මතකය මට කියන්නේ කුමක්ද?

 

හිම මත
ලිස්සා වැටෙයි
හිමිදිර...
නතරවෙයි අතපය...
ගොළුව යයි කට හඬ...
මම.

මතකය මට කියන්නේ කුමක්ද?

අඛන්ඩය
හිම පතනය
ඇද හැලෙයි
හිම රොද රොද
නළලත
දෙ ඇස් මත
කොපුලත
සවන් මත
මතකය මත.

මතකය මට කියන්නේ කුමක්ද?

නේන්නේවද ඉර
එළි විය යුතු දවසකට
යා වෙයි හිමින් තප්පර
ගෙවෙන හැම මොහොතම
හිම පියලි දස දහස
හැම සජීවී සෛලය
හිමායිත මුදු
ඇවිලෙයි මතක උණුහුම.

මතකය මට කියන්නේ කුමක්ද?

රහස් සඟවන
චෛත්‍යය පාරෙහි
දෙ ඇස් අඳ
ප්‍රදීපාගාරය ළඟ
ගෙහෙන්නා පායෙහි
සිවුවැනි මහල කවුළුව
ඇරී විසිවෙන
කෙසඟ මිනිසා
නැඟිටියි,
මේ මෙතැන
හිම මත
මම.

මතකය මට කියන්නේ කුමක්ද?

කෝ
නෝට් පොත
කාබන් පෑන
ඩිජිටල් කැමරාව
බඳ පටිය
කමිස බොත්තං
දෙමළ පත්තර මිතුරා
එ ඇස් මුමුනන බැල් ම
මතකය.

මතකය මට කියන්නේ කුමක්ද?

නා පොළොං මාපිල්
ලුහුබැඳන් එන
හිමිදිර
ලිස්සා වැටෙයි
හිම මත
කොළඹ මහ පාරක
පේමන්ටුවක් මත,
අඛණ්ඩය
හිම පතනය
නතරවෙයි අතපය...
ගොළුව යයි කට හඬ...
මම.

මතකය මට කියන්නේ කුමක්ද?

 

මංජුල වෙඩිවර්ධන


© JDS