මට මේ සියල්ල අමතක කළ හැක

 

ට මේ සියල්ල අමතක කළ හැක.
මේ දීන අසරණ ජීවිතය
අතාරින්නට අකැමැතිව
ඇසිල්ලක බලාපොරොත්තු සුඟක්
වැරෙන් අල්ලාගෙන
මහපොළොවත් මගෙ හදවතත්
වෙව්ලුම් කද්දී
ගාලු පාර හරහා ගිය හැටි
අමතක කළ හැක.

උඩුයටිකුරුව දැවී හල
කාරයකින්
එළියට නෙරූ
කලව - අස්ථියක දසුන
අමතක කළ හැක.

අහසත් පොළොවත් අතර
යම් තැනක
බැල්ම හිර කරගත්
තනි ඇසක්

සියැ'ස අහිමියෙන්
ලේ කැටි ගැසුණු
නෙත් කෙවනියක්

ඩික්මන් පාරේ
කළු කෙස් රතුව
ඔළු දෙපළු වූ
මළ උන් හයක්

ගින්නෙන් බේරුණු
සාරි කැබැල්ලක්

අත් ඔරලෝසුව උදුරගත්
හිමිකරුගෙන් වියෝ වූ
එකලා වමතක්

පිළිස්සෙන ගෙදරකින්
අසීරුවෙන්
තොටිල්ලක් ඔසවන
බඩදරු සිංහල කතක්

මට මේ සියල්ල,
මේ සෑම සියලු දේම
අමතක කළ හැක

ඒත්,
තේ පඳුරු යට හැංගූ
ඔබෙ ළමයින්ට රැකවල් ලමින්
වලාකුළු පාතට ගැලූ
හවස් වරුවක
හාල් අහුරක් ඉදෙනතුරු
රහසේ බලාසිටින'තර
ඩැහැගෙන විසිකළ
ඔබව, මගෙ කෙල්ලේ
මම අමතක කරන්නේ කොහොමද?

බිඳුණු මුට්ටි කැබලිති
පොළොව උඩ කරව ගිය
ඉහිරුණු බත් කැටිති
අමතක කරන්නේ කොහොමද?

 

රුද්‍රමූර්ති චේරන් | 1983 අගෝස්තු


© JDS


පරිවර්තනය - සංජුලා ඕෂිණී පීටර්ස් / සිතුවම: ඔස්වල්දෝ ගුවායාසමින්