලනයෙන් නීතියට මාරු කිරීම මගින් එය සාකච්ඡාවට හා විවාදයට විවෘත කරුණක සිට බොහෝ විට දණ්ඩන තර්ජනයට යටත්ව පිළිපැදිය යුතු ආඥාවක කොටසක් බවට පෙරළනු ලැබේ. මේ මගින් දේශපාලනය යුක්ති යුක්ත කිරීමට ක‍්‍රියා කරන නීතිය, රජයටත් - එහි ප‍්‍රතිපත්තිවලටත් සදාචාර සුජාතභාවයක් ප‍්‍රදානය කරයි.’’ (Security, Law and Borders: At the Limits of Liberties: Tugba Basaran)

ඒ අනුව මුලින් පේ‍්‍රමකුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්නය සාකච්ඡාවට හා විවාදයට විවෘත දේශපාලන කරුණක් ලෙස පැවතුණි. අනතුරුව එය දේශපාලන කාරණාවක සිට නීතිමය කාරණාවක් බවට පෙරළීම මගින් ඒ විවාදය අත්හිටුවනු ලැබිණ. දැන් ලැබී ඇත්තේ නීතිමය තීන්දුවකි. එමගින් රජයේ දේශපාලන පිළිවෙත නීත්‍යානුකූල හා සුජාත එකක් බවට පෙරළා තිබේ. කලින් ඒ ගැන විරෝධය පෑම ආණ්ඩු පක්‍ෂයේ පිළිවෙත් විවේචනයක් සේ සැළකිණ. දැන් එය නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කිරීම පිළිබඳ ගැටළුවකි. දේශපාලනය සහ නීතිය වෙන්කොට ඇඳගන්නා මනෝමය රේඛාව යහපාලන යථාර්ථයේ විස්මිත පිළිබිඹුවකැයි දැන් බොහෝ දෙනා සිතති.

නමුත් මේ පරිකල්පිත විස්මලන්තයෙන් එළියේ දේශපාලකයෝ නඩු අසති. නඩුකාරයෝ දේශපාලනය කරති. රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍ර හතරක් ඇතුළු විදෙස් ගමන් බලපත් පහක් භාවිතා කළ බවට චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශට බල නොපාන ආගමන විගමන රෙගුලාසි උල්ලංඝණය පිළිබඳ චෝදනා කුමාර් ගුණරත්නම්ට බලපාන්නේ ඒ නිසා ය. දෙමටගොඩදී පුද්ගලයෙක් ‘අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් පැහැරගෙන යාමට කුමන්ත‍්‍රණය කිරීම, පැහැරගෙන යාමට අනුබල දීම, තුවාල සිදුකිරීම, සාපරාධී බිය ගැන්වීම්, අයුතු සිරකර තැබීම් හා සාපරාධී බලහත්කාරය’ පිළිබඳ චෝදනා එල්ල වූ යහපාලන ආණ්ඩුවේ හවුල්කාර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හමුවේ බල රහිත නීතිය පේ‍්‍රමකුමාර් ගුණරත්නම් හමුවේ බලවත් වන්නේ ද ඒ නිසාය. වීරවංශ සහ පේ‍්‍රමචන්ද්‍ර දෙතුන් පැයක් ‘රඳවා තබා’ නිදහස ලබද්දී ගුණරත්නම්ට පහළොස් මාසයක් සිර දඬුවම් නියමවන්නේ ඒ අනුව ය.

ආණ්ඩුවේ අනුගාමික ප‍්‍රජාව සසල කළ 'පෙරටුගාමී ප‍්‍රචණ්ඩත්වය' පිළිබඳ ප‍්‍රස්තුතය මාතෘකාවක් වන්නේ මෙතැන් සිට ය. 

නීතිය ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධ බවත්, ප‍්‍රචණ්ඩත්වය පාලනය කරන්නට හැකියාවක් නීතියට ඇති බවත් සාමාන්‍ය පිළිගැනීමයි. නමුත් නීතිය මගින් ඇත්තෙන්ම කරන්නේ ප‍්‍රචණ්ඩත්වයේ එක් ස්වරූපයක් යුක්ති යුක්ත කොට ඊට නීතිමය වලංගුතාව ප‍්‍රදානය කිරීමයි. රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය යනු ඒ වරප‍්‍රසාදිත ස්වරූපයයි. නීතියේ ආධිපත්‍යය යනු තෝරා බේරා වරණීය ලෙස ප‍්‍රචණ්ඩ බලය උපයෝග කරගැනීමට රජයට ඇති ‘අනුත්තර අයිතිය’  සුජාත කොට චිරස්ථායී කිරීමයි. එක්කෝ අයිතීන් ප‍්‍රතික්‍ෂේප කිරීම හරහා ඒ ප‍්‍රචණ්ඩත්වය අභ්‍යාස කරන්නට ආණ්ඩුවකට පුළුවන. නැතහොත්, අයිතීන් ඉල්ලන්නා මර්දනය කිරීම මගින් ඒ ප‍්‍රචණ්ඩත්වය ක‍්‍රියාවට නංවන්නට ද ආණ්ඩුවකට පුළුවන.

ඉකුත් පහළොස් මාසයක් තිස්සේ සාමකාමී සත්‍යග‍්‍රහ හා විරෝධතා පා ගමන් හරහා ද, ප‍්‍රවෘත්ති සාකච්ඡා හා සංදේශ පිළිගැන්වීම් මගින් ද, අධිකරණ ක‍්‍රියාමාර්ග හා මානව හිමිකම් පැමිණිලි තුළින් ද ස්වකීය පක්‍ෂයේ නායක  ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය දිනා ගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ සාමාජිකයෝ අනවරත ලෙස අරගළ කළහ. ආණ්ඩුව එම ඉල්ලීම් සහමුලින් නොතකා හරිමින්ද, බලය යොදවා විරෝධයන් යටපත් කිරීම මගින් සිය   ප‍්‍රචණ්ඩ බලය අභ්‍යාස කළේය. විමල් වීරවංශ මීගමු මහේස්ත‍්‍රාත් අධිකරණ බිමෙන් ද, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියෙන් ද අනුගාමිකයන් පිරිවරා නික්ම ගියේ ඒ අතරවාරයේදී ය. පෙරටුගාමී සමාජවාදී පාක්‍ෂිකයන් තුළ යුක්තිය පිළිබඳ පැවති කවර හෝ බලාපොරොත්තුවක් වී නම් එය නිමා කරමින් කුමාර් ගුණරත්නම් තවත් වසරක් සිරකොට තැබීමේ තීන්දුව නිවේදනය කෙරුණේ මේ සියල්ලෙන් පසුව ය. අපේ‍්‍රල් පළමුවැනිදා පුංචි බොරැල්ලේ දී පොලිස් බැටන් ප‍්‍රහාර මැද පුපුරා ගියේ විවෘත සහ ආවෘතව දියත් වූ රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය විසින් මොළවනු ලැබූ ඒ අපේක්‍ෂා භංගත්වයයි.

අප අනුදත් දේශපාලන විශ්වාසයන් මත දිවි මගෙහි එක් තැනෙක තිර ලෙස වෙන් වී දෙමඟක ගිය ද, විසි දෙවසරකට පෙර දැන හැඳින බෙදාගත් දුෂ්කර සහෝදර නිමේෂයන් පිළිබඳ ජීවමාන මතකයන් පේ‍්‍රමකුමාර් ගුණරත්නම් සහෝදරයා සහ මා අතර තිබේ. නමුත් මේ ලියන්නේ ඒ මතකයන්ට හිලව් පිණිස නොවේ. මරණය හඹා ආ දවස් මඟහැර ජීවිත අවදානම නොතකා, සිය යෞවන දවස් තමන් අනුදත් දේශපාලන පිළිවෙතකට සහමුලින් කැපකොට මැදිවිය පියමං කරන නිදහස අහිමි මිනිසෙකුගේ ඉරණමට අප සියල්ලන්ගේ ඉරණම ඉතිහාසයේ හා යුක්ති ධර්මයේ වරපටින් ගැටගැසී ඇති බැවිනි.  

පේ‍්‍රමකුමාර් ගුණරත්නම් වනාහී කාමභෝගී චෞර මහල්ලන්ගේ දොළ පිණිස නීතිපොත් පෙරළා බලා පිටුවහල් කළ යුතු  'ඕස්ටේ‍්‍රලියානුවෙක්' නොවේ. ලෙයින් ලියැවුණු දකුණු ලංකාවේ දුක්බර ඉතිහාසයක මතක අග්නියෙන් කැළැල් වූ හදක් ඇති මගේ පරම්පරාවේ සහෝදරයෙකි. ඔහුගේ නිදහසට පිටුපෑම යුක්තිය අහිමි කළ මගේ පරපුරේ ලේ වැකි මතකයට පිටුපෑමකි.☐

(මෙම ලිපිය 2016 අප්‍රේල් 10 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ වූවකි.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS