යේමනයේ දරුවන් වෙනුවෙන් නැගී සිටිනු ඇත්තේ කවුරුන්ද?

ඉරානයේ දී උපත ලද අයිලින් මනාසියන් ආර්මේනියානු සම්භවයක් සහිත කිවිඳියකි. ලෙබනනයේ වාසය කරන ඇය බේරූට්හි මැද පෙරදිග සරසවියේ භාෂා උපදේශිකාවක් වශයෙන් කටයුතු කරන්නීය.


පරිවර්තනය: අජිත් සී. හේරත් | (සිතුවම: යේමන් ජාතික වීදි චිත්‍ර ශිල්පි මුරාඩ් සුබායිගේ 'පවුලේ ඡායාරූපය' බිතු සිතුවමෙනි.)


රුවන් වෙනුවෙන්
නැගී සිටිනු ඇත්තේ කවුරුන්ද?
මම සේයාරූ දකිමි.
ඇට සැකිළි මෙන් වූ
කෘෂව ගිය සිරුරු
අපේක්ෂා විරහිත දෑස්
ඉරී කැබැලිතිව ගිය ආත්මය

දරුවන් වෙනුවෙන්
නැගී සිටිනු ඇත්තේ කවරහුද?
මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යයි.
සුපිරි බලවතුන්ගේ ක්‍රීඩාව තුළ
කිසිවෙකුත් කථා නොකරයි.
වැදගම්මකට නැති
තුන්වන ලෝකයේ ජීවිත
එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ
වෙඩිතැබීම්වලින් සිදුවන මරණ ගැන
ශෝකවන්නන් බොහෝ ය.
එහි වරදක් නැත.
එය එසේ විය යුතු ය.
එහෙත් ජීවිතයක් යනු
කොහේදී වුව ජීවිතයක්ම ය.
යේමනයේ දරුවන් වෙනුවෙන්
නැගී සිටිනු ඇත්තේ කවුරුන්ද?
මේ දිළිඳු දරුවන් වෙනුවෙන්
හඬක් නගනු ඇත්තේ කවුරුන්ද?
තුන්වන ලෝකයේ ජීවිත
පළමු  ලෝකයේ ජීවිත තරම් නොවටින්නේද?

දේශපාලනයේ නාමයෙන් දුක් විඳින
යේමනයේ දරුවන් වෙනුවෙන්
නැගී සිටිනු ඇත්තේ කවුරුන්ද?
ජරාම ජරා ලෝකයක්
ජරාම ජරා ලෝකයක්
ජරා ම ජරා ප්‍රචාරක බේගල්

මාගේ ආත්මය වැළපෙයි.
එහෙත් මා කවුරුන්ද?
මම මගේ කුටියේ සුවසේ වසමි.
රසමසවුළු බුදිමින්
මගේ ඉසුරුමත් බව සහ  
සමාජ තත්ත්වය විඳිමින්

දුරු රටක සිට
ශෝකවීම සහ වැළපීම
අතිශයින් පහසු ය.
ඒ මගේ දරුවා නොවේ.
කෑමට යමක් ඉල්ලා
අතපාන්නේ මා නොවේ.
මිය යමින් සිටින මගේ පවුලේ අයට
බෙහෙත් ගන්නට
ශරීරය සහ ආත්මය
විකිණීමට සිදුව ඇත්තේ
මා හට නොවේ.
ඒ මා  නොවේ.
ඒ ඔබද නොවේ.

යේමනයේ දරුවන් වෙනුවෙන්
නැගී සිටිනු ඇත්තේ කවුරුන්ද?
අවසාන විනිශ්චයේ දිනය එළැඹි විට
අපගේ මේ නිහඬ බව වෙනුවෙන්
අප චෝදනා ලබනු ඇත
ඒ හොරණෑව නාදවන විට
මේ නිහඬ බව අතුරුදන් වනු ඇත.

දරුවන් වෙනුවෙන්
නැගී සිටිනු ඇත්තේ කවරහුද?
දරුවන්ට උදවු කරනු
ඇත්තේ කවුරුන්ද?
දරුවන්ට ආදරය කරනු
ඇත්තේ කවුරුන්ද?
දරුවන් වෙනුවෙන්
දිවි පුදනු ඇත්තේ කවුරුන්ද

ඒ ඔබද?

 

අයිලීන් මනාසියන්


© JDS