තාත්තේ මම සිංහ සීවලී වුණා නම්
ගල් ලෙනෙන් යන්නැතුව ඉන්නවා,
කවුළුවෙන් එබී ගෙන තාත්තා එනතුරා
හැමදාම හවස්වරු ගෙවනවා.
නින්ද එනකම් රෑට ඔබේ උරහිස් තලේ
හිස හොවා කතන්දර අහනවා,
මහා භයානක සද්ද කැලෑවෙන් ඇහෙනකොට
අත් පසුරෙ ගුලි වෙලා නිදනවා.
අයිය ලෙන් දොර ඇරන් යන්න යමු කීවාම
බෑ කියා මම ලෙනේ ඉන්නවා,
නියං දුර්භික්ෂ මැද අපේ හාමත නිවා
බඩගින්නෙ හිටපු හැටි මැවෙනවා.
නුවර මං පෙත් වැසූ ලෙන් දොරට ඇතුලතින්
මට මහා නිදහසක් දැනෙනවා,
නුවරු මුව පුරවගත් චාටු වදනට වඩා
මට ඔබේ ගර්ජනා වටිනවා.
වීදිවල සරද්දී සිංහ බා සොයාගෙන,
තාත්තාගෙ පස්සෙන්ම දුවනවා,
අයිය දුණු දිය ඇදන් ඊතලේ ගන්නකොට,
පළිහක්ව මැදින් හිට ගන්නවා.
තාත්තේ මම සිංහ සීවලී වුණා නම්,
නාටකේ අග වෙනස් කරනවා,
තාත්තට මියෙන්නට නොදී එසැණින් ඇවිත්
ඊ හිසට පපුව පා මැරෙනවා.
...................................................................
සිංහ බා බලද්දී වැටුණු කඳුලක දෙකක
තාත්තේ මං ඔබව සොයනවා,
එදාටත් වඩා අද ඔබෙ උරිස්සේ සුවය
නැති අඩුව මට තදින් දැනෙනවා.
ඉසුරි උදානි කරුණාතිලක
© JDS