අතුරුදන් දියණියක
මතක පිහි තුඩුවලින්
මවක මුහුණක ඇඳී,
ඒ සියුම් සංතාප රේඛා
පිටුවහල් පුතණුවක
සයුරු හතකින් එහා
මවක මුහුණක අඳී
ඒ සියුම් නොසන්සුන් රේඛා
ඒ තැවුල් රේඛා
නොපෙනෙනා ලෙස
වහා පැළඳිය යුතු ය
අව් කණ්ණාඩි
අමතක නොකර...
සිර කළ යුතු ය හදවත
යකඩ වැස්මක් තුළ...
ඒ වියෝ ගිනි දැලින්
ගිනිබත්ව යා හැකි ය
ඒ උනන ළතැවුලින්
දියබත්ව යා හැකි ය
පරිස්සම් විය යුතු ය
හෙට උදේ වැඩට යනකොට,
ඇය සිටින්නට හැකි ය
ඔබ ළඟම
එහා අසුනේ
ඔබ පෙළන
ඒ තැවුල් සුසුම් රේඛා පැළඳ
යාල් දේවිය දැන්
කොළඹ පැමිණේ
ඡායා දිසානායක
© JDS