අපර්ණා

 

දෑඟිලි එක්කරන්නට
සංසාරවගතව අප
රැඟෙන ආ රන්හුය
අපර්ණා.....
කෙලෙසකින් බිම දමමුද

විරැකියාවේ මඳ පවනක් නොව
කෘෂව ගිය අප වෘකයනට
දලු දම දමා නසා දමනට වෙර වඩන
අග්නි ජාලාවක් මිස

අපර්ණා
ඉතින් අප එක්ව
ප්‍රාර්ථනාවන් එකිනෙක රැඟෙන
තබ තබා හෘදයෙහි ගොඩනඟන
මේ මනරම් සිහින
දිනෙක
දෙකොපුල් පුරා ගලන්නට නෙත තබන
උණු කඳුළු වැල් නොවෙද

අහස මල් වියනක්
පොළොව මුතු පළසක් මුත්
යදම් නැති ප්‍රේමයට
දිනෙක අප හුදෙකලා කොට
යදම් හඬ හෘදයෙහි නැංවෙනා විට
නෙතින් අද අප පිරිමදින
මේ සෞන්දර්යය
කෲර ශූරත්වය සේ අපට දිස් නොවෙද

අපර්ණා ඉතින් අප
අප ඉතින්.....
ඉතින්.....

 

සුදර්මන් රංජිත්


© JDS