කවි වලින් හැඩිවෙන කුටියක
වීදුරු කවුළුවක් බිඳුණම
මොන තරම් ලස්සනද?
පර්යායකම් ගිළිහුණ විට
මොන මොන කවුළු තිබුණත්
ළඟ ළඟ එක පෙළට
මෙ කවුළුව අනුපම.
කෙඳිරිගානා සුළඟක් වුණත්
ඇතිල්ලී එනකොට
පපුව ඇතුළට
වචන මුවහත් වී
ඇනි ඇනි පපුව ඇතුළෙම
සන්සුන් සවන රිදවන
නොසන්සුන් විරිතෙහි
කෙළ සුවහසක් හැඩතල.
ආලෝකය වුණත් වැටුණම
මොන විචිත්‍රද බිඳුණු කවුළුව
කවි ලියනු කලියෙන්
හිතද එහෙම ය.
අත දමා බොරුවට එළියට
හදිසියක් සදිසිව
කපා ගන්නට
ඇඟිල්ලක් මුදුනින්
ඇඟිලි කරු අතරින් පතරින්
මැණික් කටුවට නුදුරින්
අත්ල රේඛා බිඳිමින්
කවි ලියන සුරතින්
පෑන අල්ලනු බැරි ලෙස
රිදවාලන්න නොහැකිද
හිතේ නලියන කවි.
බිඳුණු විට වීදුරු කවුළුවක්
නොබිඳුණු කොටස් ඇති බව
හිතනු හැකිවද කවියට
එබඳු කොටසක් එහි නැත.
.......
.......
බිඳුණු සිත ගැන
නොකියා ඉන්න අවසර!
මංජුල වෙඩිවර්ධන
© JDS