කෙටිකතාව: වසන්තයට පෙර

ඉන්දික ගුණවර්ධන අකල් හි වෙන්ව ගියේය.

කලක සිට අප බොහෝ දෙනෙක් දැන හැඳින සිටි ඉන්දික, ගෙවී ගිය විසි වසරේදී විවිධ කාල වකවානු තුළ ලේඛකයෙකු මෙන්ම මිතුරෙකු ලෙස ද අප ඇතැමෙක් ඇසුරු කර තිබේ. 'ෆේස් බුක් කවියෙකු'ගේ අනන්‍යතාව තුළට ඔහු කපා උත්කර්ෂයට නැංවීම සාවද්‍ය එකකැයි සිතෙන්නේ එබැවිනි. ඔහුගේ නිර්මාණ කෞෂල්‍යය සමාජ මාධ්‍ය සිතිජයට ඔබ්බෙන් වැඩී පරිණත වූ අතීතයක් සහිත එකකි. එය පසුකාලීනව වඩ වඩාත් ෆේස්බුක් අඩස්සියයට පත් වූවා යැයි කීමේ යම් සත්‍යතාවක් තිබිය හැකි ය. මෙහි පළවන කෙටි ප්‍රබන්ධය ඊට දෙස් දෙයි.

ඉන්දික, 1996 අග භාගයේ, බොරැල්ල වනාතේ සර්පන්ටයින් පාරේ 'හිරු' සඟරා කාර්යාලයට මේ කෙටි කතාවත් ලියාගෙන එනවිට ඔහුට අවුරුදු 20ක පමණ තරුණයකු ව සිටින්නට ඇත. 1997 ජනවාරි මාසයේ 'හිරු' කලාපයේ මුල්වරට පළ කෙරුණු එය පසුව ඔහුගේ කිසියම් නිර්මාණ එකතුවකට ඇතුළත් වීදැයි අපි නොදනිමු. යාපනය අල්ලා ගැනීමේ ආහ්ලාදයෙන් ඔද වැඩී ආ අධිපති වර්ගවාදයේ මහාමාරියට දණ නවා යටත් වන්නට බොහෝ ගලිවරයන් තීන්දු කළ සමයක, ඔහු ඊට නිර්මාණාත්මක උත්ප්‍රාසයෙන් පහර දෙන්නට තරම් මුහුකුරා සිටියේය. පසුකාලීනව ප්‍රබන්ධ හා පරිවර්තන සාහිත්‍යයට ඔහු කළ දායකත්වය වැඩී ආවේ ද ඒ සුහුඹුල් නිර්මාණ කෞෂල්‍යයෙනි.

මේ කෙටි ප්‍රබන්ධය යළි පළකරන්නේ මසක් පැරණි ඔහුගේ අකල් වියෝවෙන් ඇවිළුණු ඒ මතකය ස්මරණය කරමිනි.

සංස්කාරක කමිටුව


රැහැයියන්ගේ කෑගැහිල්ලයි, අඳුරයි ටිකෙන් ටික වැඩිවෙන්න පටන්ගත්තා. ඒත් පාර අයිනේ තියෙන ලයිට් කණුව තවමත්  හොඳට පේනවා. ලයිට් කණුව ළඟ නවත්තලා තිබුණ වාහනේ වීදුරු තරම් කොහොමටත් කළුවර නෑ. ඉර පේන්න තිබුණේ නෑ. ලා රතු පාට වළාකුළු ටිකක් වෙලා තිබුණ අහසෙ කොණක. ‍'ලේ ඊට වඩා ගොඩක් රතුයි. ඒක පැහැදිලිව පේන්න තිබුණා.

ලයිට් කණුවෙ උඩට වෙන්න නිල්, රතු, කොළ, සුදු පාට ඉටිකොළ කෑලි හිනාවෙවී බලාගෙන හිටියා. පොඩ්ඩක් පහලට වෙන්න බැනර් එකක්. 'මහා ...... රාත්‍රිය' විතරයි පේන්න තිබුණෙ. 'සංගීත' කෑල්ල ගැලවෙන්න කව්දෝ ගලක් ගහලා. ඊටත් පහළින් මරණ දැන්වීමක් ගහලා තිබුණා.

'සකර දම් අනිසය' පරළෝ සැපත් උපාසිකා මාතාවට.....

ලයිට් කණුව යට පාර අයිනේ ඔක්කොම හිටියේ පස් දෙනයි. නිල ඇඳුමෙ පාට පාට තීරුවක් තිබුණ ඇස් ලොකු හමුදා නිලධාරියයි තවත් සෙබළු තුන් දෙනෙකුයි. කළු පාට බූට්ස් අටකට මැදිවුණු තරුණයෙකුගෙ සිරුරක් බිම තිබුණා. එතකොට සේරම පහයි.

'තමුසෙ ඉක්මන් උනා වැඩියි සාජන්' ඇස් ලොකු නිලධාරියා කතාවට මුල පුරනකොට පොල් කෙඳි වගේ රළු උඩු රැවුල නටන්න පටන්ගත්තා.

'සර් .... මම ....'

'අපිට මිනිහව චෙක් කරලා බලන්න තිබුණා'

'සර්, මම මිනිහව බය කරල උත්තරේ ගන්නයි හැදුවේ, මගේ අත පොඩ්ඩක් ගැස්සිලා ගියා.'

'තමුසෙට ඕක හැමදාම වෙන දෙයක්නේ' හතර දෙනාගෙම කටවල් ඇදවෙලා පොඩි සද්දයක් ඇහුණා. ඒක හිනාවක්.

'සර් මේකෙන් මොකුත් ප්‍රශ්නයක්....?'

'ම්.... අපි මිනිහව සර්ච් කරල බලමු, අපිට මොනවා හරි කරන්න බැරිවෙන එකක් නෑ.'

පරීක්ෂාව සිදුවෙද්දී අතරමං උනු කාක්කෙකුගෙ කෑගැහිල්ලක් යාන්තමට ඇහුණා. අනිත් උන් හැමෝම තමන්ගෙ කූඩුවලට ගිහිල්ලා. ලයිට් කණුවෙ උඩ නිල්පාට, රතුපාට, කොළපාට, සුදුපාට ඉටිකොළ අඳුන ගන්න බෑ දැං. පාට අඳුනගන්න බැරි තරමට අඳුර වැටිලද, අඳුර වැටුනම හැම පාටම එක වගේ වෙනවද කියලා හිතාගන්න බැරුව රෑ බදුල්ලෙක් ලයිට් කණුවට නැංගා.

පාර දිගට තිබුණ ලයිට් කණුවල නියොන් එළි දැල්වෙන්න පටන් ගත්තා. ඒක කහපාට මළානික එළියක්. බැනර් එකට ගල් ගහපු පුද්ගලයා දක්ෂ ඉලක්ක කාරයෙක් කියලා ඔප්පු උනා. බැනර් ගහපු ලයිට් කණුව තවම අඳුරේ.

'ඇති යාන්තම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි'  ඇස් ලොකු නිලධාරියා ටෝච්එක ගහලා දොඩවන්න ගත්තා.

'ඇයි සර් මිනිහා ....?'

'එහෙම හිතන්න අමාරුයි, මට මිනිහගෙ අයි. ඩී. එක හම්බ උනා. සාජන්, මේක කියවලා බලනවකො.'

නම - අප්පදොරෙයි කදිරේෂන් කුමාර්
වෙනත් නම් - -----
උපත - 1974.07.22 දින ගාල්ල දීය.
රැකියාව - ශිෂ්‍ය

'රස්සාව බල්ලට දානවා. මේකා දෙමළෙක්. දැන් කිසි ප්‍රශ්නයක් නෑ.'

'තමුසෙට බයවෙන්න කිසිම දෙයක් නෑ. ඒත් මේ අනවශ්‍ය ලියකියවිලි සේරම විනාශ කරල දාන්න ඕන. මේවා මොනව හරි පත්තරකාරයෙකුට අහුවුනොත් නිකං අපරාදෙ ඒ මනුස්සයගෙ ජීවිතේ. හහ්....හහ්....හහ්....'

දැන් අපි ඔහුගෙ නම දන්නවා. අපි කුමාර් කියමු. ඇස් කඩලා යන තරම් සැර ටෝච් එළියක් කුමාර්ගෙ මූණට වැදුනා. කුමාර් ඇස් දෙකයි, කටයි ඇරගෙන පුදුමවෙලා බලාගෙන හිටියා, අරුම පුදුම ටෝච් එක දිහා.

පෙනුමෙන් දෙමළ කියලා හිතන්න බැරි තරම් කුමාර් පැහැපත්. දකුණු ඇහැට පොඩ්ඩක් පහළින් පරිප්පු ඇටයක් තරම් උපන් ලපයක් පේන්න තිබුණා. ෂර්ට් එකේ සාක්කුව ලඟ අර ආකාසෙ තිබුණ රතු පාටට වඩා රතු, හොඳටම ඉදුණු කෝපි ගෙඩියක පාට පැල්ලමක් තිබුණා.

'සර් සැක කටයුතු කියල හිතෙන කිසිම දෙයක් නෑ. කැම්පස් ලයිබ්‍රරි එකෙන් ගත්ත පොත් දෙකකුයි රු.50 /- ටිකට් දෙකකුයි ඇරුණම මෙන්න මේ ලියුම් කෑල්ල විතරයි තිබුණේ.'

'ඕක කියවනවා බලන්න. සමහර විට අපිට ඕන දේ ඕකෙ තියෙන්න පුළුවන්.'

ඇස් ලොකු නිලධාරියා ටෝච් එක ඇල්ලුවා. සාජන් ලියුම කියවන්න පටන්ගත්තා.

'දයාබර මනෝරි,'

ලියුම කියවනකොට මිනිහගෙ මූණ පැහැදිලිව පෙනුණා. තෙල් ගාපු වළඳක් වගේ මූණ දිලිසෙනවා. උඩු දත් ඇන්දෙ එක දතක භාගයක්  හොඳට පේන්න තිබුණා. ලියුම කියවනකොට එතනින් හුළං පිටවෙන්න පටන් ගත්තා.

'මට ඔයත් එක්ක Drama එක බලන්න එන්න වෙන්නෙ නෑ. අද උදේ අපේ මාමා ආවා මාව හමුවෙන්න. අපේ අම්මයි, අප්පයි, නංගියි සිහි කරලා හෙට කෝවිලේ පූජාවක්. හෙටට අවුරුද්දක්. මම ගත්ත ටිකට් දෙක මේ ලියුමත් එක්ක නාලකගෙ අතේ එවනවා. ඔයා නංගිත් එක්ක ගිහින් ඒක බලන්න. හැමදාම ලියනවා වගේ අන්තිමට මොනවහරි ලියන්නං. (මේක තිබුණේ ඔයා මට කියවන්න දීපු 'ගුරු ගීතය'  Novel එකේ)

'ඔව් ශීත කාලය පැමිණේවි - තද ශීත කුණාටු හමාවි හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි එහෙත්, වසන්තය ........'

'සර්, වසන්තයට පස්සේ මොකක්ද කියලා හිතාගන්න පුළුවන්ද? මේ ලේ පැල්ලමට ඒ ටික වැහිලා ගිහින්.'

වසන්තයට පසුව කොටස ලේ පැල්ලමෙන් වැහිලා තිබුණා. ලේ පැල්ලම් ගොඩක් මොකක් හරි හේතුවක් උඩ වැහිලා තිබුණා.

පැයෙන් පැය දියවෙලා ගිහින් අළුත් දවසක් ආවා.හැම තැනම එළියයි. පැහැදිලියි. අර ලයිට් කණුව හොඳට පේන්න තියෙනවා. උඩටම වෙන්න නිල්, රතු, කොළ, සුදු ඉටිරෙදි කෑලි. ඊට පහළින් බැනර් එක. තවත් පහළට වෙන්න දැන්වීම. ඊටත් පහළින් ....... තාර පාර විතරයි.

මනෝරි බලාගෙන හිටියා. හවස 6.30ත් පහුඋනාම තේරුම් ගත්තා කුමාර් එන්නේ නෑ කියලා. Drama එක බලන්න මනෝරිට එන්න කිව්වෙ කුමාර්. වරෙන්තු - දාරියෝ ෆෝගේ  The Accidental Death of an Anarchist නාට්‍යයේ පරිවර්තනය. හිතේ ඇතිවුණු බලාපොරොත්තු, දුක, කලකිරීම මේ සේරමත් අරගෙන මනෝරි 138ට නැග්ගා. ගෙදර ළඟින් බහිනකොට 7.30ත් පහුවෙලා. පුංචි කණාමැදිරියෙක් වෝල්ට් දෙකේ ටෝච් එකක් වගේ පත්තු වෙලා නිවිලා ගියා.

මනෝරිගෙ තාත්තා කසාය කෝප්පෙ අතේ තියාගෙන මූණ ඇඹුල් කරගෙන රූපවාහිනිය නරඹනවා. කසාය නිසාද රාත්‍රී 8.00 යන ප්‍රවෘත්ති නිසාද කියලා හිතාගන්න බෑ.

'අද සවස බොරැල්ල ප්‍රදේශයේ සිදුකල සෝදිසියකදී සැක කටයුතු ද්‍රවිඩ තරුණයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු පැනයාමට දැරූ උත්සාහයේදී ජීවිතාක්ෂයට පත් වූ බව වාර්තා වේ. වැඩිදුර පරීක්ෂණ සිදුකරද්දී ඔහු කිලිනොච්චි ප්‍රදේශය භාර LTTE නායකයකු බව අනාවරණය වී ඇත. සැකකරු ළඟ තිබී හිස් පතොරම් කොපු 05ක් සොයා ගැනීමට පොලීසිය සමත්විය.'

සමහර විට ප්‍රවෘත්තිවලට එහෙම කියන්නත් ඇති. ඒත් මනෝරි ප්‍රවෘත්ති බැලුවෙ නෑ. කොහොමටත් ඒක සාමාන්‍ය සිදුවීම්වලින් එකක් විතරයි.

'බලනව සාජන් අර බඩුටික සේරම තවමත් Jeep එක ඇතුළේ. පුච්චලා දානවා සේරම'

'සර්, අර පොත් දෙක අපරාදෙ නේද?'

'ඇයි අපිට කන්නද? දර්ශනය, ඉතිහාසය බම්බුව පුච්චලා දානවා අයිසේ'

'සර් මේ ID එක'

'ඒක අරං තියනවා. අපිට ඕක ඉස්සරහට ඕනවෙයි.'

'මේ... මේක......?'

'සාජන්, ඊළඟ මැයි රැළියෙ බෝම්බෙ පුපුරවන LTTEකාරයගෙ ID එක ඕක වෙන්න බැරිද?'


ඉන්දික ගුණවර්ධන (1977 - 2017)


© JDS