සමකය: පළමුව ලේ - දෙවනුව චේ

නතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ තුන්වැනි වරටත් මුළු දුන්නේ පෙබරවාරි 28 වැනිදා ය. මාර්තු 06 වැනිදා ‘රාවය’ පත‍්‍රයේ අපේක්‍ෂා සහගතව ලියැවුණු සටහනක මෙසේ ලියා තිබිණ:

‘‘මේ උත්සවයේ තේමා ගීතය දෙමළ භාෂාවෙනුත් ගායනා කිරීමත්, අනුර කුමාර කළ සම්පූර්ණ කතාව දෙමළ භාෂාවෙනුත් පරිවර්තකයෙකු විසින් කියැවීමත් දකින්නට ලැබුණා. පොල්තෙල් පහන දැල් වූ අවස්ථාවේදී උඩරට, පහත රට හා දෙමළ බෙර සහ වාද්‍ය භාණ්ඩ මිශ‍්‍රිත වාදනයක් ඉදිරිපත් කර තිබුණා. එදින ඉදිරිපත් කළ තරුණ ප‍්‍රඥප්තියෙහි යෝජනාවක් ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බව පවා පවසා තිබුණා. ජවිපෙ යුද්ධයේදී මෙන්ම උතුරු පළාත් සභා මැතිවරණයේදීත් දැක්වුවේ ජාතිවාදී බලවේග සමග යන ප‍්‍රතිපත්තියක්. බර අවිවලින් පහර දෙන්නැයි ජවිපෙන් රාජපක්ෂ ආණ්ඩුවට උපදෙස් ලැබී තිබුණා....කෙසේ වෙතත් ජවිපෙ තමන් මීට කාලයකට පෙර දැරූ අදහස් විශාල වශයෙන් නවීකරණය කරගෙන ඇති බව 28 වැනිදා පෙනෙන්නට තිබුණා...මේ වෙනස අවංක එකක් නම් හොඳයි.’’

ඒ ‘වෙනස’ කොතෙක්දැයි සමාජවාදී තරුණ සංගමයේ අභිනව ජාතික සංවිධායකවරයා විසින් ඒ ඉරිදාවේම කදිමට පැහැදිලි කර දී තිබිණ. ඒ ‘සත්හඬ’ පත‍්‍රයට ලබාදෙන ලද සාකච්ඡාවකිනි. යුද්ධය පිළිබඳව ජවිපෙ දැරූ දේශපාලන ස්ථාවරය පිළිබඳ අසන ලදුව ඔහු මෙසේ කියයි:‘‘යුද්ධය පිළිබඳ අපි ඉතා නිවැරදි ස්ථාවරයක් දැරුවා. අපි කුමන ජාතිවාදයට වුණත් විරුද්ධයි.....ඒ වෙලාවේ වළක්වා ගත නොහැකි ලෙස දෙමළ ජාතිවාදය තිබුණේ යුදමය වටපිටාවක් ඇතුළේ. එතකොට ඒක පරාජය කරන්න වෙන්නෙම යුදමය වටපිටාවක් ඇතුළේ. ඒක මතවාදී තලයේ නම් තිබුණේ අපිටත් ඒක මතවාදී තලයෙන් පරාජය කරන්න තිබුණා.’’

අනතුරුව හේ මෙසේ ද කියයි:‘‘අපේ මැදිහත්වීම තියෙන්නේ උතුර - දකුණ සියල්ල එකතු කරගත් තරුණ ව්‍යාපාරයක් ගොඩනඟන්න. අපි දැන් ඒකට පදනම දමමින් තිබෙනවා. ගිය මාසේ චේ ගුවේරා දිනය පවා අපි සැමරුවේ යාපනයේ.’’

මානෙල් මල් ව්‍යාපාරය, දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය සහ බර අවි වලින් පහර දෙන්නැයි කළ ඉල්ලීම් සිය පක්ෂයේ ‘සමබරතාව අහිමි කළ දේශපාලන පීලි පැනීම්' යැයි ඉකුත් මාර්තුවේදී ජවිපෙ නව නායකයා කළ ප‍්‍රකාශය අනුව බලතොත් මේ මාර්තුවේදී හදාගත හැකි විප්ලවීය සමීකරණය මෙබඳු ය: පළමුව ආහාර හා ඖෂධ සම්බාධක පෙරටු කොටගත් බර අවි ප‍්‍රහාරයකි. දෙවනුව උත්කර්ෂවත් චේ සැමරුමකි. දහඅට වැනි සියවසේ අදිකාරම්වරුන්ගේ වස්ත‍්‍රභාරණයෙන් සැරසී දකුණේ මාවත් සැරූ වර්ගවාදී වීදි නාටක අවසානයේ බොල්ෂෙවික් සහ කියුබානු අවතාර දැන් ලේ බත් දෙමළ ගම්බිම්වල සැරිසරන සෙයකි.

1919දී පක්ෂ වැඩ පිළිවෙල පිළිබඳ විවාදයන් අවසන් කරමින් බොල්ෂෙවික් පක්ෂයේ 8 වැනි සමුළුව ඇමතූ ලෙනින් ‘ඇතැම් කොමියුනිස්ට්වාදීන් සූරා බලන්න, ඔබට මහා රුසියානු ස්වෝත්තමවාදීන් හමුවනු ඇතැ’යි උත්ප‍්‍රාසයෙන් කීය. මුල්ලිවයික්කාල්වලින් පසු ලංකාවේ යථාර්ථය එහි විලෝමයයි: ‘ඇතැම් සිංහල ස්වෝත්තමවාදීන් සූරා බලන්න, දැන් ඔබට කොමියුනිස්ට්වාදීන් හමුවනු ඇත!’

නමුත් ජවිපෙ තරුණ සමුළුව පිළිබඳ ‘රාවයේ’ ඉහත නිරීක්‍ෂණ විසින් මතු කරන ගැටළුව ඒ උත්ප‍්‍රාසයෙන් ඔබ්බට යන එකකි. බැරෑරුම්ව කල්පනා කරන්නට අවශ්‍යව ඇත්තේ ඒ ගැන ය. දෙමළ ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දිගුකාලීන ඉල්ලීම වනාහී දේශපාලන ගැටළුවකි. මක් නිසාද යත් ප‍්‍රජාතාන්ත‍්‍රික සමානත්වය පිළිබඳ ඉල්ලීමක හරය අත්‍යවශ්‍යයෙන්ම දේශපාලනික එකක් බැවිනි. එය සංස්කෘතිකකරණය කිරීමෙන් එහි දේශපාලන හරය නිශේධනය නොවේ. ජාතික අධිපතිවාදය පිළිබඳ ව්‍යුහගත යථාර්ථයක් වෙනස් කිරීමේ විභවයක් දෙමළෙන් සිංදු කීම හෝ මෘදංග වාදනවලට නැත්තේ ඒ නිසා ය. ජාතීන් අතර සංස්කෘතික ක‍්‍රියාකාරකම්, දෙමළ ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දේශපාලන ගැටළුව විසඳීමේ ක‍්‍රියාවලියක් දිරි ගන්වන අනුපූරකයක් වශයෙන් මිස, එවැනි ක‍්‍රියාවලියකට ආදේශකයක් වශයෙන් යොදාගත නොහැක්කේ එබැවිනි. නමුත් එවැනි දේශපාලන ක‍්‍රියාවලියක් ඇස් මායිමක නැති තැනක ‘සංස්කෘතික සාද සහ විනෝද චාරිකා’ වනාහී කිරිබත් කමින් සැමරූ සමූල ඝාතක දවස් අමතක කිරීමේ සාමූහික මනෝ චිකිත්සක සැසියකට වැඩිමනත් දෙයක් නොවේ.

ඇත්ත නම්, ‘දේශපාලනය සංස්කෘතිකකරණය කිරීම’ වනාහී අපේ යුගයේ නිර්දේශපාලනීකරණ සැළසුම් ක‍්‍රියාත්මක වන එක් ආකාරයක් බවයි. අසමානතාවය පිළිබඳ ගැටළුවේ දේශපාලන ස්වභාවය මගහැර යන්නට එමගින් දිරිදෙයි. ලිබරල් බහුසංස්කෘතිකවාදීන් විසින් දැනුවත්ව ප‍්‍රවර්ධනය කරන මේ පිළිවෙතට විසඳුම් වශයෙන් සංස්කෘතිය දේශපාලනීකරණය කරන්නට ස්ලෝවේනියානු චින්තක ස්ලාවෝයි ජිජැක් යෝජනා කරන්නේ මේ නිසා ය. 

භගත් සිං, චේ සහ විජේවීර පෙරටු කොට උඩරට, පහතරට හා දෙමළ බෙර හවුලේ වයා මුළුදුන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සමුළුව අන්තර් වාර්ගික සංස්කෘතික විචිත‍්‍රත්වය රමණීය ලෙස මවා පෙන්වූවා විය හැක. නමුත් එහි දේශපාලන හදවත අපරාධ සහායක අපාර අඳුරකින් තව දුරටත් වැසී තිබේ.☐

(මෙම ලිපිය 2016 මාර්තු 13 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS