වලිකාමම්: යුද හමුදාවේ 'අවුරුදු තෑග්ග'

ශ්‍රීලංකා යුද හමුදාව 1990 පටන් වාඩිලාගෙන සිටි දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 650 ක ඉඩම් 2018 අප්‍රේල් මාසයේදී මුදා හරින ලදී. සිංහල අලුත් අවුරුද්ද හා සමගම වාගේ ඒ ඉඩම් මුල් අයිතිකරුවන්ට ආපසු බාර දෙන ලද්දේ හමුදාවේ “අලුත් අවුරුදු තෑග්ගක්’ බව පවසමිනි.

අධි ආරක්ෂක කලාපයක් කොට තහංචි දමා 28 වසරක් තිස්සේ අත්පත් කරගෙන සිටි එම භූමියෙන් සෑහෙන කොටසක් අයත්වන්නේ යාපනයේ උතුරු වලිකාමම් ප්‍රාදේශීය සභාවට ය.

“හමුදාව එහෙ මෙහෙ යනකොට, බිම් බෝම්බ ඉවත් කරන උපකරණයි, නවීන යන්ත්‍ර සූත්‍රයි ඒ ගොල්ලන්ගේ ආරක්ෂාවට අරගෙනයි යන්නේ. අපිට ඒ මුකුත් නෑ,” යි ආපසු ගිය ගම්වැසියකු පැවසීය.

“අවුරුදු තෑග්ගත් එක්ක අපිට ලැබුනු සැනසිලි තෑග්ග තමයි පුපුරා යාමේ අවදානම.”

ඉඩම් බාරදීමට පෙර බොහෝ නිවාස පොළොවට සමතලා කර දමන ලදී. ඉතිරි වූ නටබුන් නැගී සිටින්නේ අවතාර මෙනි - අමතක කොට අතහැර දමා ය.

“ළිඳක් සුද්ද කරගන්න රුපියල් 35,000 ක් දෙන්න ඕනේ. ඉඩම එළි කරගන්න නම් පැයට 3,500 ක් ගෙවන්න වෙනවා,” යි බොහෝ දෙනා මැසිවිලි නැගූහ.

“අපිට හැමදේම නැති උනා.” වියපත් මිනිසෙක් කොඳුරයි.

“ඉස්සෙල්ලාම අපේ අයිතිය උදුරාගත්තා. ඊළඟට අපේ ළමයි සහ ඉඩ කඩම්. ඔක්කොම නැති වෙලා කියාගන්න බැරි තරමේ දුක් කන්දරාවක් කෙලවර, ඔන්න අපිට දුන්න අවුරුදු තෑග්ග.”

ඉක්බිති, සුසුමක් හෙලූ ඔහු ඉවතට ඇවිද ගියේය.

ඒ කැකෑරෙන පීඩනයේ හා ඉච්ඡා භංගත්වයේ රූපමය නිමේෂයන් රොෂාන් චතුරංග සිය කැමරාවට හසුකර ගත්තේය.☐

© JDS

වලිකාමම් සේයා රූ එකතුව බැලීමට පහළ ඇති සේයාරුවින් පිවිසෙන්න.