සමකය: අපරාධ යුක්තිය දේශපාලන ගැටළුවකි

කීර්තිමතුන්ගේ මානවහිතවාදය’ (The Celebrity Humanitarianism) ගැටගැසී ඇති දෘෂ්ටිවාදය ගැන මහාචාර්ය ඉලන් කපූර්ගේ ප‍්‍රශස්ත විශ්ලේෂණය පටන්ගන්නේම උත්ප‍්‍රාසයෙනි. ඒ කතාව මෙසේ ය:

තමන් රැස් කළ ධනය සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්දැයි ‘කීර්තිමත් මානවවාදීන්’ තිදෙනෙක් එක්ව සාකච්ඡා කරති. ඒ ගැන තමන්ට අදහසක් ඇතැයි  කියන පළමුවැන්නා, ‘අපි රවුමක් ඇඳලා තියෙන සල්ලි ඔක්කොම උඩ විසි කරමු. රවුම ඇතුළට වැටෙන සල්ලි අපි දුප්පතුන් අතරේ බෙදමු’යි යෝජනා කරයි. රවුමක් ඇඳීමේ අදහසට එකඟවන දෙවැන්නා, කල්පනා කරන්නේ ‘උඩ විසි කරන සල්ලිවලින් රවුමෙන් එළියට වැටෙන කොටස දුප්පතුන් අතරේ බෙදා දීම’ වඩා හොඳ බව ය. ඒ දෙකටම වෙනස් විකල්ප යෝජනාවක් ගෙනෙන තුන්වැන්නා මෙසේ කියයි: ‘අපි රවුමක් ඇඳලා තියෙන සල්ලි උඩ විසි කරමු. බිම වැටෙන සල්ලි අපි තියාගමු’.

බැලූ බැල්මට මේ කතාවේ හරි මැද ඇත්තේ ‘දුප්පතුන්ගේ ගැටළුවයි’. නමුත් දිළින්දන් පිටමං කොට තබා කෙරෙන ඒ කතාවේදී තමන් සතු ධනය දිළින්දන් අතර බෙදා දිය හැකි හොඳම පිළිවෙළ කවරේදැයි ‘දිළිඳුභාවයේ පේ‍්‍රක්‍ෂකයන්’ වන දානපතියෝ වද වෙති. දිළිඳුභාවය ව්‍යුහාත්මක ගැටළුවකැයි උවමනාවෙන් නොතකා හරින මේ සාකච්ඡා අවසාන වන්නේ ‘උඩ රැඳෙන සල්ලි’ දිළින්දන්ටත්, බිම වැටෙන දෑ තමන්ටත් සමව බෙදා ගැනීමේ අවකාශ උදාවීම ගැන මහත් ආනන්දයෙනි. හරියටම යුක්තිය පිළිබඳ දෙමළ ජනයාගේ ඉල්ලීම මුල් කොටගත් දකුණු ලංකාවේ උද්වේගී සාකච්ඡා සභාවන් මෙනි. ඇතැමුන් කුපිත ගැන්වීමට ඉඩ ඇති නමුත් ඒ නිරීක්‍ෂණය දැන් හෝ ලියා තැබීම වැදගත් ය.

පටන් ගත යුත්තේ යුද්ධයේ නිල අවසානය නිවේදනය කළ තැනෙනි.

2009 මැයි මාසයේ යුද්ධය අවසාන වනවිට එකදු සිවිල් වැසියෙක් හෝ මියගොස් තිබුණේ නැතැයි කී රාජපක්‍ෂ ආණ්ඩුව විසින්ම 2010 මැයි මාසයේදී පත්කළ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම සිය අවසාන වාර්තාවෙන් පෙන්වා දී තිබුණේ යුද්ධයේ දී සිවිල් වැසියන් මිය ගොස් ඇතත්, ඒවා ‘චේතනාන්විත ඝාතන’ සේ සැළකිය නොහැකි බවයි. ඒ වාර්තාවට 2012 ජනවාරියේ දී ලිඛිත පිළිතුරකින් අභියෝග කළ දෙමළ ජාතික සන්ධානය වැදගත් ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කොට තිබිණ. සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව ගැන එම තර්කයේ සාරය මෙසේය: මුලතිවු දිස්ත‍්‍රික්කයේ හිටපු දිසාපතිවරිය වූ ඉමෙල්ඩා සුකුමාර් ආණ්ඩුවේ අණට යටත්ව කොමිසම හමුවේ දුන් සාක්‍ෂියට අනුව, ඇය රජයේ පාලන ප‍්‍රදේශ කරා පැමිණෙන විට 360,000ක් දෙනා තව දුරටත් යුද කලාපයේ ජීවත් වූහ. ඒ, 2009 ජනවාරි 22වැනි දා වන විට ය. යුද්ධයේ අවසානය නිවේදනය කෙරුණේ ඒ වසරේම මැයි මාසයේ 19 වැනිදා ය. එතැන් සිට දෙමසක් ඇවෑමෙන්, 2009 ජූලි මාසයේ 15 වැනිදා මානුෂීය කටයුතු සම්බන්ධීකරණය භාර එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් නිකුත් කළ සංඛ්‍යා ලේඛන අනුව ජූලි 10 වැනිදා වන විට 282,380ක් දෙනා රජයේ පාලන ප‍්‍රදේශ කරා ආ බවට ලියාපදිංචි කොට තිබිණ. එම සංඛ්‍යාවන්ට අනුව කල්පනා කරතොත් ජනවාරි සිට මැයි මාසය දක්වා පස් මාසයක් ඇතුළත 77,620ක් ආ ගිය අතක් නැතැයි පෙනී යයි. මේ හැත්තෑ හත් දහසට කොටිත් ඇතුළත් කොට ඇතැයි කණස්සලූ වන්නන් වෙත්නම් ඒ කණස්සල්ලෙන් ඔවුන් ගලවාලන මගක් තිබේ. රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුව ජනවාරි මාසයේ සිට යුද්ධයේ නිමාව දක්වා මරණයට පත් වූ කොටි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 4,264කි. ඉහතින් කී 77,620න් මියගිය සටන්කරුවන්ගේ නිල සංඛ්‍යාව අඩු කර බැලූවත්, ආ ගිය අතක් නැති බව පෙනෙන සංඛ්‍යාව 73,356කි.

ජාත්‍යන්තර විභාගයක් මගින් යුක්තිය ඉටු කරන ලෙස සය වසක් තිස්සේ දෙමළ ජනයා ඉල්ලා සිටින්නේ මතක පහනක් පවා දැල්වීම තහනම් වූ මේ හැත්තෑ තුන් දහසක් දෙනාගේ ඉරණම කුමක් වී දැයි නිශ්චිතව දැනගනු රිසියෙනි. එය අන්තවාදයක් නම් ඒ ‘අන්තවාදයටත්’ ප‍්‍රජාතාන්ත‍්‍රික පදනමක් තිබේ. 2015 අගෝස්තු මහ මැතිවරණය හමුවේ නිකුත් කළ දෙමළ ජාතික සන්ධානයේ හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශන මගින් ද, සැප්තැම්බර් 01 වැනිදා උතුරු පළාත් සභාව විසින් ඒකමතිකව සම්මත කරගන්නා ලද යෝජනාව මගින් ද, එදිනම යාපනයේ පැවති දෙමළ සන්ධානයේ මාධ්‍ය හමුව තුළින් ද, ඔක්තෝබර් 01 වැනිදා උතුරු සහ නැගෙනහිර බහුජන සංවිධාන 40ක් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනය විසින් ද නැවත නැවතත් හෙළි කර ඇත්තේ ඒ ප‍්‍රජාතාන්ත‍්‍රික පදනමයි.

රාජපක්ෂ පාලනය අවසන් කිරීමෙන් මුදුන්පත් කරගැනීමට අපේක්‍ෂා කළා වූ සාමූහික අභිලාෂයන් ඊට දායක වූ සිංහල ජනයාට මෙන්ම, දෙමළ ජනයාට ද තිබේ. තමන්ට හිමි විය යුතු යුක්තියේ දිග පළල තීරණය කිරීමේ අයිතිය ඇත්තේ සැහැසි අපරාධයන්ට මුහුණ දී දිවි ගළවාගත් ජන සමාජයකට මිස, මෙගා මාලා නාටකයක් මෙන් එකී අපරාධයන් රූපවාහිනියෙන් නරඹන්නට ඉරණම්ව මැද සාලයේ ජීවත් වූ පේ‍්‍රක්‍ෂක සමාජයකට නොවේ. පස් මාසයක් ඇතුළත ආ ගිය අතක් නැති වූ හැත්තෑ තුන් දහසක් දෙනා වෙනුවෙන් හය අවුරුද්දක් පමා වූ යුක්තිය දිනා ගැනීමත්, කවර හෝ කලෙක එවැනි අපරාධ යළිත් සිදුකිරීමට ඇති හැකියාව අවුරන ව්‍යුහාත්මක වෙනස්කම් වෙනුවෙන් සටන් කිරීමත් දෙමළ ජනයාට අන් සියල්ල පරයා වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. අනාගත ලංකාව තුළ අන්තර් වාර්ගික සහයෝගීතාවට කවර හෝ අර්ථයක් ඉතිරිව ඇතිනම් එය ඇත්තේ යුක්තිය හා සමානත්වය පිළිබඳ දෙමළ ජනයාගේ සංයුක්ත හා නිශ්චිත ඉල්ලීම් ඒවායේ මුල් ස්වරූපයෙන්ම ආරක්‍ෂා කිරීමට ඇති සූදානමෙහි විනා, ‘ඔබේ වියෝග වේදනාවන් ගැන මා කම්පා වන නිසා, යුක්තිය පිළිබඳ ඔබේ ඉල්ලීම් මගේ මිම්මට කපා ගන්නැයි’ ඉල්ලා සිටින වංචනික දේශනාවන් තුළ නොවේ.

අපරාධ යුක්තිය පිළිබඳ දෙමළ ජනයාගේ මානුෂීය අභිලාෂය වෙන් කළ නොහැකි ලෙස ගැටගැසී ඇත්තේ ජාතික ස්වාධිපත්‍යය පිළිබඳ ඔවුන්ගේ නොනැසුණු දේශපාලන අභිලාෂයට ය. ඒ යථාර්ථය නොතකා, ‘උඩ රැඳෙන අයිතීන් දෙමළුන්ට දී, බිම වැටෙන අයිතීන් අප අතරේම බොදාගැනීමට’ රාජ්‍ය අනුග‍්‍රහ යටතේ කතිකා කෙරෙන සාකච්ඡා මණ්ඩප දැන් ජීවන මාර්ගයකට වැඩිමනත් දෙයක් නොහඟවයි.

පස් මාසයකින් ගොඩගැසූ හැත්තෑ දහසක් ඉක්ම වූ නොගණින ලද මිනී කඳු අභිමුව ‘යුක්තිය’ වනාහී නීතිමය ගැටළුවක් නොව, දේශපාලන ගැටළුවකි. ‘තල් කොළ හා පොල් කොළ දමා කළාල විවීම’ ගෘහ කර්මාන්තයක් වශයෙන් විනා සෝමාරි කාව්‍යෝක්තියක් වශයෙන්වත් දැන් වැදගත් නොවන්නේ ඒ නිසා ය.☐

(මෙම ලිපිය 2015 දෙසැම්බර් 27 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS