ගැටවර සිහිනයක සිලිටි පෙති


කොන්ත පන්තියකින්
යාච්ඤාවක් හොරා ගන්නට තතනන
නම නොදන්නා දේවදූතයකුව
මම බලා සිටියෙමි
උදාරම් දෙවුමැදුරේ
තුඟු ද්වාරයට මොබ
රූස්ස කස ගසක රුප්පාවෙහි
ස්වර්ගීය සෙව‍ණැල්ලක.

මිනිත්තු පහළොවෙන් පහළොව
කොනිත්තන්නේ කවුරුද
පපුව රිදවන සීනුව?

අකාලික පෙමකට ය
මඟ බලා ඉන්නේ මම.

කුදුමහත් හදවතෙහි
පෙම ම විතරක් දරා ගත්තෙන් කුදුවුණ
මම තමයි ඒ
නොත්‍රඩෑමයේ කුදුවර.

කන්තාරුවක ගිගිරුම
කොන්ත පන්තිය ඉවරද?

අහසෙ ලඹ දෙන
කැටයම් කුරුසියේ සෙවණැල්ල
සමසතරැස් බිම් ගඩොලු ඇල්ලූ මඟ
බිම් ගඩොල්ලක් මත.

බලාගෙන!
පෑගේවි කුරුසිය
බැලෙරිනා ලූ පතුළට.

ශ්‍රැද්ධාවන්ත මෙනෙවිය
අවාළු ඉරි විසිරි
ඔය, පඬු පැහැති
පෙති දිගහැරෙන ගවුමට
පණ පිඹින්නට මෙන්
සිලිටි දෙදණිහ රඟන හැටි හරි කදිම ය.

ඉටි පහන් ඇවිලෙන
ගල් ගුහාවේ මරිය සුරුවම පාමුල
ඉටි පහන් අවුලන මෙනෙවිය
පෙනෙනැතුවද දෙනෙතට
ඇවිලෙන මගේ හදවත?

« වසන්තෙට අඬගසා දොර ඇරිය
තවම පෙති දිගහරින ගැටවරිය
ඔය මූකූඨයෙ පිබිද එන සිරිය
බිඟු නෙතට දරා ගන්නට බැරිය

වසන්තය කියන්නේ අහසටද
දහස් පෙති මලක පෙති දහසටද
පෙති වසාගෙන සිටින පහසටද
කියා ගන්නට නොහැකි රහසටද

වසන්තෙට එන්න කිව්වේ ඇයිද
ඇරියුමට පිටු නොපා පැමිණෙයිද
මඳහසක් ලියාදෙන්නට බැයිද
මගෙ නොවන සිලිටි පෙති සැනසෙයිද »

 

මංජුල වෙඩිවර්ධන


© JDS