මගේ මාතෘභූමිය

1956 දී ඉපදුණු ඉගොර් ටල්කොෆ්, රොක් සංගීත ශිල්පියකු, ගීත රචකයකු හා රංගවේදියකු වශයෙන් සෝවියට් සංගමය තුළ ඉමහත් ජනප්‍රියතාවකට හිමිකම් කීවේය. 1991 ඔක්තෝබරයේ දී ලෙනින්ග්‍රාද් (වත්මන් ශාන්ත පීටර්ස්බර්ග්) නුවරදී වෙඩි තබා මරා දැමෙන විට 35 හැවිරිදි  වියේ පසු වූ හේ සෝවියට් පාලනය මෙන්ම පෙරොස්ත්‍රොයිකාව ද දැඩි ලෙස විවේචනයට ලක් කළේය. ඔහුගේ මරණය පිළිබඳ චෝදනා සෝවියට් පාලකයන්ට එල්ල වුවද, වැඩිදුර විමර්ශන මගින් ඔහුගේ ප්‍රසංග අධ්‍යක්ෂවරයා වූ වැලරි ෂ්ලියාෆ්මාන්ට එරෙහිව චෝදනා මතු කෙරුණි. ඔහුගේ අකල් මරණය නිමිති කොටගෙන සෝවියට් සංගමය තුළ නිල ශෝක දිනයක් ද ප්‍රකාශයට පත්කරනු ලැබුණි. විමර්ශන කටයුතු ආරම්භ වීමත් සමගම ෂ්ලියාෆ්මාන් ඊශ්‍රායලයට පළායාම හේතුවෙන් 1993දී කල් තබන ලද නඩු විභාගය 2018 නොවැම්බර් මාසයේදී යළිත් ඇරඹිණ.

පරිවර්තනය: අජිත් සී. හේරත්


 


මා කළ මනඃකල්පිතයන්ගේ
කැබැලිති අතර
කිසිවක්ම සිදුවෙතැයි මට බැරෑරුම් ලෙස නොපෙනෙන
මගේ මාතෘ භූමිය මත මම  ඇවිද යමි
ක්‍රිස්තු වර්ෂ අතර මා ඇදගෙන යනු ලැබූවෙන්
මම විඩාපත් වී සිටිමි
අහෝ දෙවියනි...
එහෙත්  ආචාර පෙළපාළියක දී මෙන්
මුළු මහත් ජාතියම මා වටා
පුළුල් පියවර තබමින්
අපාය වෙත ගමන් කරමින් සිටී

ශෝකයේ ගිලී හිරි වැටුණ
මාගේ මාතෘභූමිය
අහෝ මාගේ මාතෘභූමිය
ඔබට ඔබගේ සිහිකල්පනාව අහිමි වී ඇත

නතර වූ සළරුවක මෙන්
මොස්කව් පුර එහි සියවස් අතර දිවි ගෙවයි
එය එතැනට පත්ව ඇත
එය එතැනට පත්ව ඇත

දෙව්මැදුරු මුදුනත අරා
සාතන්ගේ තාරකාව නැගී
ඉහළ සිට බලා සිටි.
ඔබව කොපෙක් පහකට වෙන්දේසි කළ පසුව
ඔබගේ  ස්මරණයන් සිනහවට ලක්කිරීම
බටහිර සිට පැමිණි ඔබගේ අතීතයේ වහළා ය.
ඉහළ සිට එය බලා හිඳී
ඔබව කොපෙක් පහකට වෙන්දේසි කළ පසුව
ඔබගේ ස්මරණයන් සිනහවට ලක්කිරීම
බටහිර සිට පැමිණි ඔබගේ අතීතයේ යක්ෂයා ය.

දශක අටක් තිස්සේ
ඔබගේ කුරුසය සෝදාහළේ
වර්ෂාව විසින් නොව,
අහසෙන් ගලා ගිය
ඔබගේ ශ්‍රේෂ්ඨතම දූපුතුන්ගේ කඳුළැල් විසිනි
ඔවුහු ආකාශයේ සිට
ඔවුහු වළාකුළු අතර සිට බලාසිටී
ඔබ වහල්බවේ වියගසෙහි බැඳී
මුග්ධයන් හමුවේ දණ නවන අයුරු
එක්කෝ ඔබ බීමත්ව වැළපෙයි
නැත්නම් නිහඬවම සාගින්නේ ළතවෙයි
නැතහොත් යාඥා කරයි

ශෝකයේ ගිලී හිරි වැටුණ
මාගේ මාතෘභූමිය
අහෝ මාගේ මාතෘභූමිය
ඔබට ඔබගේ සිහිකල්පනාව අහිමි වී ඇත
මගේ අසරණ මාතෘභූමිය
ඔබට ඔබගේ සිහි කල්පනාව අහිමි වී ඇත

 

ඉගෝර් ටල්කොෆ්


© JDS