ටූනා මල

 

පාසි බැඳි පඩි පෙළෙහි
සීරුවෙන් පා තබන
මුව පොව්වා
බලා විමසිලි නෙතින් වටපිට
හෙළා ඉක්මන් සුසුම් අඳුරට
එබෙයි ගෙතුළට
බිඳුණු උළුවස්සෙන්

හදවතේ පිබිදුනු
තාරකාවන් එකින් එක ගෙන
තබයි ඔබ
බාල ලීයෙන් හැදු
මගේ මේසය මත
ටූනා මල් බඳුන අද්දර

අනවසරයෙන් එබෙන
හඳ එළිය මැද
දකිමි මම
ඔබේ නිල් දෙනෙත මත
අඬන්නට ළං වූ මගේ හිත

කියන්නට බැරි තරම් අසරණ
තවම නොපහන් ඒ රාත්‍රිය
රැගෙන යාවිද කිසි දිනක
ඔබ
මගෙන් ඉවතට

මහා කඳු වළල්ලක
ඔබ අතරමං වීද
ගොදුරු සොයනා දෙනෙත්
ඔබට මඟ පෙන්වීද

සැලෙන දෑතින්
වසමි කවුළුව

අකල් හි ආ සුළඟ
වියරුව
ටූනා මලක්
දමා ගොස් ඇත බිම

(මේ කව පළමුවරට පළවූයේ 1992 පෙබරවාරි 23 වැනිදා 'ලක්දිව' පුවත්පතෙහි 'නිම්තෙර' පිටුවෙහි ය.)

 

නිල්මිණී සිරිවර්ධන


© JDS