දැන් ආයෙමත් රැයක්

 

මැදියම් රැයක මොහොතක්
ඇවිත් එළියට ඇබින්දක්
පෙනෙයි බැලුවම සඳෙහි
දිලිසෙනා කළුවරම පැත්තක්

ගණන් කර බැලූ විට තරු කැටම ගොන්නක්
නිදි නැතුව ඉන්නවද පතා එක් පහසක්
සෞරග්‍රහ මණ්ඩලයටත් හොරෙන්
මට ආවේ මහා වේලිච්ච කැස්සක්

ගහ කොළ නිසල බව ඇත්තක්
උන් කතා නොකරන එක බොරුවක්
කණට කර ඇහුවාහම කවුරුත්
කියයි හංගන් ඉඳපු රහසක්

කඩුපුල් පිපෙන්නට නම් සැරයක්
සඳ කියන්නම ඕන රහසක්
හිරුට ඇයි ඉතුරුවෙන්නෙම
තුසර පිණි පිසලන පොඩි වැඩක්

රාත්‍රිය නිදා ගත්තම පැයක්
හිස පිරිමදින්නට දහවලක්
කොහේ හෝ හරි ඉඳන් ඒවිද
මට ඒක ලොකු ප්‍රශ්නයක්

ඇවිදන් පාළු මාවතක පොඩි දුරක්
මරිජුවානා එක්ක යද්දි ගමනක්
ළං වෙලා රෑ බදුල්ලන්ගෙන් අසමි
ජීවිතේ හති නොවැටෙනා පාරක්

හෝව්! දැන් නවතිමි මෙතැන මම මොහොතක්
පෙට්ටියෙන් නැගිටවමි නැවුම් මළ සිරුරක්
ලයිටරය දල්වමින් වටතුනක් කරකවා
ආදාහනය කරන්නෙමි තවත් සිගරට් එකක්

 

සමුදු බස්නායක


© JDS