සමකය: ආත්ම රාගී පරාර්ථ මෙහෙයුම්

කුණේ ප‍්‍රදර්ශනකාමී මිනිස් සුහදත්වය අනෝරා වැසි දියෙන් පෝෂිත සැඩ වතුරක් මෙනි. සාරාර්ථයන් රහිත නාගරික පහළ මැද පන්තියේ විවේක කාලය මේ සැඩ දියෙහි කෙළි කවටකම් සඳහා වෙන්ව තිබේ. පළමුව, කොළඹ මාධ්‍යකරුවෝ පරිවාරයේ සැරිසරා සංවේග දනවන පුවත් තෝරා බේරා ඇහිඳ විත් බෙදා හරිති. අනතුරුව පරාර්ථකාමයේ නොනවතින ‘ඔන්ලයින්’ රැල්ලකි.

පළමු සිදුවීම් මාලාව මෙසේ ය: කුලියාපිටියේ අයුක්තියට පත් දරුවාගේ ඉරණම සතියක භෝජනයකි. ටොරින්ටන් චතුරශ‍්‍රයේ සංස්කෘතික පොලිස් බලාධිකාරය ගැන භාවාතිශය සාකච්ඡා දෙවැනුව ය. ඇලන් මැතිනියාරාමයේ ඇත් පැටියාගේ ද, හබරාදුවේ මුහුදු රාජාලියාගේ ද අයිතීන් මුල්කොටගත් ධර්ම යුද්ධය එයිනුත් පසුව ය. දන්නෝ බුදුන් වෙනුවෙන් දෙපිල බෙදී දියත් කළ උද්වේගකර සන්දර්ශනය දැන් හේ බා ගොස් ඇති අතර ‘රණ විරුවන්‘ දිවි දී බේරාගත් විල්පත්තුව ‘මුස්ලිම් ව්‍යාප්තවාදයෙන්’ ආරක්‍ෂා කිරීමේ සංග‍්‍රාමය උච්ඡස්ථානයට ළඟාවීමටත් කලින් විල්පත්තු රක්‍ෂිතයෙන් කපාගත් නීති විරෝධී දැව ප‍්‍රවාහනයේ යෙදුණු යුද හමුදා සෙබළුන් 15 දෙනෙකු සිලාවතුරේදී අත් අඩංගුවට ගත් බවට සැර බාල කළ මාධ්‍ය වාර්තා ජනවාරියේදී පළ විය.

දෙවැනි සිදුවීම් මාලාව මේ උද්වේගී කේන්ද්‍රයට දුරින් පරිවාරයේ ඇවිළ යයි. ඒ අනුව තොටළඟ කජීමා වත්තේ නිවැසියන් අවි හා නිල බලයෙන් පෙබරවාරියේ දී පළවා හැරුණු අතර එදිනම රැකියා විරහිත උපාධිධාරීන්ගේ පා ගමනට කොටුව සෙරමික් හන්දියේදී පොලිස් ප‍්‍රහාර එල්ල කෙරිණ. මාලඹේ පෞද්ගලික වෙද විදුහලට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කැඳවන ලද විරෝධතා පෙළපාලියට කඳුළු ගෑස් පහර එල්ල කොට විසුරුවා හරිනු ලැබුණේ මේ සතිය මුලදී ය.

හෝමාගමින් පසු බා ගිය ගලගොඩඅත්තේ උන්නාන්සේ, දෙමළ ජනයාගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් වටකොට බෞද්ධ විහාරයක් ඉදිකිරීමේ නිරත භික්ෂුවක් පෙරටුකොටගෙන කෝකිලායි ධීවර ගම්මානයෙන් ප‍්‍රාදූර්භූත වූයේ ද ගෙවී ගිය සතියේදී ය. 28 වසක් තිස්සේ දෙමළ ජනයාට තහනම්ව තිබූ වසාවිලාන් හි මනාම්පිරායි පිල්ලෛයාර් කෝවිල දැඩි හමුදා අධීක්‍ෂණය යටතේ වන්දනා මාන කිරීමේ සීමිත අවසරයක් මාර්තු 06 වැනිදා උතුරේ ජනයාට පිරි නැමූ රජයේ හමුදාවෝ, ජය සිරි මහා බෝධි අංකුරයක් සිටුවා සමාධි පිළිමයේ අනුරුවක් සහිත කිලිනොච්චි විහාරයේ බෝධි ඝරය දෙමසක් ඇතුළත නිම කරන ලැබීමේ සන්තුෂ්ටිය මාර්තු 14 වැනිදා බුද්ධාලම්බන ප‍්‍රීතියෙන් සැමරූහ. සෙස්සන්ගේ පරාර්ථය විදහා දක්වන්නට කවුළුවක් සොයාගත නොහැකි වූ නිසාදෝ, දෙවැනුව කී සිදුවීම් මාලාව විසින් අවුළුවන ලද සාමූහික ආවේගයන් දක්නට නොලැබුණු තරම් ය.

තේරුම් ගන්නට කැමැත්තේ නම්, මේ පරස්පර යථාර්ථයන් වැදගත් ඇත්තක් කියා පායි. එක් සිදුවීම් මාලාවක් අසීමාන්තික මිනිස් සුහදත්වය අවුළුවන බවක් පෙන්නුම් කරන අතර, දෙවැනි සිදුවීම් මාලාව එක්කෝ නොවැදගත් සේ සැළකේ. නැතහොත්, නොදන්නා දේ සේ සළකා නොතකා හැරේ. කුලියාපිටියේ දරුවාට වෙනස් ලෙස සැළකීම හුදකලා පුද්ගල ඉරණමක් සේ සළකා ‘පරාර්ථ පේ‍්‍රමයෙන්’ මැදිහත් වීමේ ඉඩකඩක් නරඹන්නාට සපයා දෙන මුත්, කජීමා වත්තේ පැල්පත්වාසීන්ගේ ඉරණම නරඹන්නන්ගේ ‘පරාර්ථය’ ප‍්‍රදර්ශනය කිරීමේ අවකාශයක් සම්පාදනය නොකරයි. මුහුදු රාජාලියා හා ධම්මාලෝකගේ ඇත් පැටවාගේ ඉරණම සෙස්සන්ගේ කුළුණු ගුණය බාහිරට ප‍්‍රක්‍ෂේපණය කරන්නට ඉඩ දෙන නමුත්, කෝකිලායි දෙමළ ධීවරයන්ගේ හෝ වසාවිලාන් අවතැන්වූවන්ගේ සාමූහික ඉරණම ‘ඔන්ලයින්’ පරාර්ථකාමයට පසුබිමක් තනා නොදෙයි. එනයින්, එක් සිදුවීමක් අනුවේදනීය වන අතර, අනෙක් සිදුවීම දෛනික යථාර්ථයක් සේ සැළකේ. එක් සිදුවීමක් ‘අසාමාන්‍ය’ ම්ලේච්ඡත්වය පිළිබඳ සාක්‍ෂියක් සේ සැළකෙන අතර, දෙවැන්න නොවැළැක්විය හැකි සාමාන්‍ය තත්ත්වයක් සේ සැළකේ.

ස්වාර්ථකාමයත්, පරාර්ථකාමයත් එකට පැවතිය හැකි දෙබිඩි භාවය අපේ යුගයේ මානූෂීය මැදිහත්වීම්වල මූලික ස්වරූපයයි. එනම්, සෙස්සන්ට නැරඹිය නොහැකි පරහිතකාමීත්වය අරුත් රහිත ගුණයක් සේ සැළකීමයි. The Ironic Spectatorship කෘතිය ලියූ ලිලී චුලිරාකි ‘උත්ප‍්‍රාසජනක සහයෝගීතාව’ ලෙස හඳුන්වන්නේ මෙයයි. දුක්ඛිතභාවයේ කොන්දේසි වෙනස් කිරීමේ දේශපාලන සහයෝගීතාව වෙනුවට මේ යුගයේ පරාර්ථකාමී ක‍්‍රියාවන්ගේ හරි මැද ඇත්තේ ස්වාර්ථකාමී සන්තුෂ්ටිය යි. මේ දෙබිඩි භාවයේ මූලික ලක්‍ෂණය වන්නේ පළමුව අනෙකෙකුගේ ඉරණම හමුවේ අප ගන්නා ස්ථාවරය විසින් අපගේ දෛනික චර්යාගත පැවැත්ම අවදානමේ නොහෙළනු ඇති බවට  සහතිකයක් තිබීමයි. දෙවනුව, තම පරහිතකාමී ආකල්පය තමාගෙන් බැහැර පේ‍්‍රක්‍ෂක සමූහයකට නරඹන්නට ඉඩකඩ ලැබෙතැයි සහතිකයක් තිබීමයි.

මස් පිණිස සූදානම් කළ මුහුදු රාජාලියා වටකොට ගත් මාංශ භක්‍ෂක මිනිස් රංචුවේ සේයා රුව ම්ලේච්ඡත්වයේ එක් ස්වරූපයක් බවට සැක නැත. නමුත් ඒ වනාහී, අපේ මෑත කාලීන ඉතිහාසයට අදාළව වසන් කළ ම්ලේඡත්වයේ තනුක කළ සංස්කරණයකට වැඩිමනත් දෙයක් නොවේ. පළමුවැන්න විසින් අපේ ආත්ම රාගය සනසන්නට සමත් ‘පරාර්ථ පේ‍්‍රමයේ නිමේෂයක්’ අපට ප‍්‍රදානය කරයි. එමගින් අපේ පැවැත්ම අනතුරේ නොහෙළයි. දෙවැන්න ඒ සන්තුෂ්ටිය අපෙන් උදුරා ගනියි. ගේ දොරින් පළවා හළ සිය දහස් සංඛ්‍යාත මිනිස් ඉරණමට වඩා රාජාලියෙකුගේ  ඉරණම අනුවේදනීය වන්නේ එබැවිනි.☐

(මෙම ලිපිය 2016 මාර්තු 20 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ වූවකි. / කාටූන් සිතුවම: පෝලන්ත කාටූන් ශිල්පි පාවෙල් කුචින්ස්කි.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS