සමකය: උන්ගේ මළවුන් සහ අපේ මළවුන්

මිලාන් කුන්දේරාගේ The Book of Laughter and Forgetting කෘතියේ එන මිරෙක්, එහි පළමු භාගයේ තැනෙක ‘බලයට එරෙහිව මිනිසා ගෙනයන අරගලය වනාහී අමතක කර දැමීමට එරෙහි මතකයේ අරගලයකැ’යි කියයි. ඒ, පිළිවෙලට දිනපොත් සටහන් තැබීම ද, ලියුම් කියුම් සුරැකිව තබා ගැනීම ද, රැස්වීම් පිළිබඳ වාර්තා පවත්වා ගැනීම ද අවදානම කැඳවා ගැනීමකැයි අනතුරු හඟවන මිතුරන්ට පිළිතුරු වශයෙනි. ඇතැම් විට ස්මරණය සහ විස්මෘතිය ගැන විවිධ ලේඛණ තුළ වැඩිම වාරයක් උපුටා දක්වන ලද සාහිත්‍යමය වැකිය මෙය වීමට ද ඉඩ තිබේ.

නමුත් ‘අමතක කිරීම’ සහ ‘බලය’ අතර ඇති සම්බන්ධය කුන්දේරාගේ සන්දර්භය වූ චෙකොස්ලොවැකියාවෙන් ඔබ්බට ද විහිදේ. සිය මතකය අත් නොහැරීම, බලයට එරෙහි සටනේම කොටසක් සේ ලොව කොතැන වුව පීඩාවට පාත‍්‍ර වූවන් විසින් සළකනු ලබන්නේ එහෙයිනි.

ඊට දෙස් දෙන උදාහරණ එමට ය. ජනතා විමුක්ති පෙරමුණ මෙහෙය වූ දෙවන තරුණ නැගිටීම සමයේ අපේ‍්‍රල් විරු සමරු පැවැත්වූයේ රහසිනි. ඒ, දිවිදුන් පළමු කැරළිකාරී පරපුර පිළිබඳ රක්නා මතකය, පසුව ආ පරම්පරාවන් බලයට එරෙහිව ගෙනගිය අරගලයේ කොටසක් සේ සැළකූ හෙයිනි. කුඩා චිමිනි ලාම්පු එළි කාන්දුවීම වළකනු වස් ගෝනි මළු යොදා කවුළු අවුරා ලූ ආරක්‍ෂිත නිවෙස් තුළත්, වන මූකලන් තුළත්, වතු කම්කරුවන්ගේ පේළි නිවාස, අඳුරු කෘෂි ගබඩා හා ගොවිපොළවලත් ජීවිත අවදානම නොතකා රහසේ රැස්ව, දිවිදුන් පූර්වගාමීන් ස්මරණය කිරීම බලයට එරෙහි අරගලයේ කොටසක් සේ අපි එකල්හි සැළකීමු. කිසිදා නොදුටු, මාතර සුසිල් වික‍්‍රම, බද්දේගම කමලබන්ධු හා උනන්විටියේ පදුම වැන්නන්ගේ ජීවන පුරාවෘත පිළිබඳ මතක යෂ්ටිය මා අයත් පරපුර වෙත මාරු වූයේ ඒ රහස් සමරුවලදී ය. ‘ඉල් මහ සමරුවක්’ ඉතිරි කොට තබා දෙවන තරුණ නැගිටීම විසුණු වූ පසු ද අවිධිමත්ව රහසේ සංවිධානය කළ අපේ‍්‍රල් සහ නොවැම්බර් සමරු, 1994 තෙක්ම භූගතව ක‍්‍රියාත්මක වූ ජවිපෙ අභ්‍යන්තර සංස්කෘතියේ කොටසක්ව තිබිණ. 

නමුත් 1995න් පසු, ජවිපෙ මළවුන් සැමරීම, පළමුව ප‍්‍රචාරකවාදී දේශපාලනයේ උත්සව නිමිත්තක් බවටත්, දෙවනුව සාමූහික උද්වේගය සිඳ ලූ වාර්ෂික ලිත් වතාවතක් බවටත් පෙරළුණි. ඉක්බිති එළඹි දස වසර තුළ රාජ්‍ය බලය සමග ජවිපෙ ඇතිකරගත් නින්දා සහගත සම්මුති විසින් දකුණේ මළවුන් පිළිබඳ මතකයේ සදාචාර සාරය ඛාදනය කර දමන ලදී. සමූහ මිනීවළවලින් ගොඩගත් මළවුන් යළිත් ඒවා තුළම වළලා දමන ලද අතර, නිලලත් ඝාතකයන් හා සහවාසය දේශානුරාගය සේ වෙස් ගන්වනු ලැබිණ. සූරියකන්ද ගීත කැසට් පටියක් බවට පෙරළී අමතකව ගියේය. ‘අහිංසකයන්ගේ ආරාමය’ නගරාලංකරණයට හිලව් කොට ඩෝසර් කොට දැමුණි. වෙසක් මාසයේ තොරණ දෙක තුනකටම නිමිති කොටගත් ජාතක කතාවක් මෙන් දැන් අපේ‍්‍රල් හා නොවැම්බර් සංහාරයන් තේමා කොටගත් සමරු, අගනුවර තැන් දෙක තුනකම එකවර මුළු දෙයි.

ප‍්‍රස්තුත කාරණාව වෙනකකි. කලක් රාජ්‍ය මර්දනය විසින් ජවිපෙ අනුගාමික කව තුළට සීමාකොට තිබූ තරුණ සංහාරයන් ගැන මතකය, දැන් පොදු මහජන අවකාශයන් තුළ උත්සවාකාරයෙන් සැමරේ. සන්නද්ධ නැගිටීමකට දායකවූවන් සැමරීම දකුණේ ප‍්‍රචණ්ඩ දේශපාලන පුනරුදයකට මං පාදනු ඇතැයි අනියත බියකින් දැන් කිසිවෙකුත් නොපෙළෙයි. නමුත් මේ පිළිවෙත මැදවච්චියෙන් ඔබ්බට අදාළ නොවේ. යුද ගැටුම් නිමා වී සය වසරකට පසුත් දෙමළ මළවුන් සැමරීම තහනම් කාර්යයකි. ඒ, සිය මළවුන් පිළිබඳ නොමළ දෙමළ ජනයා  සතු මතකය, රාජ්‍ය බලයට එරෙහි කැරළිකාරී අභිලාෂයක් ප‍්‍රකාශයට පත් කරතැයි බොහෝවුන් බියවන හෙයිනි. ඒ මතකය මර්දන බලයෙන් යටපත් කොට දැමීම යුක්ති යුක්ත යැයි කල්පනා වන්නේ ඒ නිසා ය. බලය සහ මතකය පිළිබඳ වැදගත් ඇත්තක් ඒ ‘බිය’ විසින් කියා පායි.

දකුණේ ඝාතක බිම් පිළිබඳ රාජ්‍ය අපරාධකාරීත්වය අනාවරණය වීම අපේ සාමූහික සදාචාර පැවැත්මට අභියෝගයක් එල්ල නොකරයි. ඊට හේතුව, දකුණේ සංහාර සමයේ රාජ්‍යයේ අභිලාෂයන් හා හමුදාවන්ගේ ක‍්‍රියා කලාපයන් විසින් අපගේ අපේක්‍ෂා නියෝජනය කළේ යැයි කිසිවෙක් නොසිතන බැවිනි. ඒ නිසාම සංහාරයන්ට ගොදුරුවූ පරම්පරාවන්ගේ දුක්ඛිත ඉරණම්  සහ අපේ මතකය අතර පස මිතුරු ආතතියක් දකුණේදී පැන නොනගී. නමුත් දෙමළ මළවුන් පිළිබඳ යථාර්ථය ඊට වෙනස් එකකි. දෙමළ වින්දිතයන්ගේ ඉරණම අපේ සංවේදනාවන් හෝ සාමූහික සංවේගයන් නියෝජනය නොකරයි. එහෙයින් උතුරේදී රාජ්‍ය අපරාධකාරීත්වය අනාවරණය වීම මගින් අපේ සාමූහික සදාචාර පැවැත්ම අනතුරේ හෙළතැයි අපි කල්පනා කරමු. මියගියවුන් ගැන නොමළ දෙමළ ජනයා අතර නොනැසී පවතින මතකය වනාහි අපේ අපරාධ හවුල්කාරීත්වයේ පිළිබිඹුව පරාවර්ථනය කරන කැඩපතකැයි බොහෝ දෙනා බිය වන්නේ ඒ නිසා ය. මියගිය පරම්පරාවන් ගැන දෙමළ ජනයාගේ සාමූහික මතකය පමණක් නොව, එකී මතකය නඩත්තු කෙරෙන සෑම සංකේතයක්ම විසුණු කොට දැමීම අත්‍යවශ්‍ය කාර්යයක් බවට පෙරළී ඇත්තේ ඒ අනුව ය.

දශක තුනක යුද්ධයෙන් මියගිය දෙමළ තරුණ - තරුණියන් මිහිදන් කෙරුණු සුසාන භූමි විසි පහක ඔවුන් ස්මරණය කරනු වස් ඉදිකොට තිබූ 20,400කට වැඩි සොහොන් කොත් සහමුලින් විසුණු කොට දැමීම ඉකුත් සය වසර තුළ සම්පූර්ණ කරන ලද්දේ ඒ කල්පනාවන්ට යටත්ව ය. ඒ අනුව සොහොන් කොත් 795කින් සමන්විත උඩුප්පිඞ්ඩි එල්ලාන්කුලම් මහ විරු සුසාන භූමිය විනාශ කොට ඒ මත එල්ලාන්කුලම් හමුදා කඳවුර ඉදිකරනු ලැබිණ. සොහොන් කොත් 1832කින් යුතු දැවැන්ත කෝපායි සුසාන භූමිය දෙවන වරටත් සමතලා කොට ඒ මත ඉදිකළ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අභිනව යාපන ආඥා මූලස්ථානය 2011 මාර්තු මාසයේ උත්සවාකාරයෙන් විවෘත කළ රාජ්‍ය හමුදාවෝ සොහොන් කොත් 795කින් සහිත කොඩිකාමම් සුසාන භූමියද දෙවන වරටත් මුළුමණින්ම විසුණු කොට හමුදා කඳවුරක් බවට පෙරලූහ. විනාශ කරන ලද අවශේෂ සුසාන භූමි අතරට සොහොන් ඵලක 1968ක් සහිත කනකපුරම් මහවිරු සුසාන භූමිය මෙන්ම සොහොන් කොත් 2575කින් යුතු මුල්ලියාවෙලෙ සුසාන භූමියද අයත් වේ. සිහිවටන ඵලක දෙදහස් හත් සියයකට වැඩි ගණනකින් සමන්විත මළවුන් වෙනුවෙන් කැප වූ සුවිශාලතම සැමරුම් ස්ථානය සේ සැළකුණු විසුවමඩු සුසාන භූමිය සහමුලින් විනාශ කිරීමේ කාර්යය 2009දී සම්පූර්ණ කරන ලදී.

‘කුරිරු වුවද, යුද්ධයේ තර්කනය පැහැදිලි කළ හැකි මුත් අවුෂ්විට්ස් තුළින් ප‍්‍රකාශිත ආඝාත වෛරය පැහැදිලි කිරීමට නොහැකි යැයි’ දිවි නසා ගැනීමට වසරකට පෙර ඉතාලියානු ලේඛක ප‍්‍රීමෝ ලැවී කීවේය. ඝාතනය වූ සිය දරුවන් නමට වෙන් වූ සොහොන් කොත් ඵලක පවා ඩෝසර් යොදවා බිම්බත් කොට ඒ මත කඳවුරු සංකීර්ණ සහ ක‍්‍රීඩා පිටි ඉදි කරනු නිහඬව බලා හුන් ජන පිරිසකගේ සාමූහික දොම්නස ඇතැම් විට ඒ ප‍්‍රකාශය තුළින් ප‍්‍රතිරාව නැගෙන්නට ඉඩ තිබේ.

ඉකුත් දශක තුන තුළ සමානත්වය හා යුක්ති සහගත ජීවිතයක් වෙනුවෙන් දිවි දුන් පරම්පරාවන් අමතක කොට දවස් ගෙවීම දකුණේදී මෙන්ම උතුරේදී ද හුදු ආචාර ධාර්මීය ගැටළුවකට වැඩිමනත් දෙයකි. නිදහස් සැමරුම් අවකාශ අවුරනු ලැබුවද, මතකය සඳහා වන අනවරත මිනිස් අරගලය නොනවතින්නේ එබැවිනි. නොවැම්බරයෙන් නොවැම්බරයට  විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ මුළුදෙන දකුණේ මළවුන් පිළිබඳ ජීවය සිඳින ලද උත්කර්ශය ඉක්මවා යන අනුරාගී බලයක්, වන්නි ගම්බිම්වල රහසේ දැල්වෙන පහන් වැටි ආලෝකයක ගැබ්ව ඇත්තේ ඒ නිසා ය.☐

(මෙම ලිපිය 2015 නොවැම්බර් 22 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ වූවකි.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS